වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ආවේශ වූ යක්ෂණියගෙන් මිදී රහත් වූ සානු පොඩි හාමුදුරුවෝ
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කළ සේක. මේ සැවැත්නුවර එක මවකට ‘’සානු’’ නමින් එකම පුතෙක් සිටියේ ය. මේ අම්මා තමන්ගේ පුතාව පුංචි කාලයේදීම පැවිදි කළා ය. අලුත පැවිදි වූ සාමණේරයන් වහන්සේ ඉතාම සිල්වත්ව ගුණවත්ව මහණ දම් පිරී ය. ආචාර්ය්ය උපාධ්‍යාය ගුරු දේවයන් වහන්සේලාට වත් පිළිවෙත් කරමින්, මාසයට දින අටක් පාන්දරින්ම අවදි වී, දිය සැළි වලට ජලය පුරවා ධර්මශාලාව අතුගා, පහන් දල්වා මිහිරි හඬින් ධර්මශ්රවණ ඝෝෂාව කරයි.
මේ පොඩි හාමුදුරුවරුන්ගේ මේ විශේෂ හැකියාව නිසා අනෙක් ස්වාමීන් වහන්සේලාත් ‘’සාමණේරයන් වහන්ස, මිහිරි ලෙස ගාථා කියන්න.’’ කියා නිතර ඉල්ලා සිටියි. මේ පොඩි හාමුදුරුවෝත් ධර්මාසනයේ සිට මිහිරි ලෙස ගාථා කියා එහි අවසානයේ දී මගේ මව්පියන්ට මේ මිහිරි ලෙස ගාථා කීමේ පින් අනුමෝදන් වේවා! කියා පින් අනුමෝදන් කරයි.
මේ පොඩි හාමුදුරුවරුවන්ගේ කලින් භවයේ මව යක්ෂණියක් වී ඉපද සිටියා ය. ඇය දේවතාවියන් සමඟ ධර්ම ශ්‍රවණය කරන්නට පැමිණ, සාමණේරයන් වහන්සේ පින් දෙන විට ‘’පුතේ මම අනුමෝදන් වෙමි.’’ කියා පින් අනුමෝදන් වෙයි. සීලවන්ත වූ මේ පොඩි හාමුදුරුවරුන්ට අනිත් දේවතාවියෝ බොහෝම ගරු කරන්නට වූහ. සාමණේර හාමුදුරුවන්ට කරන ගෞරවය නිසාම අතීත භවයේ අම්මා වුණු යකිනියටද ගරු කරයි. ධර්ම ශ්‍රවණය කරණ යක්ෂ සමාගමේ දී ඇයට විශේෂ සැලකිලි දක්වයි. මහේශාක්‍ය යක්ෂයෝ ඇයව දුටු විට ඇයට ගෞරව කරයි. ආසන දෙයි. මාර්ගයෙන් ඉවත් වෙයි. අසුනින් නැගිටියි.
කල් යන විට සාමණේර හාමුදුරුවෝ තරුණ වයසට පැමිණියේය. පැවිදි ජීවිතයට තිබුණ ඇල්ම ටිකෙන් ටික අඩු වන්නට විය. කෙස් වවාගෙන, නියපොතු වවාගෙන, සිවුරු අඳන අපිරිසුදුව තබාගෙන, පැවිදි ජීවිතයට ඇල්මක් නැතුව සිටි මේ පොඩි හාමුදුරුවෝ සිවුරු හරින්නට සිතාගෙන අම්මාගේ ගෙදර ගියේ ය.
පොඩි හාමුදුරුවන් දුටු අම්මා ‘’පුතේ මීට කලින් තනිවම ගෙදර ඇවිත් නැහැනේ. ආචාර්ය උපාධ්‍යන් වහන්සේ හරි කුඩා සාමණේරයන් වහන්සේලාත් එක්ක හරි නේද ගෙදරට වැඩම කරන්නේ, ඇයි අද තනිවම ආවේ?’’ කියා ඇසුවා ය.
පැවිදි ජීවිතයට කැමැත්තක් නැති බව පොඩි හාමුදුරුවන් වහන්සේ කියන්නට විය. අම්මා පොඩි හාමුදුරුවන්ට ගිහි ජීවිතයේ විඳීන්නට වන දුක් කරදර ආදීනව කියමින් පැවිදි ජීවිතයේ වටිනාකම පෙන්වා දුන්නා ය. අම්මා කොපමණ අවවාද කළත් පොඩි හාමුදුරුවන් වහන්සේට ඒවා තේරුම් කරවන්නට, අවබෝධ කරවන්නට නොහැකි විය. බැරිම තැන ඇය “ඉන්න පුතේ බඩගිනිත් ඇතිනේ. මම කැඳ බත් හදන්නම්. කෑම කෑවට පස්සේ ඔබට කැමැති ඇඳුමක් ගෙනත් දෙන්නම්” කියා ආසනයක් පනවා, ඒ අසල බිම වාඩි වී කෑම උයන්නට ගත්තා ය.
