ගෙදර බුදු පිළිමය තැබිය යුත්තේ මොන පැත්තට ද ?

ජුනි 9, 2021

 

බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක් තමන් ජීවත් වන නිවසේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැබිය යුත්තේ කුමන දිශාවකට යන්න. බොහෝ දෙනා ඊසාන දිශාවට පිටුපා නිරිත දිසාවට මුහුණලා බුදු පහන දල්වයි. දල්වන පහන බුදුරජාණන් වහන්සේ දෙසට දැන්විය යුතු දැයිද අසති. මෙයට පිළිතුරු මෙම ලිපියේ සඳහන් වේ.

 

භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ ඈත එපිට බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයින්ද බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට ආහ. දිව්‍යලෝක හයේම දෙවිවරු භාග්‍යවතුන් වහන්සේ මුණගැසීමට ආහ. විවිධාකාර මිනිසුන් විවිධ රටවල සිට භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසීමට ආහ. ඒ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ කුමන දිසාවකට හැරී වැඩ සිටියත් ධර්ම ශ්‍රවණය කර උතුම් පිහිට ලබා ගත්හ. මණ්ඩුක දේව පුත්‍රයා වැනි ගග්ගරා නදියේ ගෙම්බෙක් ව සිට දිව්‍ය ලෝකයක උපන් දිව්‍ය පුත්‍රයා ආදී, බොහෝ සතර අපා ගත සත්වයන් ද, බුදු රජාණන් වහන්සේගේ උතුම් පිහිට ලබාගත්හ. ඒ කිසිවෙකුට ධර්මාවබෝධය ලබන්නට හෝ ඒ ලැබූ ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඤ්ඤා, ධනවත්කම්, බලවත්කම් ආදිය ලබන්නට දිසාව බලපෑවේ නැත. ඒ සැමටම බලපෑවේ චේතනාවයි.

 

කර්මය වන්නේ චේතනාවයි. "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි." ලෙස භාග්‍යවතුන් වහන්සේ චුල්ලකම්ම විභංග සූත්‍රයේදි ඒ බව දේශනා කළහ. මේ චේතනාව කියන්නේ චෛතසික ධර්මයකි. සිතෙහි යෙදෙන ගතියකි. මේ චෛතසික ධර්මයෙන් කෙරෙන්නේ සිතත්, සිතෙහි යෙදෙන අනෙක් චෛතසික ධර්මත් ඒ ඒ කටයුතුවල යොදවා ලීමයි. ජවන් සිත්වල යෙදෙන බලවත් චේතනාවට අනාගතයෙහි දී විපාක ලබාදිය හැකි ය. කර්මය වන්නේ චේතනාව පමණක් නොවේ. තවත් ධර්ම විසි එකක් කර්මය වේ.

තමන්ගේ නිවසේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීමේදී අවධානය යොමු කළ යුත්තේ මේ කර්මයටයි. තමන්ට හොඳ හෝ නරක විපාක ලැබෙන්නේ කර්මය අනුව මිස දිසාව අනුව නොවේ. සසරෙහි ගසාගෙන යමින් ජීවත් වන විට ආයුෂ අවශ්‍ය වේ. ධනය අවශ්‍ය වේ. බලය අවශ්‍ය වේ. භවභෝග සම්පත් අවශ්‍ය වේ. තවත් මෙකී නොකී ආදී ලෙස ලැබෙන ලෞකික සැප සම්පත් සියල්ලටම මෙන්ම නිවන් දකින තෙක් දස පාරමිතාදිය ද සම්පූර්ණ කර ගන්නටද කුසල කර්මය උපකාර වේ.

කේන්ති යාම වෛරය, ඊර්ෂාව ආදිය සතර අපා ගත වන්නට මෙන්ම, බොහෝ දුක් කරදර වලට හේතු වේ. ඒවා ලැබෙන්නේ විපාක ධර්ම ලෙසයි. විපාක ලැබෙන්නට කර්ම තිබිය යුතු ය. කර්ම ලැබෙන්නේ දිසාවකට අනුව නොවෙයි. තමන්ගේ චිත්ත සන්තතිය තුළ අකුසල ධර්ම අත්හැර, කුසල ධර්මයන් උපදවාගෙන ධර්මයෙහි හැසිරෙන විට ඒ කුසල කර්මයෙහි විපාක ලැබේ. හේතු සම්පත් ලෙසද මේ පෙර පින් හඳුන්වනු ලැබේ. කුසල ධර්ම අත් හැර අකුසල ධර්මයන් උපදවාගෙන අධර්මයෙහි හැසිරෙන විට අකුසල කර්මයෙහි විපාක ලැබේ.

 

තනි තට්ටුවේ නිවාස, තට්ටු දෙකේ නිවාස, මහල් නිවාස, කුලී නිවාස ආදිය මෙන්ම අරාබිය වැනි බුද්ධ ප්‍රතිමා වහන්සේලා ප්‍රදර්ශනය කරන්නට නොහැකි ස්ථානවලද, නැව් වල රැකියා කරමින්ද, තවත් බොහෝ ස්ථානවල සැදැහැති බෞද්ධ පින්වත්හු ජීවත් වෙති. මේ සියලුම දෙනාට භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරන්නට හොඳම දිසාව වන්නේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ක්ෂණිකව දැකගන්නට පුළුවන් දිසාවයි. උපන් කේන්තියාම, රාගය ආදී අකුසල් නැති කොට (තදංගප්‍රහාණය කොට) සිත නිවා ගත හැකි කුසලයන් වහා උපදවා ගත හැකි දිසාවයි. එයට හේතුව කර්මය දිට්ඨධම්ම වේදනීය ලෙස, උපපජ්ජ වේදනීය ලෙස, අපරාපරිය වේදනීය ලෙස විපාක දෙන බැවිනි.

