වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
සත්පුරුෂයාගේ දිනපොතින්

ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක තනතුරක සේවයේ නියුතු ඇය ශානිකා තෙන්නකෝන්. අකුරු දෙකක් අමුණා ගත හැකිදා පටන් කවි ලියූ, ඒවාට සම්මාන සහතික ලැබූ ඇය, කතා ලියන්නියක් වූයේ රැකියා ස්ථානයෙන් ලද පශ්චාත් උපාධි විදේශීය ශිෂ්‍යත්වය නිසාය. ආසියාවේ සොඳුරුතම ගමනාන්තයේ ගෙවූ හුදෙකලා දෙවසරේ අධ්‍යාපන ආතතිය ශානිකා ගෙවා ගත්තේ මුහුණු පොතේ කෙටිකතා අකුරු කරමිනි. එසේ ලියවුණු කතාවලින් කොටසක් "ෆීනික්ස් කිරිල්ලී" නමින් මේ වසරේ දී එළිදැක්වූ අතර එහි අනෙක් කොටස තවත් පොතක් ලෙස නුදුරේදීම එළිදකිනු ඇත.
බ්‍රාන්ච් එකට අලුතෙන් කොල්ලෙක් ආවා. හිරුන් පෙරේරා. ඉස්කෝලෙන් අවුට් වුණ ගමන්මයි. පුදුම වැඩේ කියන්නෙ විසි එක් වැනි සියවසේ ඉපදිලාත් ඌ කම්පියුටරේක වැඩ කරගන්න දන්නෙ නෑලු.
"ඇයි උඹලෑ ඉස්කෝලෙ IT ලැබ් එකක් තිබුණෙ නැද්ද?"
"තිබුණා. ඒ වුණාට සර්කාරයා හිතාගෙන හිටියෙ ඒක තනි බූදලේ වගේ. IT කරන උන්ට විතරයි ඒකට යන්න දුන්නෙ."
පුදුම ගුරුවරු තමා.
තියෙන වැඩ මදි වෙලා වගේ ලොක්කා ඌට කම්පියුටර් උගන්නන වැඩෙත් මට පංගාර්තු කළා.
**********
හිරුනයා උනන්දුවෙන් ඉගෙන ගන්නවා. මුලින්ම කී බෝඩ් එක අතපත ගාපු එකෙක් හැටියට ටයිපින් ස්පීඩ් හෙමත් නරක නෑ. මෙහෙදි වැඩ කරන්න ඕෙන වෙන ඔක්කෝම දේවල් මං ඌට කියා දුන්නා.
"මීට වඩා දෙයක් කියලා දෙන්න මටත් මතක නෑ. අපිත් කම්පියුටර් ඩිප්ලෝමා කළා. මෙහෙදි යූස් වෙන්නෙ මෙච්චරයි නිසා අනික්වා අමතකයි. උඹත් හොඳ කෝස් එකක් බලල කරහන්. ඉන්ටර්වීව් එකකදිත් බලන්නෙ කඩදාසි සුදුසුකම."
මං ඇත්තටම උගේ සුබ සිද්ධිය වෙනුවෙන් කිව්වෙ.
*********
මූ මාර බුවෙක්නෙ. ඌට මං කම්පියුටර් කෝස් එකක් කරහන් කිව්වෙ ඔෆිස්වල වැඩ කරද්දි පාවිච්චි කරන්න පුළුවන් එකක්. මේකා සෙට් වෙලා තියෙන්නෙ ග්‍රැෆික් ඩිසයිනින් කෝස් එකකට.මෝඩයා...මේ ඔෆිස් එකේ මොකක් කරන්නද ඕවා ඉගෙනගෙන. අපේ බාප්පගෙ කොල්ලත් ලොකු ගාණක් වියදම් කරලා හෙන ගාණක ලැප් එකකුත් අරන් ග්‍රැෆික් ඩිසයිනින් කෝස් එකක් කළේ. එකේ පන්තියෙ ළමයෙක් අඳින තරම් චිත්රයක්වත් ඇඳ ගන්න බෑ. බාප්පාට නම් හරක්ට කන්න තරම් සල්ලි තියෙනවා. මූට මොනවද තියෙන්නෙ. ගොන් බූරු පැටියා.