මේ මොහොතේ යක්ෂණිය ‘’සාමණේරයන් වහන්සේ කොහෙද? දානය වැළඳුවා ද? නැද්ද?’’ කියා සොයන්නට විය. පොඩි හාමුදුරුවෝ සිවුරු හරින්නට සිතාගෙන ඉන්න බව දැක, අනේ... දෙවිවරු අතර මට ලැජ්ජාවක් ඇති වෙනවා නේද? මම ඔහුට සිවුරු අරින්න දෙන්නෙ නැහැ. ඒකට බාධා කරනවා’’ යි සිතමින් ඇය පොඩි හාමුදුරුවන්ගේ ශරීරයට ආවේෂ වී බෙල්ල හරවා බිම හෙළුවා ය. පොඩි හාමුදුරුවෝ ඇස් ඇරගෙන කෙළ වගුරුවමින් බිම දඟලන්නට විය.
තමන්ගේ පුතා විකාර ලෙස බිම වැටී දඟලන හැටි දුටු අම්මා, පුතා ළඟට දුවගොස් තමන්ගේ කළවයේ පුතාගේ හිස තබාගෙන, කෑ ගසා ගම්වැසියන් ගෙන්වා ගත්තා ය. එතනට එක්රැස් වුණු ගම්වැසියන් විවිධ බලි කර්ම ආදිය කරන්නට විය.
මේ මොහොතේ යක්ෂණිය “සානු” පොඩි හාමුදුරුවන්ට සිහිය ආ විට කියන්න යැයි අම්මාට මෙසේ කීවා ය. ‘’ලාමක පව්කම් කිසිවකු හමුයෙහි හෝ රහසින් හෝ නොකරව. යම් පාප කර්මයක් අනාගතයේ හෝ දැන් හෝ කරනවාද, තා අහසට පැනනැගී පලාගියත් තට දුකින් මිදීමක් නම් නැත. මේ යකුන්ගේ වචනය” යැයි කියන ලෙස දන්වා ශරීරයෙන් ඉවත් විය.
ඇය ඉවත්වූ සැණෙකින් සාමණේරයන් වහන්සේ ඇස් ඇරියේ ය. සාමණේර හාමුදුරුවෝ තමන්ට අමනුෂ්‍යයෙක් ආවේෂ වූ බව දන්නේ නැත. දුටුවේ අම්මා කෙස් විහිදුවාගෙන හුස්ම ගනිමින් හයියෙන් හඬන ආකාරය යි. සිදු වූ දෙය හිතාගන්නට නොහැකි විය. ගම්වැසියන් විශාල පිරිසක් වටේ රැස්වී සිටිනවා දුටු පොඩි හාමුදුරුවෝ් අම්මාගෙන් සිද්ධ වූ දේ අසා දැන ගත් හ.
පොඩි හාමුදුරුවන්ට යක්ෂණියක් වැහුණු ආකාරයත්, ඇය කිවූ දෙයත් අම්මා කීවා ය. මේ මොහොතේ පොඩි හාමුදුරුවන්ට ලැජ්ජාවක් ඇති විය. ගිහි ජීවිතය වැඩක් නැති බව තේරුම් ගෙන නැවතත් විහාරස්ථානයට යන්නට සූදානම් විය. අම්මා ආහාර ලෑස්ති කර දානය පූජා කළා ය. දානය වළඳා අවසන් වූ පසුව “පුතේ දැන් මහණ වෙලා කොපමණ කාලයක්දැ? යි අම්මා අසන්නට විය. පැවිදි වී වසරක් සම්පූර්ණ කළ බව පොඩි හාමුදුරුවෝ කීහ.
‘’එහෙනම් පුතේ, උපසම්පදා වෙන්න ඕන නේද?’’ යැයි කියමින් ඇය උපසම්පදා වන්නට අවශ්‍ය තුන් සිවුරු සහ අවශ්‍ය පිරිකරද පොඩි හාමුදුරුවන්ට සපයා දුන්නා ය. නැවතත් විහාරස්ථානයට වැඩම කල පොඩි හාමුදුරුවෝ අම්මා දුන්නු සිවුරු පිරිකර ආචාර්ය්ය උපාධ්‍යායන් වහන්සේලාට ලබා දී උපසම්පදාව ගැන දැනුම් දුන්හ. ඒ සංඝරත්නය සානු පොඩි හාමුදුරුවන්ව උපසම්පදා කළහ.
ත්‍රිපිටක බුද්ධ වචනය දැන ඉගෙන ගෙන ත්‍රිපිටකධාරී වුණු සිල්වත් ගුණවත් මේ සානු පොඩි හාමුදුරුවෝ ටික දිනකින්ම මහණදම් පුරා උතුම් රහතන් වහන්සේ නමක් බවට පත්වූහ. මහා ධර්ම කථිකයෙක් වුණු මේ මහ රහතන් වහන්සේ වසර 120 වැඩවසමින් මුළු දඹදිවම කීර්ති ඝෝෂා පතුරවමින් පිරිනිවන් පෑහ.
සංයුත්ත නිකායේ, යක්ඛ සංයුත්තයේ,
ඉන්දක වග්ගයේ එන සානු සූත්‍රය ඇසුරෙන් සකස් කරන ලදී.
අනුශාසනාව
අතිපූජණීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ
මිණිපුර අමාශාන්ති තපෝවනය,
පැල්වාඩිය, රත්නපුර.