පංච ආනන්තරීය පාප කර්මවලින් බලවත්ම කර්මය කුමක්ද?

ජූලි 21, 2021

 

ආනන්තරිය පාප කර්ම පහක් තිබේ. ඒ මව මැරීම. පියා මැරීම. බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම. රහතන් වහන්සේලා ඝාතනය කිරීම සහ සංඝ භේදය යි. මේවාට ආනන්තරිය පාපකර්ම කියා කියන්නේ අනතුරු භවයේ, එනම් ඊළඟ භවයේදී අනිවාර්යයෙන්ම ප්‍රතිසන්ධි විපාකය සහ ප්‍රවෘත්ති විපාක මේ අකුසල කර්මවලින් ලැබෙන නිසයි. ආනන්තරිය පාපකර්මත්, නියත මිථ්‍යා දෘෂ්ටියත් යන දෙකින් බරපතළම කර්මය වන්නේ නියත මිථ්‍යාදෘෂ්ටියයි. මේ ලිපියෙන් විමසා බලන්නේ ආනන්තරිය පාප කර්ම පහෙන් බරපතලම කර්ම මොනවාද යන්නයි.

 

ආනන්තරීය පාප කර්ම පහෙන් මීළඟ භවයේ අනිවාර්යයෙන්ම විපාකය ලැබෙන බරපතළම කර්මය වන්නේ සංඝ භේද කර්මය යි. එයට හේතුව සංඝ භේද අකුසල කර්මය කරන පුද්ගලයා අතින් මුළු මහත් සම්බුදු සසුනම බරපතළ ලෙස අනතුරුදායක තත්ත්වයකට පත් කරනු ලැබීමයි. සමගි සංඝරත්නය බෙදී වෙන් වීම නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයට, කැඩී වෙන්වී ගිය අයගෙන් සද්ධර්ම ප්‍රතිරූපක එකතු වේ. ඒ වාගේම අනෙක් පිරිසට වඩා තමන්ගේ පිරිසට බොහෝ දෙනා එකතු කරගන්නට ධර්මරත්නයට ඇතුළත් නොවන අතිශයෝක්ති දේවල් ද එකතු කරනු ලැබේ. එසේම භික්ෂූන් වහන්සේලා ඡන්දය, ද්වේෂය, භය, මෝහය යන සතර අගතියට වැටේ. උන්වහන්සේලා අතින් පවට ලැජ්ජාව පවට බය නැතුව යයි. දේපළ තණ්හාව ආදිය ඇති වීමෙන් සඟ සතු දේවල් පිළිබඳව බය සැක නැතුව යයි. බෙදී වෙන් වී ගිය දෙපිරිස එකිනෙකාට ඇඟිලි දිගු කර ගන්නා නිසා දස අකුසල් කර්මම රැස්කර ගන්නට පෙළඹේ. ගිහි උපාසක උපාසිකාවන් ද කොටස්වලට බෙදී යයි. ඒ කිසිවකු අතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව අනුගමනය වීමක් වන්නේ නැත. ඒ වෙනුවට ඔවුන් අතින් නඩු කීම. ගහ මරා ගැනීම. රණ්ඩු සරුවල් වීම. එකිනෙකාට විරුද්ධවාදී වැඩ කිරීම ආදී බොහෝ අකුසල කර්ම ම රැස් කර ගනී.

 

සම්බුදු සසුනේ පැවැත්ම ද එයින් අවසන් වන්නට පටන් ගන්නා අතර, ධර්මය ඉගෙන ගන්නා පිරිස ද, ධර්මයේ හැසිරෙන පිරිස ද අඩු වී යයි. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා භාග්‍යවතුන් වහන්සේ විසින් ලොවට දේශනා කළ දෙව්මිනිසුන් ආදී බොහෝ දෙනාගේ හිත සුව පිණිස පවතින ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මිශ්‍රිත ශ්‍රී සද්ධර්මයේ පැවැත්ම නැතිවීමේ ප්‍රධානතම සාධකයක් බවට සංඝ භේදය හේතුවක් වේ.

