කළ වරදට විපාක ලැබෙනවාම යි

දෙසැම්බර් 19, 2018

බුදුරජාණන් වහන්සේ වදාළ දර්ශනය දෙස අප විවෘත මනසකින් බැලුවොත් එහි කුසල් හා අකුසල්, පින් සහ පව්, හොඳ සහ නරක, වැරැදි සහ නිවැරැදි කියා බෙදා තිබෙනවා.

ඒවා පිළිබඳව කිසිවකුට චෝදනා කරන්න බැහැ මෙයින් කොහොමද හොඳක් වෙන්නේ? මෙහි නරකක් තිබෙනවානේ. මේ දේ කොහොමද නරකක් වෙන්නේ? මෙහි හොඳක් තිබෙනවානේ කියා.

කය, වචනය, සිතින් අපි කරන යහපත් මෙන් ම අයහපත් ක්‍රියා තිබෙනවා. බෞද්ධ පරිසරයක නිසා අප දන්නවා නිවැරැදි ලෙසම මේ කායික ක්‍රියා වැරැදියි. මේ කායික ක්‍රියා හරි. මේ කතා කරන වචන වැරැදියි. මේ වචන හරි. මේ සිතන සිතුවිලි වැරැදියි. මේ සිතිවිලි හරි කියලා. එහෙමනම් වැරැදි දේ සහ හරි දේ අපි සරලව කිව්වොත් පව් සහ පින් කියන මේ මාතෘකා දෙක අපට හිතු මනාපේ විග්‍රහ කර ගන්න බැහැ. අපට දැනුමත් සමඟ සමාජයෙන් ආ දෙයක් තිබෙනවා. අප ඒක බුදුරදුන්ගේ මූලික දේශනා සමඟ ගළපා බලන්න ඕනේ. එසේ බලන විට මේ දේ වැරැදියි. මේ දේ හරි කියා අපට තේරුම් ගන්න පුළුවන්.

විපාකය මෙසේ තේරුම් ගන්න. කර්මය කියන්නේ ක්‍රියාවයි. ක්‍රියාව ආකාර තුනයි. කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා. අප කය මුල්කරගෙන යම් දෙයක් කරනවා. වචනය මුල් කරගෙන යම් දෙයක් කියනවා. සිත මුල් කරගෙන සිතිවිලි සිතනවා. එසේ ක්‍රියාවටත්, වචනයටත්, සිතිවිල්ලටත් කියනවා කර්මය කියා. ඒ කර්මය ගැනත්, විපාක ගැනත් දේශනා කළේ බුදුරජාණන් වහන්සේ විසිනුයි.

 

විරූපි වන්නේ ඇයි

බුදුරජාණන් වහන්සේ වදාළා වැඩිපුර කේන්ති යන අය, පොඩි දෙයටත් තරහ ගන්න අය, ඒ විපාකය හේතුවෙන් දුගතිගාමි වෙන්න පුළුවන්. නැවත මිනිස් ලෝකයට ආ විට ඉතා අපි‍්‍රය අමනාප රූපයක් ලැබෙනවා. දුටුවන්ට පි‍්‍රයමනාප නැති රූපයක් ලැබෙනවා. මේ පිළිබඳව වදාළේ කොසොල් රජුගේ අග්‍ර මහේෂිකාව වූ මල්්ලිකා දේවියට යි. ඇය කළුයි. ඒ වගේම ඇයට පි‍්‍රයමානාප රූපයක් තිබුණේ නැහැ. නමුත් ඇය ඉතා සිල්වත්. ගුණවත්. බොහෝ සැප සම්පත් තිබුණා. භාග්‍යවතුන් වහන්සේ ඇය රාජ මහේෂිකාවක් නේ, සිත රිදෙන්න පුළුවන් කියලා සත්‍ය වසන් නො කර පෙන්වා වදාළා පුංචි දෙයටත් ක්‍රෝධ කළොත්, ද්වේෂයෙන් සිිටියොත්, ක්‍රෝධ බහුලව වාසය කළොත් ඒ පුද්ගලයා මරණින් පසු දුගතියේ ඉපදෙනවා. යම් දිනක මිනිස් ලෝකයට ආ විට ඉතා අපි‍්‍රය අමනාප රූප ස්වභාවයක් ලැබෙනවා. දුටුවන් බලන්න අකැමැති රූපයක් ලැබෙනවා. එයට හේතුව ක්‍රෝධ බහුලව වාසය කිරීම යි. එහි ක්‍රියාව තමයි ක්‍රෝධ කිරීම. විපාකය තමයි දුගතියේ ඉපදීම. එහි අනු විපාකය තමයි විරූප රූපයක් ලැබීම.