********
හිරුනයාට චිත්‍ර පිහිටලාම තියෙනවද කොහෙද. මේ පාර අපේ බ්‍රාන්ච් එකෙන් කරපු ගෙට් එකේ ෆේස්බුක් පෝස්ට්, ඉන්විටේශන්, බැක්ඩ්‍රොප් ඔක්කොම ඩිසයින් කරලා තියෙන්නෙ මූ. කලාව ගැන මං දන්න අල ගෙඩියක් නම් නෑ. හැබැයි ඒවයෙ වෙනදට වඩා පොඩි ගතියක් නම් තියෙනවා. හෙඩ් ඔෆිස් එකේ වැඩ කරන නලින්ද අයියත් ඒකෙ විස්තර ඇහුවා.
"කොහෙන්ද උඹලා ඉන්විටේශන් එකයි බැක්ඩ්‍රොප් එකයි ඩිසයින් කළේ? කීයක් වුණාද?"
"කීයක්වත් වුණේ නෑ. මගෙ ගෝලයා ඕක ඩිසයින් කළේ. ප්‍රින්ට් එකට ගිය ගාණ විතරයි."
"උඹේ ගෝලයා? උඹ ග්‍රැෆික් ඩිසයිනුත් දන්නවද?"
"ඌ අපේ බ්‍රාන්ච් එකට එද්දි කම්පියුටර් එකකට අත තියලාවත් නෑ. මං තමා මුල ඉඳන් ඔක්කෝම දේවල් කියල දීලා ඔය කෝස් කරන්නත් යැව්වෙ. කොහොමද මගෙ ට්‍රේනිං."
"සෑහෙන්න හොඳයි. බැරිද උඹට ඇවිත් අනික් බ්‍රාන්ච්වල අලුත් එව්වොත් ඔය ගාණට හදල දෙන්න."
"ඔව්.... ඔව්.... වැඩ කාරයෙක් දැක්කම උඹලත් දන්නෙ ඌව මරවා මරවා වැඩ ගන්න විතරයි."
********
ලොක්කා මට භාර දුන්න අලුත් වැඩක ප්රෝග්රෙස් කතා කරන්න ලොක්කගෙ රූම් එකට ගියා. ෆයිල් තඩියත් අරන් ගිහින් ඉඳගත්තා විතරයි ලොක්කාට කෝල් එකක් ආවා. මෑන් ෆෝන් එක කනේ තියන් මට අතින් ඉන්න කිව්වා. කෝල් එක ඉවර වෙනකල් වටපිට බල බලා ඉන්දැද්දි තමා මං දැක්කෙ ලොක්කාගෙ මේසෙ උඩ තිබ්බ එවෙලෙම වගේ ගෙනැත් තිබ්බ ලියුමක්.
"ඉන්ටර්නල් වේකන්සීස්"
ලොක්කාගෙ පැත්තට හරවලා තිබ්බ නිසා උඩින් තිබ්බ ටොපික් එක විතරයි කියවා ගන්න පුළුවන් වුණේ. මගෙ ඇස් ගිහින් නතර වුණේ ඒකෙ පහළින් බෝල්ඩ් කරලා තිබ්බ සැලරි එකට. අප්පට සිරි........මේ ජොබ් එකේ තව අවුරුදු පහක් හිටියත් ඒ තරම් සැලරි එකක් මට නම් ගන්න වෙන්නෙ නැහැ. ඒ වේකන්සි එකට යන්න ඕෙන සුදුසුකම් බලන්න මං තව ටිකක් උනන්දුවෙන් ඒ දිහාට නැවුණා.
