වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
සුජීව සිරිමෙවන් තරුණීට අරන් එන අලුත්ම නවකතාව

විවාහ වී මාස කිහිපයක් ගත වන විට ඔවුන්ගේ යුග දිවිය අතර මැදට අම්මා පැමිණෙමින් සිටින බව කාංචනා වටහා ගනියි. එහෙත් එය සාම්ප්‍රදායික නැන්දම්මා සහ ලේලිය අතර ගැටුම නොවෙයි. නිගූගේ අම්මා බොහෝ දේවල් පුළුල් අවබෝධයකින් දකින්නට සමත් උගත් ගැහැනියකි. ඇය ද රාජ්‍ය පරිපාලන සේවයේ නිරත ව හිඳ දැන් වියපත් ව ඉසිඹුලමින් සිටියි.
“දැන් යමු.. කාට හරි පේනවත් ඇති”
උණුසුම් දෙතොල් සංග්‍රාමයෙන් ඉක්බිති අසෙනි රථයෙන් බසින්නට සූදානම් වෙයි. ඈ ඇගේ රූපලාවණ්‍යාගාර වොලට්ටුව කැණ තොල්සායම් කූරක් ඇද කුඩා කැඩපතින් බලමින් මෙරූන් පාටට හුරු වර්ණයකින් දෙතොල් සරසයි. දෙදෙනාම රථයෙන් බැස බැරිස්ටා දොරටුව සමීපයට එති. පුරුදු ලෙස ම නිගූ, අසෙනිට මුලින්ම ඇතුළුවන්නට ඉඩ සලසා පසුපසට වී නැවුම් කෝපි සුවඳ විඳගන්නට තත්පර වෙයි. අසෙනි බැරිස්ටාවට ඇතුළු වූ සැණින් විදුලිය යපටක් පෑගුණු අයෙකු සේ එක්වරම ආපස්සට විසි වී නිගූගේ ද ඇඟේ හැපෙමින් රිය නවතා තිබූ තැනට දිව යයි. රිය කරා ගොස් වම්පස දොරටුවට අත තබා සිටි අයුරු දකින නිගූ රිය දොර විවර කරයි. වහා රිය තුළට වන් අසෙනි දිගු සුසුමක් හෙළයි. නිගූ රිය තුළට පැමිණ විමතියෙන් හා දැඩි කුහුලින් ඈ දෙසට හැරෙයි.
“ඇයි මොකෝ ඔයාට එකපාරම වුණේ”
ඈ අවතාරයක් දුටු එකියක මෙන් ගල් ගැසී ඔහු දෙස බලයි.
පොඩි දේටත් ඈ හරි කලබලයි. ඉක්මනින් නාස් අගත් කන් පෙතිත් සිනාසෙන විට වළ ගැසෙන කොපුලතත් රතු වෙයි. ඉන්පසු ඇස් දිය වෙයි. අසෙනි හදගැස්ම නවතා කතා කරයි.
“අපේ ලොක්කයියා හිටියා. දැක්කෙ නැද්දෙ අර එහා කෙළවරේ තනිය ම වාඩි වෙලා හිටියෙ. රැවුල තියෙන මනුස්සයෙක්”
“ කෝ ඉතින් මං දකින්න ඇතුළට යන්න එපායැ..ඔයා එකපාර ම හැරුණනෙ”
හදිසියේ ම සිදු වූ දෙයින් වික්ෂිප්ත වූවා මිස නිගූට එහි බරපතළක් නොදැනෙයි. අසෙනිට ඒ ගැන තරහයි.
“ඔයා දන්නව ද අර අන්තිමට ඉන්ජෙක් කියලා ප්‍රපෝස් කළේ එයාගේ හොඳම යාළුවගේ මල්ලි”
අසෙනිට පසුගිය වසරක පමණ කාලයක් තිස්සේ නොයෙක් විවාහ යෝජනා ගෙන එයි. සෑම සති අන්තයකම තේ මේසයක් හෝ කෑම මේසයක් පිළියෙල කොට නාඳුනන පිරිමියෙකු විනිශ්චය කිරීමට ඈ පේවී සිටියි. අම්මාගේ උනන්දුව හා මහන්සියට එරෙහිව වචනයක්වත් විසි නොකිරීමට අසෙනි ඉවසිලිමත් වෙයි.
නොයෙක් ආයතනවල විධායක ශ්‍රේණි හොබවන්නේ යැයි කපුවන් විසින් ද ඇතැම් නෑදෑ වැඩිහිටියන් ද ඔජ වඩනු ලැබූ ඇතැම් කඩවසම් තරුණයෙකු ටයිපටියක් ද පැලඳ පැමිණීම අසෙනිට විහිළුවකි. සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දී තම ජීවන සහකාරිය තෝරා ගැනීමට උත්සාහ කරන මේ තරුණයන් බොහෝ දෙනකු පසුපස සිටින්නේ අසීමිත පුත්‍ර ස්නේහයෙන් මඬනා ලද මවකි.
