වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
තමන් හරි නම් කකුලෙන් අදින්න කාටවත් බැහැ

ඇගේ සිත බෙහෙවින්ම අධිෂ්ඨානශීලී ය. දෑත වෙසෙසින්ම ශක්තිවන්තය. එනිසාම පෙරමඟ සුපැහැදිලිය. ස්ත්‍රීත්වය දරා සිටින්නියක ලෙස ඇයද සුසිනිඳුය, මෘදු මොළොක්ය. ඈ නමින් ඒ.කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරි ලියනගේය. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු විභාග කොමසාරිස් ජනරාල් වූ පළමු කාන්තාව ඇයය.
පත්තර මහ ගෙදර ස්ත්‍රීත්වය නියෝජනය කරන 'තරුණි' වෙතින් පළමුව ඔබට උණුසුම් සුබ පැතුම්!
බොහොම ස්තූතියි
ඔබයි පළමු කත, විභාග කොමසාරිස් ජනරාල් ධූරයෙන් පිදුම් ලැබූ. අපි යමු ඔබේ අතීතයට, ළමා වියට.
පුංචි කාලේ මම හැදුණේ වැඩුණේ ගාල්ලේ මාපලගම කියන ගමේ. වර්තමානයේ දරුවන් භුක්ති නොවිඳින ළමා කාලයක් අපිට තිබුණා. වෙල් ඉපනැල්වල ගත කළ ඒ අතීතය මතක් වෙද්දි පුදුමාකාර සතුටක් දැනෙන්නේ. මාපලගම මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ මම ශිෂ්‍යත්වය සමත් වී ගාල්ලේ සංඝමිත්තා බාලිකාවට ඇතුළු වෙනවා. පන්ති කාමරයට වඩා පාසල් පිට්ටනියේ සැරිසරන මම උසස් පෙළ කරන අවදියේ පාසලේ කැඩෙට් සාජන්ට් ලෙස පත්වෙනවා. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී සිටින මට පළමුවරට සරසවි වරම් හිමිවන්නේ නැහැ. දෙවැනි වරට උසස් පෙළට පෙනී නොසිටින්න තීරණය කළ මම තුන්වෙනි වතාවෙදි නැවතත් උසස් පෙළ කරනවා. එවර ජීව විද්‍යා අංශයෙන් රුහුණු සරසවියට තේරී පත්වෙනවා. එහිදී දෙවන පෙළ පළමු පන්තියේ සාමාර්ථයක් හිමිකර ගන්නවා. ඒ කාලේ අපිට විභාග කරනවා කියලා ඔළුවට ලොකු බරක් තිබුණේ නැහැ.
ගුරු වෘත්තියට පිවිසීමේ මාවත විවර වන්නේ කොහොමද?
ඔය කාලෙදිම මම ගුරු විභාගයක් ලියලා ගුරු පත්වීමකුත් ලබාගන්නවා. ඒ මම ඉගෙනගත්ත මාපලගම මධ්‍ය මහා විද්‍යාලයට. කලාතුරකින් කෙනකුට ලැබෙන අවස්ථාවක්. මම පුදුම සතුටක් භුක්ති වින්දා. මුලදී මට ලැබුණු පාසල් ඔක්කොම වගේ මිශ්‍ර පාසල්, කුඩා පාසල්. ප්‍රවාහන පහසුකම්වත් නැති පාසල්.
ගුරුවරයෙක් ලෙස ගුරු පුහුණුව ලබන්න මම ඇතුළු වෙන්නේ පේරාදෙණිය ගුරු විද්‍යාලයට. විශ්වවිද්‍යාල වරම් ලබපු නිසා විද්‍යා පීඨ යෑමට නීතියෙන් අවසරයක් නැහැ. උපාධිය සම්පූර්ණ කිරීමේ බලවත් ආශාවක් තිබුණා.
මොනවද උගන්වපු විෂයන්?
මම ඉගැන්නුවේ ඉංග්‍රීසි භාෂාව. ඒ ඇරුණු කොට අනෙකුත් විවිධ විෂයනුත් වරින් වර ඉගැන්වීමේ අවස්ථාව හිමිවුණා.
ජීව විද්‍යා අංශයෙන් උපාධිය සම්පූර්ණ කළාට ඒ අංශයෙන් ඉහළට යන්න ඔබට ලැබෙන්නේ නැද්ද?
ඇත්තටම නැහැ. මොකද මට ලැබෙන්නේ පළාත් පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන්න. මේවා කුඩා පාසල්.
ඊළඟ පියවර වශයෙන් ඔබ පිවිසෙන්නේ අධ්‍යාපන පරිපාලන ක්ෂේත්රයට?
2002 වසරෙදි මේ සඳහා විභාගයක් පැවැත්වෙනවා. මමයි මගේ යාළුවයි දෙන්නම මේකට අයදුම් කරලා තේරී පත්වෙනවා.
ඉන් පස්සේ මට ලැබෙන්නේ ජාතික පාසල්වල කටයුතු කරන්න. ඒ අනුවයි, නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස පළමු පත්වීම නෙළුව ජාතික පාසලට හිමිවෙන්නේ. අමාත්‍යාංශයේ පුරප්පාඩු තිබුණත් අපි මේ දුෂ්කර පාසල්වලට ගියේ ඒ පාසල්වල අත්දැකීමත් විඳින්න. තවත් වසර හයක කාලයක් නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස කළුතර බාලිකා විද්‍යාලයේ කටයුතු කරනවා.
කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට ලැබෙන පත්වීමත් සමඟින් ඔබට කොළඹ ජාතික පාසලක අත්දැකීම විඳ ගන්නට ලැබෙනවා නේද?
පුවත්පතක පළවුණු වෙළෙඳ දැන්වීමකට අනුව සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වෙලයි මේ අවස්ථාව හිමි වෙන්නේ.
සියලුම ජාතීන්වල, ආගම්වල දරුවන් මේ පාසලේ ඉගෙනුම ලබනවා. මෙය සංහිඳියාව මනාව පිළිබිඹු කරන පාසලක්.
නියෝජ්‍ය විදුහල්පති පරිපාලන සහ නියෝජ්‍ය විදුහල්පති අධ්‍යාපන සේවා යන තනතුරු දෙකම දරනවා.
මේ අතරේ විද්‍යාලයේ විදුහල්පතිතුමා ඉවත්ව යෑමත් සමඟම නියෝජ්‍ය විදුහල්පති සහ විදුහල්පති යන තනතුරු දෙකේම කටයුතු කරනවා. ඩී. එස්. සේනානායක විද්‍යාලයේ කාන්තාවක් විදුහල්පති ලෙස කටයුතු කරන පළමු අවස්ථාවත් එය වනවා.
ඒ සමඟින්ම ඔබ විභාග දෙපාර්තමේන්තුවට පිවිසෙනවා නේද?
ස්ථාන මාරුවක් ලබා නියෝජ්‍ය විභාග කොමසාරිස්වරියක ලෙස පැමිණෙන්නේ ඔය වකවානුවෙදි. පර්යේෂණ හා සංවර්ධන ශාඛාවට අනුයුක්තවයි කටයුතු කළේ.
අධ්‍යාපන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන්ට පුරප්පාඩු වන තනතුරුවලට, තනතුරු ලබා දීමේ ක්‍රමවේදයක් මෙහි තිබෙන්නේ. ඒ අනුව විභාග කොමසාරිස් තනතුර හිමිවෙනවා. විභාග කොමසාරිස්වරු අට දෙනෙකු සිටිනවා. ඊට ඉහළින් අතිරේක විභාග කොමසාරිස් ජනරාල්වරු දෙදෙනකු සිටිනවා. ඊටත් ඉහළින් තමයි විභාග කොමසාරිස් ජනරාල් සිටින්නේ. වසර තුනක කාලයක් විභාග කොමසාරිස් තනතුරේ කටයුතු කරනවා. පාසල් විභාග රහස්‍ය ශාඛාව භාර විභාග කොමසාරිස් ලෙස දෙපාර්තමේන්තු සේවා කාලය තුළ වැඩි කාලයක් කටයුතු කළා. ඊට අමතරව දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශයේ රාජකාරි ඉටු කළා.
විභාග කොමසාරිස් (පාලන හා විමර්ශන) තනතුරේ ද මම කටයුතු කළා. ඉන්පසු තමයි මම විභාග කොමසාරිස් ජනරාල් බවට පත්වෙන්නේ.
කාන්තාවක් ලෙස ඔබ ආ මඟ හරිම සුවිශේෂීයි.
අදාළ තනතුරේ වැඩ කටයුතු, රාජකාරී, වගකීම් නිසි ලෙස ඉටු කරනවනම් අපි කොහෙත්ම පසුබෑමකට ලක්වෙන්නේ නෑ. එහිදී කාන්තාවක් යැයි කියා කකුලෙන් අදින එකත් පහසු කටයුත්තක් වෙන්නෙ නැහැ. තමුන් ගැන තිබෙන ආත්ම විශ්වාසය ඉතාම වටිනවා.
මොන තරම් ඉහළ තනතුරු හෙබවූවත් අපට පවුලේ රාජකාරිවලින් මිදෙන්නට බැහැ. ඒ පිළිබඳවත් අපි කතාබහ කරමු.
මගේ සැමියා කථිකාචාර්යවරයෙක්. අපට පුතාලා දෙන්නෙක් සහ දුවක් සිටිනවා. අපි දෙන්නම බොහොම කාර්යබහුලයි. මේ හින්දා අපි අපේ දරුවො පුරුදු කළේ තනියෙන්ම තමුන්ගෙ වැඩ කරගෙන ඉන්න. අපේ දරුවෝ හරිම ස්වාධීනයි.
දරුවො ඉන්න අම්මා කෙනෙක් විදිහට ඔබටත් හොඳින්ම දැනෙනවා ඇති ලංකාවේ විභාග රටාවේ වෙනසක් විය යුතු බව. ඉදිරියේදී ඒ සඳහා ඔබ ක්‍රියා කරන්නේ කෙසේද?
ලංකාවේ අධ්‍යාපන රටාවේ වෙනසක් විය යුතුමයි. එහෙත් එය ක්‍රම ක්‍රමයෙන් කළ යුතු වන්නේ. ප්‍රශ්න පත්රවලට සීමානොවී ප්‍රායෝගික පරීක්ෂණයන්ට පාසල තුළදීම ඇගයීමක් කළ යුතු වුවත් අපේ පද්ධතිය එලෙස සැකසී නෑ. අධ්‍යාපන රටාව වෙනස් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි. මවුපියන්ගේ ගුරුවරුන්ගේ මුල් බැසගත් මත වෙනස් කිරීමත් ලේසි නැහැ.
ඉදිරියෙදි child frindly විභාග රටාවක් අපේ රට තුළත් ක්‍රියාත්මක වේවි.
ශාන් රූපස්සර