ඔබත් රූපයෙන් මත්වෙන කෙනෙක්ද?

සැප්තැම්බර් 23, 2024

මේ සමාජයේ බොහෝ මිනිස්සු තමන්ට ලස්සන රූපයක් තියෙනවා කියලා රූපයෙන් මත් වෙනවා. බොහෝ ධනය තියෙනවා කියලා ධනයෙන් මත් වෙනවා. බලය තියෙනවා කියලා බලයෙන් මත් වෙනවා. තනතුරු තියෙන අය තනතුරුවලින් මත් වෙනවා. ඒවා සාරයි කියලා හිතනවා. ඒවා සදාකාලිකයි කියලා හිතනවා. නමුත් මේ සියල්ලම තාවකාලිකයි. දහමට අනුව මේ සියල්ලම අපිට ලැබෙන්නේ අනවරාග්‍ර වූ මේ සසර ගමනේදී අපි සිදු කළ කුසල දහම්වල විපාක වශයෙන්. ඒ නිසා අපි මේවායින් මත් විය යුතු නෑ. නමුත් ගොඩාක් මිනිස්සු මේවයින් මත් වෙනවා.

ගෞතම බුදුන් දවස ඛේමා කියලා කාන්තාවක් හිටියා. ඇය පදුමුත්තර බුදුන් වහන්සේ ලොව පහළ වූ කාලයේ හංසවතී නුවර මහත් ධන සම්පත් ඇති සිටු පවුලක පින්වන්ත දියණියක් ලෙස ඉපදුනා. තරුණ වියට පත් ඇය දිනපතාම වාගේ පදුමුත්තර බුදුන් වහන්සේ වෙත ගොස් ධර්මය ඇසුවා. දිනක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දින හතක් ප්‍රණීත දානයක් සකසා පූජා කොට සත්වන දින දානය අවසානයේ දී, මතු බුදු සසුනක ප්‍රඥාවන්ත භික්ෂුණියන් අතරින් අගතනතුරු ලබන්නට මේ පින හේතු වේවායි ප්‍රාර්ථනාවක් කළා. අනාගතය දෙස බැලූ පදුමුත්තර බුදුන් වහන්සේ, ගෞතම නමින් පහළවන බුදුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඔබ ප්‍රඥාවන්ත භික්ෂුණියන් අතරින් අගතනතුරු ලබනවා යැයි පදුමුත්තර බුදුන් වහන්සේ ඇයට විවරණ ලබා දුන්නා. විපස්සී බුදුන් වහන්සේගේ කාලයේ උන්වහන්සේගෙන් ධර්මය අසා ඒ ශාසනයේ පැවිදි වී වසර දස දහසක් බඹසර හැසිරී බහුශ්‍රැත ධර්ම කථිකාවක්ව කටයුතු කළා. කෝණාගම බුදුන් වහන්සේ දවස බරණැස් නුවර මහ ධනවත් පවුලක ඉපිද බොහෝ පින්දහම් කොට නැවත දෙව්ලොව ඉපදුනා. කස්සප බුදුන් වහන්සේ දවස උන්වහන්සේගේ ප්‍රධාන උපස්ථායකයාගේ වැඩිමහල් දියණිය ලෙස ඉපිද මහත් පින්දහම් කර මරණින් මතු නැවත දෙව්ලොව ඉපදුනා. ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ කාලයේ ඇය නැවතත් මිනිස් ලොව සුන්දර රූප සම්පත්තියක් ඇතිව ඉපදුනා. සුදුසු වයසේ දී ඇය බිම්බිසාර රජතුමා සමඟ විවාහ ගිවිස ගෙන ඔහුගේ අග මෙහෙසිය බවට පත් වුණා. බුදු හාමුදුරුවන්ට පළමු විහාරය පූජා කළේ බිම්බිසාර රජතුමා. ඔහු සෝවාන් වුණු රජ කෙනෙක් ඔහුගේ පුතා අජාසත්ත.

 

ඛේමා බිසව ඉතාම රූපවත් හරිම ලස්සනයි ඒ නිසාම ඇය අහංකාරයි. ලස්සන රූපයක් ලැබීම නිසා ඇය රූපයට මත් වෙලා හිටියේ. රූපයට මත්වීම ධර්මයේ සඳහන් වෙන්නේ රූප මදය කියලා. අපට ලස්සන රූපයක් ලැබෙන්නේ අප කළ කුසල කර්මවල විපාක වශයෙන්. වස්ත්‍ර පූජාව හා මෛත්‍රි කිරීම ලස්සන රූපයක් ලැබෙන්න උපකාර වන බව ධර්මයේ සඳහන් වෙනවා.