 

සංඝ භේදය නිසා ධර්ම විනයට විරුද්ධ ව කටයුතු කරයි. ආර්යෝපවාදාන්තරායන් බහුලව සිදු කරගනී. වැඩිහිටි භික්ෂූන්ට ද ගරු නොකර, කෙළෙහි ගුණ ද අමතක කර ඔවුන්වද අභිබවා යයි. සද්ධර්ම ප්‍රතිරූපකාදිය නිර්මාණය වීමට ප්‍රධාන ලෙස බලපාන බොහෝ අකුසල කර්ම වලින් ජීවිතය විනාශ කර ගන්නා මුළු සම්බුදු සසුනම පසු බැස්ස වීමේ ප්‍රධානතම කාරණාවක් බවට සංඝ භේදය පත්වේ.

යම්කිසි පුද්ගලයෙක් ආනන්තරිය පාපකර්ම පහම කරගත්තා නම්, අනෙක්වාට ප්‍රථම ඔහුට ඊළඟ භවයේ ප්‍රතිසන්ධි විපාක ලබා දෙන්නේ සංඝභේද ආනන්තරිය පාප කර්මය යි. ඉතිරි ආනන්තරිය පාප කර්ම හතරේ හත්වැනි ජවනයේ ප්‍රතිසන්ධි විපාක අහෝසි වී යයි. ඒ නිසා කුසලාකුසල කර්ම විපාකය ගැන දන්නා සංඝරත්නය සමගි සංඝයා, භේදයට පැමිණෙන සුළු හෝ දෙයක් වත් සිදු කරන්නේ නැත.

 

යම්කිසි තැනැත්තෙක් සංඝ භේද අකුසල කර්මය නොකර ඉතිරි ආනන්තර්ය පාප කර්ම හතර කළානම් ඒවා අතරින් ප්‍රතිසන්ධි විපාක‍ය ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීමේ අකුසල කර්ම විපාකය යි. ඉතිරි කර්ම තුනේ ඊළඟ භවයේ දී ලබාදෙන ප්‍රතිසන්ධි විපාක ශක්තිය අහෝසි වී යයි. එයින් අදහස් වූයේ ප්‍රවෘත්ති විපාක නැති වෙනවා කියා නොවේ. හත්වන ජවන් සිතෙන් සිදුවන ඊළඟ භවයට අදාළ ඒවායේ ප්‍රතිසන්ධි විපාක ශක්තිය නැති වීම පමණි.

 

සංඝ භේද ආනන්තරිය පාපකර්මයත්, බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීමේ අානන්තරිය පාප කර්මයත් යන දෙකම නොකර, ඉතිරි ආනන්තර්ය පාප කර්ම තුන සිදු කළා නම්, ඒවායින් ඊළඟ භවයේ ප්‍රතිසන්ධි විපාක ලබා දෙන්නේ, රහතන් වහන්සේ ඝාතනය කිරීමේ අකුසල කර්මය යි. ඉතිරි ආනන්තරිය පාප කර්ම දෙකේ ඊළඟ භවයට ලැබෙන ‍ප්‍රතිසන්ධි විපාක ශක්තිය පමණක් අහෝසී වී යයි.

 

මව මැරීම, පියා මැරීම යන ආනන්තරීය පාප කර්ම දෙකෙන් පියා අතිශයින්ම සීලවන්ත නම්, මව දුස්සීල නම් එයින් ප්‍රතිසන්ධි විපාක ලබා දෙන්නේ පීතෘ ඝාතක කර්මය යි. අනෙක් කර්මයේ ප්‍රතිසන්ධි විපාක ශක්තිය නැතිව යයි. මව අතිශයින්ම සීලවන්ත නම් පියා දුස්සීල නම් විපාක ලබා දෙන්නේ මාතෘ ඝාතක කර්මය යි.

මව පියා දෙදෙනාම දුස්සීලනම් ප්‍රතිසන්ධි විපාක වන්නේ මාතෘ ඝාතක ආනන්තර්ය පාප කර්මය යි. මවුපියන් දෙදෙනාම අතිශයින්ම සිල්වත් නම් ප්‍රතිසන්ධි විපාක කර්මය වන්නේ

 

එත් මාතෘ ඝාතක කර්මය යි. එසේ වන්නට හේතුව වන්නේ මවුපියන් දෙදෙනා අතරින් වැඩි වශයෙන් ම ගුණයෙන් වැඩි වන්නේ මෑණියන් වහන්සේ නිසාය.

 

තෙරුවන් සරණයි.

 

අනුශාසනාව

පූජනීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය, රත්නපුර.