ඒ සම්බන්ධයෙන් අපට සිතා අවසන් කරන්න අමාරුයි. බුද්ධ දේශනාවෙන් තමයි විපාක තේරුම් ගන්න තිබෙන්නේ. අනිවාර්යයෙන් ම කර්මයට විපාකයක් ලැබෙනවා. හොඳ කර්මයට හොඳ විපාකයක් ලැබෙනවා. නරක කර්මයට නරක විපාකයක් ලැබෙනවා. නමුත් අපි විපාක දෙන්න තිබෙන පරිසරය නැති කර ගත්තොත් විපාක නැතිව යනවා.

කර්මයක් විපාක දෙන ආකාරය

අපට කර්මයක් විපාක දෙන ආකාර තුනක් තිබෙනවා. ඒ මේ ජීවිතයේ දීම විපාක දෙනවා. නැත්නම් ඊළඟ ජීවිතයේ දී විපාක දෙනවා. එසේත් නැත්නම් ජීවිත ගණනාවක් පුරාවට විපාක දෙනවා. එසේනම් එක එක කර්මවල බරපතල වන ස්වභාවයක් තිබෙනවා. පොඩි කර්ම තිබෙනවා. මධ්‍යම ප්‍රමාණයේ කර්ම මෙන්ම විශාල කර්මයත් තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ කෝකාලික නමින් භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා හිටියා. සාරිපුත්ත මොග්ගල්ලාන මහ රහතන් වහන්සේලා චාරිකාවේ වඩිද්දී මිනිසුන් උන්වහන්සේ උදෙසා මහත් ගෞරවයෙන් පිරිකර කීපයක් පූජා කළා. ඒවා කෝකාලික තෙරුන් සිටි ආරාමයේ දී තමයි පූජා කළේ.

කෝකාලික තෙරුන් සිතුවා ඒ පිරිකර තමන්ට තබා යයි කියලා. නමුත් සාරිපුත්ත මහරතන් වහන්සේ වදාළා අපි ඒ ටික පිටිසරව ජීවත් වන භික්ෂූන්ට ලබාදෙමු කියලා. ඒකට කෝකාලික තෙරුන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ සමග වෛර බැඳ ගත්තා.

ඒ නිසාම ඒ තෙරුන් සාරිපුත්ත, මොග්ගල්ලාන දෙනම ගැන බුදුරජාණන් වහන්සේ වෙත ගොස් දොස් කිව්වා. අපි හිතත තරම් අග්‍ර ශ්‍රාවකයන් පිරිසුදු අය නොවේ. හරි ලෝභයි. මසුරුයි. පාපි ආශාවන්ගෙන් යුක්තයි කියමින් සිතට එන වචන කියා අපහාස කළා. එහි විපාකය තේරුණේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ වදාළා කෝකාලික, සාරිපුත්ත සහ මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා සිල්වත්, ගුණවත්, නිකෙලෙස්. හිත පහදවා ගන්න කිව්වා. නමුත් ඒ තෙරුන් පැහැදීමක් ඇතිකර ගත්තේ ම නැහැ.

එනිසා ඒ වචනයේ විපාකය ඒ මොහොතේ ම බරපතළ ලෙස විපාක දුන්නේ උන්වහන්ගේලාගේ ගුණය මහත් නිසා. සාමාන්‍ය මනුස්සයකුට බණින එක ඒ අවස්ථාවේදී විපාක නො දෙන්න පුළුවන්. නමුත් සිල්වත්, ගුණවත් උතුමන්ට දොස් කීම ඉතා බරපතළයි. ඒ මොහොත්ම ඒ භික්ෂුවගේ ශරීරයේ අබ ඇට තරම් බිබිලි දැම්මා. ඒවා මුංඇට තරමට වුණා. කඩල ඇට තරමට වුණා. නෙල්ලි ගෙඩි ප්‍රමාණයට වුණා. බෙලි ගැට තරම් වුණා. බෙලි ගෙඩි තරම්වෙලා සැරව දාලා ඒ ගෙඩි පුපුරා මුළු ශරීරමය සැරව ගොඩාක් බවට පත්වුණා. ඒ කර්මය ඒ මොහොත් ම විපාක දුන්නා. අපට පැහැදිලි කරන්න අමාරුයි කොහොමද ඒක වෙන්නේ කියලා. නමුත් සිතක් පවිටු වූ විට එහි බලපෑම කයට දැනෙනවා. මානසිකව ඇතිවන පරිවර්තනය මේ රූප කයට දැනෙනවා. ඒ භික්ෂුව මරණින් මතු නිරයේ උපන්නා.