 

ඇය කිසිම දිනක බුදු හාමුදුරුවෝ මුණගැහෙන්න ගියේ නෑ. ඒ ඇයි? හැමදාම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බල බලා ඔපදමන තමන්ගේ ලස්සන ශරීරයට බුදු හාමුදුරුවෝ නිග්‍රහ කරාවි කියලා.

ඇය රූපයෙන් අහංකාරයට පත්ව සිටියත් ඇයට සෝවාන් ආදී මාර්ග ඵල අවබෝධයට පින ඇති බව බුදුන් වහන්සේ දැනගෙන හිටියා. නමුත් රූපයෙන් මත්ව ඇති ඇයට එම පින මතු කරගන්න ලැබුණේ නෑ. දිනක් බිම්සර මහරජතුමාගේ උපක්‍රමයකට අනුව ඛේමා බිසවට බුදු හාමුදුරුවෝ මුණගැහෙන්න යන්න සිදු වුණා. ඇය විහාරස්ථානයට පැමිණි වේලාවේ ඇයට පෙනෙන ලෙස, චිත්‍රපටයක් පෙන්වන්න වගේ විජිනිපතක් ගත් තරුණ කාන්තාවන් දෙදෙනෙක් බුදුරජුන්ට ගෞරවයෙන් පවන් සලන බව ඇයට පේන්න සැලැස්සුවා.

 

මේක දකින ඛේමා බිසව කල්පනා කරනවා මෙච්චර කාලයක් බුදු හාමුදුරුවෝ ගැන හිතාගෙන හිටියේ වැරදි මතයක්. ඉතාමත්ම රූමත් ලස්සන කාන්තාවන් බුදුහාමුදුරුවන්‌ට පවන් සලනවා. කොච්චර නම් මේ කාන්තාවෝ දෙන්නා රූමත් ද? මටත් වඩා ලස්සනයි. දෙවගනන් වගේ. මේ ආදි වශයෙන් මේ කාන්තාවන් දෙදෙනාගේ රූපය පිළිබඳවම හිත හිතා හිටිද්දි ඒ රූපය ටික ටික දිරන තත්ත්වයට මැහැල්ලකගේ තත්ත්වයට පත්වන ආකාරයට ක්‍රමයෙන් පේන්න සැලැසුවා. ඒ මහලු රූපය අන්තිමට කොන්ද කුදු වෙලා හිටගෙන ඉන්න බැරි තත්ත්වයට පත්වෙලා මැරිලා වැටෙන හැටිත් එතනම ශරීරය කුණු වෙලා ඇටසැකිල්ලක් වන හැටිත් දකින්නට සැලැස්සුවා.

 

ඒ වෙලාවෙදි ඛේමා බිසව කල්පනා කරනවා. මටත් වඩා රූමත් ලස්සන මේ කාන්තාවන් දෙදෙනාට මොකද වුණේ කියලා. හිතනකොටම බුදුහාමුදුරුවෝ ඇයට ධර්මය දේශනා කළා. ඒ දේශනාව අවසානයේ දී ඇය සෝවාන් තත්ත්වයට පත්වුණා. අවසානයේ දී පැවිදිව ප්‍රඥාවන්ත භික්ෂූණින් අතර අගතනතුරු ලැබුවා.

මෙලෙස අපි අපේ රූපය සාරයි කියලා ගන්න තුරු අපි කාටවත්ම නිවන් අවබෝධ කරගන්න ලැබෙන්නේ නෑ. මමය මාගේය කියන සක්කායදිට්ඨිය වැඩෙනවා විතරයි. එම නිසා අපේ ශරීරයේ ඇති යථා ස්වභාවය අවබෝධ කරගෙන ඒවායින් මුළාවට පත් නොවී ඉඩ ලැබෙන සෑම මොහොතකම මෛත්‍රීය, කරුණාව ආදී කුසල චෛතසිකයන් සිතෙහි ඇති කරගෙන බොහෝ පින් දහම් සිදුකරමින් ධාර්මිකව ජීවත් වීමට උත්සාහ කරමු.

 

 

අනුශාසනාව

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

යක්කලමුල්ල ආදිච්චවංස පිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජෝති හිමි.