දරුවා ගුණයෙන් නැණයෙන් දිලේවි

දෙසැම්බර් 26, 2018

 මොන්ටිසෝරි ටීචර් මිසෙක මහාචාර්යවරියක් වුණත් අම්මා කියාදෙන පාඩමක් ගැන සිඟිති දූ පුතුන්ට කිසිදු විශ්වාසයක් නෑ.

"අම්මි දන්නේ නැහැ. අපේ ටීචර් විතරයි දන්නේ..."

පුංචි හිත්වල ගුරුතුමිය ගැන පුදුමාකාර විශ්වාසයක් තියෙනවා. ටීචර්ට ආදරයකුත් භක්තියකුත් ඒ සමඟමයි. ඒත් මොන්ටිසෝරිය එක දෙක තුන... ප්‍රාථමික පන්ති පහුකරගෙන ඉදිරියට එන ඇතැම් දරුවන් ළඟ ගුරුවරුන් පිළිබඳ විශ්වාසයක් නෑ. ගෞරවයක් නැහැ. සංක්ෂිප්තවම පවසනවා නම් ගුරුවරුන් කියන දේ පිළිගන්න කැමැති නැහැ.

මහා අපරාධවලට පැටළුණු දරුවන් ගැන පසුවිපරම් කර බලද්දී ගුරුසිත රිදවූ සිදුවීම් පිළිබඳ විවිධ කතා ඇහෙනවා.

"ඔය ළමයා ඉස්කෝලේ පන්ති තහනමකටත් ලක් වුණා ලු."

"පහුගිය අවුරුද්දේත් ගුරුවරයකු එක්ක ඇති කරගත් ආරවුලක් දුරදිග ගියාලු."

පුංචි පන්තිවලදී ගුරුවරුන්ට මහත් බැතියකින් සිටි දූ පුතුන් ඉහළ පන්තිවලට යද්දී මේ තරමට ගුරු සිසු පරතරයක් ඇති කරගන්නේ ඇයි? සිප් සතර දෙන ගුරුවරුන් කෙරෙහි අපේ දූ පුතුන් මේ හැටි සිත් බිඳ ගන්නේ ඇයි? ඒ පිළිබඳ හේතු වන කාරණා ගොන්නක් පෙළ ගසන්න පුළුවන් ඇති. ඒත් ආදරණීය මවු පියනේ, මේ වරදට ඔබත් වැඩිදුර නොහිතා හොඳ හැටි සම්මාදම් වෙනවා.

අලුත් අවුරුද්දේ අපේ දූ පුතුන් අලුත් පන්තියකට යනවා. දරුවා අලුත් වූ සිතක් පෙරදැරිව පාසලට යද්දී ඔබේ හිත ලොකු කුකුසකින් පෙළෙනවා.

"අලුත් පන්තියේ පන්තිභාර ගුරුවරයා හොඳ ද?"

"විෂය භාර ගුරුවරුන් හොඳ ද?"

අපේ අම්මලා ඉස්කෝලේ ගේට්ටුව ළඟ නතර වෙලා රහස් මුමුණනවා.

"අයියෝ අපේ පුතාලාගේ ටීචර් නම් ඔයාලාගේ දූගේ පන්තියේ ටීචර් තරම් හොඳ නෑ ලු."

"නැටුම් මිස්ට හොඳට නටන්න බෑ ලු අනේ."

ඊළඟ අම්මලා මෙහෙම දුරකථන සාකච්ඡාවල යෙදෙන්නේ දරුවන්ව ළඟ තියාගෙනයි."

"අපේ ටීචර්ට හරියට උගන්වන්න දන්නේ නෑ." මුලින්ම අපේ දරුවන් ගුරුවරුන් ගැන අවිශ්වාසයෙන් බලන්න පටන් ගත්තේ මෙතැනදීයි."

අපේ රටේ රජයේ පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීමේ පිළිවෙළක් තිබෙනවා. ඉන් පස්සේ සෑම ගුරුවරයකුට ම සමාන පුහුණුවීම් ලබා දෙනවා. ඉන්පස්සේදීත් ඔවුන්ගේ ඉගැන්වීමේ කාර්ය භාරය මැනෙන, පරීක්ෂාවට ලක්කෙරෙන විවිධ ක්‍රමවේද ක්‍රියාත්මක වෙනවා. පෞද්ගලික පාසලකට වුවත් තම කීර්ති නාමය රඳවා ගන්න නම් ගුරුවරුන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ දැනුම - හැකියාව ගැන සලකා බැලිය යුතු වනවා.

කොහොම වුණත් ගුරුවරුන්ගේ පෞද්ගලික දක්ෂතා අනුව අයෙක් අනෙකාට වැඩිය කැපී පෙනිය හැකියි. ඒ පිළිබඳ දරුවන් ඉදිරියේ විවරණ දුන්නෝතින් ඉන් අගතියට පත්වන්නේ ඔබේ දරුවාමයි. අම්මා උගන්වන්න බෑයි කල්තබාම නිගමනය කළ ගුරුවරයකුගෙන් දරුවාට උගනින මානසිකත්වයක් ඇති නොවිය හැකියි. ඉගෙනීමට සූදානමක් නැති මෙවැනි දරුවන්ට ශිල්ප පිහිටන්නේත් නැහැ.

තවත් පසෙකින් පාසලේදී ගුරුවරයාගේ කාර්යභාරය පොතේ පතේ පාඩම් උගැන්වීමට පමණක් සීමා වන්නේ නැහැ. එනිසාම සිසු දරුවන් විනය තුළ පිහිටුවීමට විෂය බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගිකරවා ගැනීමට ගුරුවරුන්ට වෙහෙසෙන්න සිදු වනවා. එවන් විටක ගුරුවරුනට දරුවන් වෙත දඬුවම් ලබාදීමටත් සිදුවිය හැකියි.

