වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
දන් පූජාවේ ආනිසංස බොහෝමයි
දානය තුළ ශීලය තුළ භාවනාවත් ඇතිකරගත් පුද්ගලයා උතුම් ජයග්රහණයන්ට පිවිසෙන බව ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කර තිබේ.
දස කුසල් අතරින් ප්‍රමුඛස්ථානය හිමි වනුයේ දානයටය. ඒ මසුරුකම, තණ්හාව දුරු කර ගනිමින් තමන් සතු දේ අන්සතු කිරීම හෙවත් දානය උතුම්ම කටයුත්තක් වන බැවිනි. එවන් බෞද්ධයකු වන ඔබ විහාරස්ථානයට ගොස් හීල් දානය (උදේ දානය) දහවල් දානය සහ ගිලන්පස පූජාව නිසි පරිදි පූජා කරන්නේ කෙසේද ?
අපේ උපාසක - උපාසිකාවන් සැදැහැසිත් පිරිවරාගෙන විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් දානයේ අග්‍ර කොටස ද විහාරස්ථානයේ වැඩ වසන ස්වාමින්වහන්සේලා වෙනුවෙන් හීල් දානය, දහවල් දානය සහ ගිලන්පස පූජාව පූජා කරනු ලබන්නේ ඉතා ගෞරවයෙනි.
මෙය තම තමන්ට ඇති හැකි පරිදි සිදු කරනවා. එහිදි වැදගත් වන්නේ කුසල් සිත පෙරටුවීමයි. තමන් මෙලෙස පින් සිතින් පූජා කරන දානයේ ආනිශංසයෙන් ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ලැබීමට තරම් වාසනාව ලැබෙනවා.
අපේ උපාසක උපාසිකාවන් දන්නවා සීවලී මහ රහතන් වහන්සේ පිළිබඳ කතා පුවත. බොහෝ නිවෙස්වල උන්වහන්සේගේ පින්තූර තැන්පත්කර පුද සත්කාර කරනු ලබනවා.
ඒ තම නිවෙසට ආහාර පානවලින් හිඟයක් නොවේවා යන ප්‍රාර්ථනය පෙරදැරි කරගෙනයි. මෙතරම් භක්තිමත් සිතකින් සීවලී මහ රහතන් වහන්සේ වන්දනාමාන කරන්නට හේතුව ඔබ දන්නවාද ?
ඒ සීවලී මහ රහතන් වහන්සේ එක්තරා ආත්ම භවයකදී පුදුමුත්තර බුදුරජානන් වහන්සේට කළ කිරි පූජාවක ප්රතිඵලයකි. ඒ කතාව බොහොම දිගය. අපි තවත් දවසකදි ඒ කතාව කියවමු.
මේ මහඟු පුණ්‍ය කර්මයෙන් ආත්මයක් ආත්මයක් පාසා කොහේ කොතැනක වැඩ සිටියත් සීවලී මහ රහතන් වහන්සේට ආහාර නොඅඩුව ලැබුණ බව සඳහන් වෙනවා. ආහාර පූජාව එතරම්ම බලවත් පූජාවක්.
ගිහි කළ වගේම පැවිදි භවයකදී ද උන්වහන්සේ එවන් පුණ්‍ය කර්මයක් සිදුකර ගත්තා.
එනම්, තමන් වහන්සේ දන් වළඳා අවසන් වූ මොහොතේම පැටවුන් බිහි කළ බැල්ලියක කුසගිනි වී ඉන්නවා දැක්කා.
තමන් වැළදූ දානය නැවත වමාරා පවිත්‍ර සිතින් අර බැල්ලියට ආහාරයට සැලසුවා. ආත්මයෙන් ආත්මයේ මෙවැනි බලවත් ආහාර පූජාවන් සිදුකිරීමේ බල මහිමය නිසාවෙන් උන් වහන්සේට ආහාර නොඅඩුව ලැබුණා. එපමණක් නොව අදටත් උන්වහන්සේගේ ප්‍රතිමාවක් නිවෙස්වල තැන්පත්කර ආහාර පූජාවක් සිදු කරනුයේ ඒ මහත් පින්බලය නිසයි.
මෙවන් පුණ්යකර්ම රැස්කර ගැනීම උදෙසා ද නොයෙක් අවස්ථාවන්වලදි හැකි පරිදි උපාසක උපාසිකාවන් විහාරස්ථානයට දානය රැගෙන එනු ලබනවා.
එහිදී උදෑසන දානයේ පිළිවෙත් නිවැරැදි සිදු කරන ආකාරය අපි විමසා බලමු.
උදෑසන දානය
උදෑසන දානයට අපේ ඇත්තන් හීල් දානය වශයෙන් ද හඳුන්වනවා. සාමාන්‍ය දිනවලදී වගේම විශේෂයෙන් පොහෝ දිනකදී මෙම දානය පූජා කළ හැකියි. මෙහිදී උදේ දානය පූජා කිරීමට පෙර දිනයේදී විහාරස්ථානයට ගොස් භික්ෂුන් වහන්සේලා වැඩ සිටින ප්‍රමාණය අසා දැනගත යුතුයි. අනතුරුව උන්වහන්සේලාට වැළැදීමට සුදුසු දානය විමසන්න. ඒ ගිලන් වූ භික්ෂුන් වහන්සේලා, අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා, භාවනායෝගිව වසන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පිරිනමන දානය එකිනෙකට වෙනස්විය හැකි බැවිනි. හීල් දානය සමඟ ගිලන්පස පූජාව ද කළ යුතුයි. එයට ද උන්වහන්සේලා වැළැදීමට රුචි ගිලන්පස වර්ග පූජා කිරීම වැදගත්.