 

විහිළුවටවත් පව් කරන්න එපා

ඒ වගේම කර්ම විපාකය ගැන දැනගන්න මෙයත් හොඳ සිද්ධියක්. බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ එක් පේ‍්‍රතයෙක් ඉපදී සිටියා. ඒ පේ‍්‍රතයා නිරුවත්. නමුත් ඔහු කළ පිනක් හේතුවෙන් හිතේ වේගයෙන් ගමන් කරන්න පුළුවන් වාහනයක් ලැබී තිබුණා. දිව්‍ය පුත්‍රයෙක් වගේ ලස්සනයි.

ඒකට හේතුව මනුස්ස ලෝකයේ දී ඔහු තරහා අරගෙන නැහැ. දිව්‍ය සුවඳක් ඔහුගේ ශරීරයෙන් විහිදෙනවා. ඒ ඔහු පෙර ජීවිතයේ දී නන් අයුරින් මිනිසුන්ගේ ගුණ කියා තිබෙනවා. ඒක යහපත් ක්‍රියාවේ විපාකයක්.

ඒ වගේම මිනිස් ලොවදී ඔහු රැකියාට කඩයක් කළා. ඒ කඩය ඉදිරියේ වළක් තිබුණා. මිනිසුන් ඒ වළ උඩින් පැන පැන යනකොට මිනිසුන්ගේ ශරීරයේ් මඩ ගෑවුණා. ඔහු මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් කැලෑවේ මියගොස් ඇට පෑදී තිබු ගවයකුගේ හිස් කබලක් ගෙනවිත් අර මඩවලට දැම්මා. මිනිසුන් අර හරක් හිස් කලබක් උඩින් කකුල තියලා මඩ නො තැවරී සුවසේ ගමනක් කළා. ඒක බලලා ඔහු සතුටු වුණා.

දැන් මෙයා කයින් කළ ක්‍රියාව තමයි පාරේ යන මිනිසුන්ට පහසුකමක් හැදුවා. වචනයෙන් කළ පින තමයි අනෙක් පිරිසගේ ගුණ කිව්වා. සිතින් කළ පින තමයි ද්වේෂ කළේ නැහැ. ක්‍රෝධ කළ නැති මනුස්සයෙක්. නමුත් ඔහු හුඟක් හොඳ, යහපත් පින්කම් කර තිබුණේ නැහැ.

එනිසා මියගොස් පේ‍්‍රත සත්ත්වයෙක් වෙලා උපන්නා. ඔහු සැප දුක මිශ්‍ර විමාන පේ‍්‍රතයෙක්. ඒ පේ‍්‍රතයා නිරුවත්. වස්ත්‍ර නැහැ. නිරුවත් වීමට හේතුව වුණේ යාළුවොත් සමග නාන්න ගිහින් ඒ යාළුවන් දියට බැස්සට පස්සේ විහිළුවට ඔවුන්ගේ ඇඳුම් හංගලා ඔවුන් අපහසුතාවයට පත් කළා.

එයින් ඔහු සතුටට පත් වුණා. අවසානයේ දී ඔහු ඇඳුම් දුන්නා. නමුත් අර පිරිසගේ සිත දුකට, ලැජ්්ජාවට පත්කළා.

එනිසා ඔහුගේ සිත පටු වුණා. ඒ පටු සිතට විපාකයක් රැස් වුණා. ඒ ඉපදෙන ආත්මයේ වස්ත්‍ර නැහැ. නිරුවත්. මේ පේ‍්‍රතයා එක් රහතන් වහන්සේ නමකට මුණ ගැහිලා තමන් ගැන කියනවා.

ඒ රහතන් වහන්සේ තවත් රහතන් වහන්සේ නමකට චීවරයක් පූජා කරලා ඒ පින අනුමෝදන් කළා. ඒ සැණින් පේ‍්‍රතයාට ඇඳුම් ලැබුණා. හැබැයි ඒ පින අනුමෝදන් වෙන්නත්, ඇඳුම් ලැබෙන්නත් පුළුවන් වෙන්නේ අන්තිමට හරි අර ඇඳුම දුන්නා නිසායි.

එහෙමනම් ඔබ කල්පනා කරන්න අප යමක් කියන, සිතන, කරන වාරයක් පාසා විපාකය පිණිස කර්මයක් සකස් වෙනවා ඒකාන්තයි. එනිසා ඔබ යහපත් යැයි, හොඳ යැයි සම්මත කර්ම පමණක් කරන්නට උත්සුක වන්න.

කඩුවෙල

මහමෙව්නා බෝධිඤාණ අසපුවාසී

කුරුණෑගල ධම්මාරාම හිමි