"කොණ්ඩ දෙකක් බැඳගෙන ආවේ නෑ කියලා අද මට විනය භාර ටීචර් මිදුලේ කොළ අහුලන්න කිව්වා."

"නිවාසාන්තර ක්‍රීඩා තෝරා ගැනීම්වලට ගියේ නෑ කියලා පන්තිභාර සර් මාව පිට්ටනිය වටේ රවුම් තුනක් දිවෙව්වා." දරුවන් ඔබ වෙත ගෙනෙන පැමිණිලිවලදී ඔබ ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?

"අනේ අපේ දූගේ කොණ්ඩය යාන්තම් වැවුණා විතරයි. මේ ටීචර් නම් යක්ෂණියක්."

"පන්තිභාර සර් කොහොමද ඔයාව එහෙම අව්වේ දුවවන්නේ. එයා මං කවුද කියලා දන්නේ නැතිව ඇති."

ඔබ මෙලෙස දරුවා සාධාරණීයකරණය කරමින් ගුරුවරයාට දොස් දක්වන්නේ නම් ක්‍රම ක්‍රමිකව ගුණ යහපත්කම් ඔබේ දරුවා තුළින් පලා යාවි.

"ඇත්තනෙ දුවේ, ඔයාගේ කොණ්ඩය ටිකක් වැවිලා නේ. මම හෙට ඉඳලා ඔයාගේ කොණ්ඩය බඳින්නම්. ඉස්කෝලෙට විනයක් තියනවානේ දුවේ."

"නිවාසාන්තර ක්‍රීඩා උත්සවය තියන්නේ ඔයාලා වෙනුවෙන්නේ. ඉතින් ඒකට කම්මැළි නොවී සහභාගි වෙන්න ඕනෑ. අද අව්වේ ඉන්න - දුවන්න හුරු නොවුණෝතින් කොහොමද ඔයා අපි වගේ ලොකු වෙන්නේ. ශක්තිමත් වෙන්නේ."

ඔබ මෙලෙස දරුවාගේ හිත එකලස් කරන විට දරුවා තුළ ගුරු බැතිය රැකෙනවා. දරුවා අවවාද පිළිගන්න හුරු වෙනවා. වැරැදි නිවැරැදි කරගන්න පෙලඹෙනවා. මෙවැනි කීකරු දරුවන්ට ගුරුවරුන්ගෙන් ද පිළිගැනීමක් ලැබෙනවා.

අප කිසිවකුත් එක සමාන වන්නේ නැහැ. ඒ නිසා ඔබේ දරුවා ඉගෙන ගන්න පන්තියේ ද විවිධ සිතුම් පැතුම්, ආකල්ප ඇති දරුවන් සිටිය හැකියි. ඒ නිසාම මේ දරුවන් අතරේ ගැටුම් ඇතිවිය හැකියි. එහිදී වැරැද්ද නිවැරැද්ද විමසා බලා ගුරුවරයාගෙන් සිසුදරුවන් දඬුවම් ද ලැබිය හැකියි.

"අද මට සෙනුර ටීචර්ට කියලා ගැස්සුවා. මට සෙනුරව පේන්න බෑ. එයා ටීචර්ට බොරු කේලම් කියනවා. මං ටීචර්ටත් කැමැති නෑ."

මේ සමඟම "ටීචර් මගේ අහිංසක දරුවාට ගහලා." යැයි ඔබේ සිතට එකවරම නැඟෙන ආවේගකාරි සිතුවිලිල්ල වළකා ගන්න. ඔබ ටීචර් ඉදිරියට යා යුත්තේ ඔබේ දරුවා සමඟ ගැටුණු සිසුවාට ටීචර් ලවා දඬුවම් ලබාදීමට නොවේ.

"ටීචර් මගේ පුතාවයි සෙනුරවයි යාළු කරලා දෙන්න. මගේ පුතා ආයෙමත් වැරැදි කරන්නේ නෑ ලු."

ටීචර් හමුවී ඔබේ දරුවා ඉදිරියේදීම ඔබ මේ ඉල්ලීම කරන්නේ නම් දරුවා තුළ ගුරු භක්තිය රැඳේවි. පන්තිය පාසල ඔහුට ප්‍රසන්න පරිසරයක් වේවි.

ඇතැම් විටෙක වරදක් නිසා ඔබේ දූ පුතුන්ට දඬුවම් කරන ගුරුවරයාගේ ආවේගය, ද්වේශය වැරැදි සහගත විය හැකියි. එවැනි විටකදීවත් දඬුවම දරාගත් දරුවන් ඉදිරියේ ගුරුවරයා පිළිබඳ ඔබේ සිතේ මතුවන ආවේගය මුදා හරින්න එපා. කිසිසේත්ම ගුරුවරයාට එරෙහි වන්නට දරුවන්ට ශක්තියක් වන්න එපා."

"පුතේ ඔයාගේත් වරදක් තිබිලානේ. ඔයා වරද හදා ගන්න ඕනෑ." ඔබ මේ තීරණයට එන්නට බුද්ධිමත් වන්න. නැතිනම් දඬුවමින් ගැලවීමට ඔබේ පිළිසරණ ශක්තියක් කරගත් දරුවා සමාජයේදීත් වරදට බිය නොවේවි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

අත්තනායක එම්. හේරත් මහතා