වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
තමන්ගේම ව්‍යාපාරයක් කිරීමෙන් කාන්තාවකට ආත්ම අභිමානයක් ඇති වෙනවා
සුන්දර සබරගමු පුරවරයේ අලව්ව කියන ගම් පියසේ උපන් මා පවුලේ බඩ පිස්සියයි. අම්මා තාත්තාගෙ වගේම අක්කලා තුන්දෙනාගෙ අයියාගෙ සෙනෙහස උපරිම ලැබුණා. එබැවින් මගේ ළමා විය තරුණ විය බොහොම සුන්දරයි.
මගෙ තාත්තා රැකියාවක් විදිහට කළේ කුලීවැඩ. අපේ පවුලේ පිරිස වැඩි නිසාම තරමක ආර්ථික අපහසුතා තිබුණා. එබැවින් මගෙ අම්මා විදෙස් ගත වුණා. අම්මා එවන මුදල් අරපරිස්සමින් තියාගෙන තමයි අපි ගෙදර දොරේ වැඩ කටයුතු කළේ. දන්න කියන කාලෙ ඉඳන්ම මුදලේ වටිනාකම කොතෙක්ද කියලා හොඳීන්ම මා හඳුනාගත්තා
මේ අයුරින් අප හා කතාබහට එකතු වුණේ පොල්ගහවෙල හැලමඩ බටුවත්තේ පදිංචි සුදර්මා හේමමාලි යි.
" මම වලකුඹුර මහ විද්‍යාලයෙන් උසස් පෙළ කලා අංශයෙන් ඉගෙන ගත්තා. පාසල් අවධියේ පටන්ම නිර්මාණශීලී හැකියාවන් බොහොමයක් තිබුණා. එබැවින් කවදාහරි දවසක මගේම කියලා යම්කිසි ව්‍යාපාරයක් කරන්න හීන මවාගෙන හිටියා. උසස් පෙළ විභාගය ලියලා ප්‍රතිඵල එනකල් පුංචි විරාමයක් ලැබුණා. ඒ කාලය තරුණ තරුණියන්ගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යක් විදිහටයි මම දකින්නේ. අවුරුදු 13ක් පාසල් ගිහින් අනතුරුව තවත් ඉගෙනුම ලබනවද ? රැකියාවක් කරනවාද ? විවාහ වෙනවාද ? රට යනවාද ? මේ වගේ බොහෝමයක් තීරණ ගන්නා කාල සීමවක්. ඇත්තටම ඉතින් ඒක තීරණාත්මක කාල පරිච්ඡේදයක්. කොහොමහරි මගෙ තීරණය වුණේ රැකියාවක් උදෙසා පාඨමාලාවක් හැදෑරීමයි.
ඒ අනුව මම පොල්ගහවෙල පිහිටි ජාතික ආධුනිකත්ව මණ්ඩලයේ පාවහන් නිෂ්පාදනය පිළිබඳ පාඨමාලාවකට සහභාගි වුණා. මා වසර 1 1/2 ක් ඒ පාඨමාලාව සාර්ථකව හදෑරුවා. සැබැවින්ම එම පාඨමාලාව මගෙ මුළු ජීවිතයම වුණා. එනම් මගෙ වෘත්තීය මෙන්ම විවාහයද එම පාඨමාලාව මඟින් මට හමුවුණා. චමින්ද කුමාර නම් වූ මගෙ සැමියාත් මුණ ගැසුණේ එතැනදීයි. අපි දෙදෙනා අනාගතය පිළිබඳ අපූරු සැලැස්මක් ගොඩනැගුවා. වඩාත් හොඳීන් පාඨමාලාවේ කටයුතු අවසන් කිරීමට ප්‍රායෝගික පුහුණුවක් කළ යුතුයි. ඒ සඳහා අප දෙදෙනාම අලව්ව නගරයේ පිළිගත් පාවහන් නිෂ්පාදනාගාරයකට ගියා.
2020/11/25 තරුණි පුවත්පත බලන්න.