මෙම හීල්දාන පූජාව විහාරස්ථානයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේලා හතර නමක් වෙනුවෙන් හෝ ඊට වැඩියෙන් සිදු කළේ නම් සාංඝික කර කොට පූජා කළ හැකියි. එවිට එම කුසලය වැඩි වේ. ඊට අඩු ප්‍රමාණයක් නම් පෞද්ගලික පූජාවක් වශයෙන් පූජා කළ හැකියි. මෙම හීල් දාන පූජාව උදෑසන 6:30 - 7:30 අතර කාලයේ පූජා කළයුතු වේ.
දහවල් දානය
දහවල් දානයට පෙර දින වැඩ සිටින භික්ෂූන් ගැන විමසා අවශ්‍ය ප්‍රමාණය දැනගත යුතුයි. ආහාර පූජාවේදී බත් - ව්‍යංජන, කැවිලි, පලතුරු, කිරි - පැණි ආදී දේවල් පූජා කළ හැකියි. පිරිකර පූජාව ද මෙහිදී සිදු කෙරේ.
ඒ සඳහා භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය දේ පූජා කිරීමෙන් පිරිකර අපතේ නොයනු ඇත. දහවල් දානය පෙරවරු 11:00 - පස්වරු 12:00 ත් අතර පූජා කළ යුතුය. මෙහිදී ද බුද්ධපූජාව ප්‍රථමයෙන් තැම්පත්කර සිටිය යුතු වේ.
ගිලන්පස පූජාව
ගිලන්පස පූජාව වෙනුවෙන් ඖෂධ වර්ග හෝ තේ වර්ග, අෂ්ට පාන වර්ගත් පූජා කළ හැකියි. අෂ්ට පාන ලෙස සැලකෙන්නේ අඹ, ජම්බු, ඇටි කෙසෙල්, ඇට නැති සෙසෙල්, අමු මුද්‍රප්පලම්, වියළි මුද්‍රප්පලම්, ඕලු ගෙඩි, කටු ගෙඩි යන මේවායි. මේ පාන වර්ග සෑදිය යුත්තේ ඇල්දියෙනි.
තම්බා සෑදුවහොත් විකාලයෙහි කැප නොවේ. මේවාට සමාන වන දෙහි, දොඩම් යුෂ ආදියෙන් කෙරෙන පාන වර්ගත්, වෙඬරු ගිතෙල්, සීනි, සුකිරි, සීනි බෝල, පැණි හකුරු, මී පැණි, තලතෙල් යන සියලුම බෙහෙත් වර්ගත් ගිලන්පස වශයෙන් පිදිය හැකියි.
මෙලෙස හීල් දානය, දහවල් දානය සහ ගිලන්පස පූජාව නිසි පිළිවෙත් පරිදි කරන ඔබට මහඟු ආනිසංස ලැබේ.
ඒ අප ඉපදීමෙන් පසු ඉදිරියට කලක් පවත්නේ ආහාරයේ බලයෙනි. ආහාර නොලදහොත් දිවිය නොපවති. එබැවින් ජීවිතය ඉදිරියට පැවැතීමට උපකාර වන ආහාර දීම ජීවිතය හෙවත් ආයුෂය දීමක් වේ. ආහාර පිදීම ආයුෂ පිදීමකි. රූප ශෝභාව ඇතිවීමට පැවතීමට හොඳ ආහාර වුවමනායි. එබැවින් රූප ශොභාව ඇතිවීමට පැවැතීමට හේතු වන ආහාර දීම, පිදීම ශරීර වර්ණය දීමක් පිදීමක් වේ. නිරාහාරව ක්ලාන්තව සිටින්නකුට අන් කුමක් ඇතත් සැපයක් නැත. එබැවින් ආහාර දීම සැපය ද දීමකි.
එබැවින් ආහාර පූජාව ද ශක්තිය පූජාවක් වේ. ආහාර හිඟව ලේ මස් වියළි ගොස් ඉන්ද්රිය දුබල වුවහොත් ප්‍රඥාව නැතිවේ. ප්‍රඥාව ඇතිවීමටත් ආහාර ලැබිය යුතු වේ. එබැවින් ආහාර දානය ආහාර පූජාව ප්‍රඥාව දානයක් ප්‍රඥාව පූජාවක් ද වේ. ආයුෂය - ශරීර වර්ණය - සැපය - ශරීර ශක්තිය - ප්‍රඥාව යන සියල්ල මේ උතුම් පුජාවෙන් ලැබේ.
එබැවින් ආහාර පූජාව ඉතා උසස් පිනක් ලැබිමේ පූජාවකි.
බුදු දහම ලොව පවතින යුගයක මිනිස් ජීවිතයක් ලබා උපදින සියලු මිනිසුන්ට, බුදු සසුනින් ඵල නෙළාගෙන, සසර දුකින් නිදහස්වීමේ වාසනාව නොලැබේ. එහෙත් පුද්ගලයා දුගතියෙන් ගලවා සුගතිය කරා යොමු කිරීම සඳහා බුදුරජාණන්වහන්සේ වදාලේ දාන, ශීල, භාවනා යන තුන් කරුණු බව ඔබ සිහි තබා ගන්න.
අනුශාසනාව - රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති, මගලෙගොඩ විද්‍යාලයේ විදුහල්පති, සියනෑ හාපිටිගම් දෙකෝරළේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති පූජ්‍ය
රදාවඩුන්නේ ශාන්ත අමරනන්ද ස්වාමීන් වහන්සේ