එබඳු ඇතැම් මවක් පසුව අසෙනිට දුරකතනයෙන් අමතා තම පුතා මේ වනතුරුත් පොඩි දරුවෙකු මෙන් බලාගෙන ඇති බව ආඩම්බරෙන් කියයි. මේ හැම අම්මා කෙනෙක් ම කට පුරා “දුව” කියා අමතන විට අසෙනිට අමුතු බැඳුම් හැඟුම් මාත්‍රයක් ඇති වෙයි. එහෙත් අසෙනි ඒ මුදු ඇමතුමට එපිටින් ඇති බැඳුමට බිය වෙයි.
ඈ වහා තම ප්‍රතික්ෂේපිත පණිවිඩය යෝජනාව ගෙනා අය අත ම ආපසු යවයි. අවසන් වරට ආ තරුණයා ලොක්කයියාගේ ඇඳුනුම්කමෙන් ආ සිවිල් ඉංජිනේරුවෙකි. “ලොක්කයියා” කියන්නේ ලොකු අම්මලාගේ ලොකු පුතා නිසයි.
අසෙනිලාගේ ගෙදර හැම වැදගත් තීරණයක් සඳහාම ලොක්කයියාගේ මැදිහත් වීම සිදු වෙයි. අසෙනිගේ නිෙවසෙහි තාත්තාටත් වඩා ලොක්කයියා බලසම්පන්න වූයේ කෙසේ දැයි අසෙනිට තවමත් සිතා ගත නොහැකි ය. ලොක්කයියාගේ හොඳ ම යාළුවෙකුගේ මල්ලි කෙනෙක් යැයි හඳුන්වා දුන් සිවිල් ඉංජිනේරු තරුණයා අසෙනිට අපමණ වසඟව සිටියි. ඔහු ළඟ පාතකට ආ බව කියමින් හදිසියේම තවත් සති අන්තයක ද අසෙනි බලන්නට එයි. දුරකතතනයෙන් ද නිතර අමතයි. ලොක්කයියා මේ යෝජනාව ගෙනෙමින් අම්මාටත් තාත්තාටත් ඇසෙන සේ උස් හඬින් කී දේ ඈට තවමත් මතකයි.
“ මං මේකිට මිනිස්සු හොයන අන්තිම පාර මේ... ඉන් පස්සෙ ඕෙන කාලකණ්ණියෙක් හොයා ගත්ත දෙන්..”
ලොක්කයියා එසේ කීව ද සිවිල් ඉංජිනේරු තරුණයා අඳින පලඳින විදිහේ පවා කිසි පිළිවෙළක් නැතැයි සිතෙයි. ඔහු ඇඳ සිටි කලිසමට ඒ කමිසයේ පැහැය ද බාල දීප්තිය ද කිසිසේත් නොගැළපෙන බව ඇයට සිතෙයි. ඊටත් වඩා රන් පටිය සහිත ඔරලෝසු බඳින පිරිමින්ට අසෙනි කොහොමත් කැමති නැත.
කෑම මේසයේ දී කෑම බෙදා ගත් විදිහත් බත් පිඟාන මැද සිට ම අනා පොඩි ළමයෙකු සේ බත් ගුළි හදමින් කෑ අයුරුත් දුටු විට ඇයට මහත් අප්‍රසන්න හැඟීමක් උපදියි. ඔහු ආපසු යන විට මිදුලට වන් අසෙනි, ඔහුගේ බී.එම්. ඩබ්ලිව් රථය ඉදිරිපස ඩෑෂ් බෝඩය මත තබා තිබුණු බුද්ධ රූප ද දේවරූප ද නන්පැහැ නූල් ගොන්න ද ඇට මාල ද දැක සිවිල් ඉංජිනේරුවා ගැන අල්ප මාත්‍ර හෝ හැඟීමක් ඇති කරගන්නට උත්සාහ කළා නම් එය ද වහා අත්හැර දමයි.
ඉන්පසු ඈ සිතමින් සිටින්නේ “උගෙ අඩුව මොකක් දැයි” සමච්චලයට මෙන් ලොක්කයියා අසන විට දෙන පිළිතුර ගැනයි. මඟුල් යෝජනාවලට අනුව පැමිණි බොහෝ මනාල තරුණයන් ඇවිත් ගිය පසු තේ මේසයට තැබූ ආනමාලු ඇවරියේ ඉතිරිව ඇති ලොකුම ගෙඩියක් කඩා ගන්නා අසෙනි කුස්සියත් කෑම කාමරයත් අතර තබා ඇති සෝපාවේ දිගා වී එය කන්නට පටන් ගන්නේ මනමාලයා පිළිබඳ අම්මාගේ ප්‍රතිචාරය අසනු රිසියෙනි.
තවත් කොටසකින් හමුවෙමු