කෝල් එක ඉවර කරලා මගෙ දිහා බලද්දි ලොක්කා දකින්නැති මගෙ ඇස් තිබ්බ තැන.
"හෙඩ් ඔෆිස් එකේ මාස හයක ඉන්ටර්නල් වේකන්සියක් තියෙනවා ග්‍රැෆික් ඩිසයිනින් පුළුවන් කෙනෙක්ට. හිරුන්ට හොඳ චාන්ස් එකක්."
"හිරුන්?"
"ඔව් ඩිරෙක්ට මීටින් එකෙත් කතා වෙලා තියෙනවා අපිට හොඳ කොල්ලෙක් ඉන්නවා කියලා"
"සර් හිරුන්ව යවලා බෑනෙ. ලබන මාසෙ දිනේශ්කාත් මැටර්නිටි ලීව් යනවා. එතකොට මෙතැන වැඩ ටික කරන්න කවුරුත් නෑ. මන්ත්ලි රිපෝට් හෙම වෙලාවට දෙන්න බැරි වුණොත් සර්ටම තමා හොඳ නැත්තෙ. අනික හය මාසෙකට කියලා ගත්තට අවුරුද්දකටවත් නිදහස් කරන එකක් නෑ. එහෙමනේ හෙඩ් ඔෆිස් එකේ වැඩ."
ලොක්කා මගෙ දිහා ඇස් පුංචි කරන් ටිකක් වෙලා බලාගෙන ඉඳලා ඒ ලියුම පැත්තකට දාලා මගෙ වැඩේ කතා කරන්න ගත්තා.
හොඳ වෙලාවට මං දැක්කෙ ඕක. නැත්නම් ලොක්කා කෙළින්ම හිරුනයාව නොමිනේට් කරලා යවයි. එයාට නම් මොකද ඊට පස්සෙ කී දෙනෙක්ගෙ වැඩ අදින්න ඕෙනද ඉතුරු වෙන අපි දෙතුන්දෙනා. ලොක්කාටත් පස්සෙ ආපු අං තමා ලොකු අවුරුදු ගාණක් මේකෙ කට්ට කන අපිට වඩා.
හොඳ කොල්ලෙක් හහ්!!
ඕං නලින්ද අයියලාත් අපිට කරන උදව්.
******
හිරුනයා අද රෙසිග්නේෂන් භාර දීලා!
ඌට ඔෆර් එකක් ඇවිත්ලු මැක්ස් ඇඩ්වටයිසින් කම්පැනි එකේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට. හහ්........ කිසි කෙළෙහිගුණයක් නැති ජරා මිනිහෙක්. ඌට ඔතැනට එන්න ඔක්කොම කියා දීපු පාර පෙන්නපු මටවත් කලින් කිව්වෙ නෑ.
මැක්ස් එකේ ඔහොම ජොබ් එකකට යන්න පුළුවන් වුණා කියන්නෙ හිතන්න දෙයක් නෑ උගෙ අනාගතේ ගැන. බාප්පගෙ කොල්ලත් ඕකෙ ජොබ්වලට ට්‍රයි කළ නිසා මං හොඳටම දන්නවා. ඉලක්කම් හයක සැලරියකින්මයි බේසික් පටන් ගන්නෙ. තව ඕෙන තරම් බෙනිෆිට්ස් තියෙනවා.
"හිරුන් හරි ලකී කොල්ලෙක් නේද. හෙඩ් ඔෆිස් එකේ අර මාස හයේ වේකන්සි එකට යැව්වා නම් එයාට ඔය ජොබ් එකට යන්න වෙන්නෙ නෑ."
මගෙ එහා පැත්තෙ ඉන්න රංගිකා කට කොණකින් හිනාවෙලා මගෙ දිහා බලන් කිව්වෙ නෝන්ඩියටද මන්දා. ඒක කොහොමද මේකි දන්නෙ. මුන්ට හොඳක් කළාමත් ඕන් අපිට වෙන දේවල්.
නිමි