 

මේ ආත්මභාවයේ දී කළ කුසල අකුසල කර්ම, මේ ආත්ම භාවයේදීම විපාක දීම දිට්ඨධම්මවේදනීය කර්මය වේ. මේ ආත්මභාවයේ සිදු කළ කුසල අකුසල කර්ම, ඊළඟ ආත්ම භාවයේදී විපාක දීම උපපජ්ජ වේදනීය කර්මය වේ. අනාගතයේ කවදා හෝ දවසක රහත්ව ඉන්පසුව අනුපාදිසේස පරිනිර්වාණයට පත්වන තෙක් ම විපාක දෙන කුසල අකුසල කර්ම අපරාපරිය වේදනීය කර්ම වේ.

බුද්ධ ප්‍රතිමා වහන්සේ තබන දිසාව ගැන කතා කරන විට, කර්මය ගැන විස්තර දැන ගත යුතුම ය. ආත්ම‍ය, සත්ත්වයා, පුද්ගලයා, මම කියා දෙයක් නැත. තිබෙන්නේ නාම රූප, ස්කන්ධ, ධාතු, ආයතන ආදී වැඩපිළිවෙළක් පමණී. ඒ වැඩපිළිවෙළ හටගන්වන බොහෝ හේතු තිබුනත්, කර්මය තරම් බලපාන තවත් හේතුවක් නැති තරම්ය. කර්ම විපාක ලැබෙන්නේ දිසාවකට අනුව නොවේ. චේතනාව අනුව ය. එමනිසා නිවෙස්වල බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තිබිය යුත්තේ නිරන්තරයෙන්ම තමන්ට පේන, දැකගත හැකි, කුසල් චේතනා ඇතිකරගත හැකි පිරිසුදු ස්ථානයක ය. අතීතයේ පැවැති වෙහෙර විහාරස්ථානවල බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටුවා තිබෙන දිශාව අනුව ඒ බව තේරුම් ගත යුතුය. අතීතයේ දාගැබ් වල සතර දිසාවේම ප්‍රතිමා වහන්සේලා තැන්පත් කර තිබුණි.

 

මහා බෝධිසත්වයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වන විට දී වජ්‍රාසනය පිහිටියේ නැගෙනහිර දිසාව බලාය. ඉන්පසු වැඩ වසන විට සියලු දිසාවට මුහුණල ලා වැඩ සිටි සේක. අතීතයේ සිව්වනක් පිරිස බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දිශාවට වැඳ නමස්කාර කර පින් රැස් කර ගත්හ. සැරියුත් මහරහතන් වහන්සේ ද තමන්ගේ ආචාර්යයන් වහන්සේ වන අස්සජි මහරහතන් වහන්සේ වැඩ සිටි දෙසට සෑම දිනකම වන්දනා කිරීම පුරුද්දක් කරගෙන තිබුණි. මේ අනුව පෙනෙන්නේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වැඩසිටි දිසාව අනුව භාග්‍යවතුන් වහන්සේ අරමුණු කරගෙන පින් රැස්කර කර ගත් ආකාරය යි. ඒ හැර භාග්‍යවතුන් වහන්සේව යම් දිශාවකට හරවා තමන්ට පින් රැස්කර ගන්නා ක්‍රමයක් අතීතයේදී තිබී නැත.

 

එමෙන්ම බුදු පහන දල්වන විට පහන තමන් දෙසට සිටින සේ දැල්වීම කරනු ලබයි. එයට ප්‍රධානතම හේතුව පහන් එළිය දැකිය යුත්තේ තමන් වන නිසාය. අවිද්‍යාව නමැති ඝනාන්ධකාරය දුරුකර චතුරාර්ය සත්‍ය නැමති මිණි පහන දැල්වූ බුදුරජාණන් වහන්සේට පහන් ආලෝක පූජාව පවත්වා තමන්ට ද චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට නුවණැත්තෝ ප්‍රාර්ථනා කරමින් පින් කර ගනිති. තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ නිවන් දැකීමට ප්‍රාර්ථනාවද තිබිය යුතු ය. (පාරමිතා ප්‍රකරණය - රේරුකාණේ චන්ද විමල හිමි බලන්න.) පහන බුදු පියාණන් වහන්සේ දෙසට හැර වූ පසුව එහි දැල්ලෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ අපිරිසුදු වීම ද සිදුවේ.

 

මේ ආදී කරුණු අනුව පෙනී යන්නේ නිවසක බුද්ධ ප්‍රතිමා වහන්සේ තැබිය යුතු හොඳම දිසාව වන්නේ තමන්ගේ හිත කුසල් වලින් පුරවා ගෙන දෙලොව යහපත් කරගත හැකි ලෙස බුදුරජාණන් වහන්සේ නිතරම දකින්නට ලැබෙමින් පින් කර ගත හැකි දිශාවයි. පහන් දැල්ල ද තමන්ගේ දෙසට හරවා දැල්වීමෙන් සියලු සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය අපූරුවට දැකිය හැකි ය.

 

 

 

අනුශාසනාව

අතිපූජණීය , තපෝවනයේ රතන ස්වාමින් වහන්සේ

මිණිපුර අමාශාන්ති තපෝවනය,

පැල්වාඩිය, රත්නපුර.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.