රටම කතා කරන මාතර තොරන් පවුල

මැයි 27, 2025

 

හැමතැනකම තිබුණේ අමා දම් සිසිල. බොදු බැති ගී, තොරණ, පාට පාට වෙසක් කූඩු, දන්සල් මේ හැමදේකම පිරිලා තිබුණේ ශ්‍රද්ධාව. ගම්පහ අස්ගිරියෙත් ඒ වගේ ශ්‍රද්ධාවෙන් කරපු හරි අපූරු නිර්මාණයක් ගැන රටක් විතරක් නෙවෙයි මුළු ලෝකයක්ම කතා කළා. හැබැයි අඩි 45ක් උස මේ තොරණ නිර්මාණය කර තිබුණේ අඩි 5ක් උස කුසුම් කාංචනා. ඇය දෙදරු මවක්. පවුලේ අයත් එක්ක එකතු වෙලා කාංචනා හදපු මේ තොරණ ආලෝකවත් වෙලා තිබුණේ ගම්පහ අස්ගිරිය ඇනිකට් හන්දියේ. හැබැයි ඒ තොරණෙන් කියවෙන්නේ රාජෝවාද ජාතකය වුණාට තොරණ පිටුපස තිබුණේ ඊට වඩා ලොකු කතාවක්. ඒ කතාව කියන්න ඇය සූදානම්.

 

මගේ ගම මාතර කොටපොළ. මගේ සැමියා මධුශංක සිල්වා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ලොකු දුවට වයස අවුරුදු 9යි. දහම්දි ඉලීෂා. පොඩි දුවට අවුරුදු හතයි චනුලි ඉලිෂා. අපි පවුලක් විදිහට එකට එකතු වෙලා තොරණ නිර්මාණය කරනවා.

පොඩි කාලේ ඉඳලම ආසාවක් තිබුණට තොරණ හදන්න ගත්තේ විවාහ වුණාට පස්සේ. මොකද මගෙ සැමියත් තොරණ හදන කෙනෙක්. ඒ නිසයි මගේ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වුණේ. එයාටත් උදව්වක් විදිහට මම එයා එක්ක තොරණ හදන්න පටන් ගත්තා.

 

මෙවර තොරණ කාගෙත් කතා බහට ලක් වුණා...

 

දැන් තොරණ හදන්න අරගෙන අවුරුදු 12ක් විතර වෙනවා. තොරණක් උඩට නැඟලා මගේම කියලා තොරණක් හදන්න අරගෙන අවුරුදු තුනක් වෙනවා.

මුලින්ම මගේම කියලා තොරණක් හැදුවේ ගිය අවුරුද්දේ කොළඹ අානන්්ද විද්‍යාලය අසල. මහාහංස ජාතකය තමයි ඒකෙන් නිරූපණය කළේ. ඒ තොරණ උස අඩි 35ක් වෙනවා. මේ අවුරුද්දේ හදපු තොරණ උස අඩි 45ක් උසයි. ඒකෙන් නිරූපණය කරන්නේ රාජෝවාද ජාතකය. ගම්පහ අස්ගිරියේදී මේ තොරණ ප්‍රදර්ශනය කෙරුණා.

 

පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොම ද?

 

මමයි, මහත්තයයි, දරුවෝ දෙන්නයි එකතු වෙලා තමයි මෙවර තොරණ හැදුවේ. විදුලි රටාවන් ඇඳලා, නිර්මාණය කරලා ඒවට බල්බ් දාලා, පාස්සලා, බෝඩ් එකේ වයරින් එක දක්වාම හදලා, ඊට පස්සේ බාර් උඩ නැඟලා තොරණ එල්ලලා කොටස් සෙට් කරලා මේ හැමදේම මම කරනවා. අපි දෙන රටාවට තමයි තොරණේ විදුලි රටා නිර්මාණය වෙන්නේ. දුවලා දෙන්නා තමයි බල්බ් දාන වැඩ සහ පාස්සන වැඩ ටික කරන්නේ. දුවලා දෙන්නා මාතර කොටපොළ ජාතික පාසලේ අධ්‍යාපනය ලබනවා.

 

තොරණට යොදාගෙන තියෙන තාක්ෂණය ගැන කතා කළොත්?

 

මෙවර තොරණට අපි මැට්‍රික්ස් තාක්ෂණයත් යොදා ගත්තා. ඒකෙදි අපිට ඕ‍ෙන විදිහකට රටා මවන්න පුළුවන්. අපිම නිර්මාණය කරපු සර්කිට් එකක් ඒ සඳහා යොදා ගත්තා. ඒකෙන් අද පෙන්නන රටාව නෙවෙයි ඊළඟ දවසෙදි අපිට තොරණට වෙන රටාවක් පෙන්වන්න පුළුවන්. දවස් හතට රටා 7ක් වුණත් පෙන්වන්න පුළුවන්. මෙවර තොරණට විදුලි බල්බ 40,000ක ප්‍රමාණයක් යොදා ගත්තා. රූප රාමු 12කින් සමන්විතයි.

තොරණ ඩිසයින් කරන්නේ මගෙ මහත්තයා. සිතුවම් ඇඳීමට වෙනත් කෙනෙක් අපි එකතු කරගත්තා. ලයිට් බෝඩ්වල රටා ටිකත් මායි, මහත්තයයි එකතු වෙලා ඇන්දා. ලබන වසරේදී සිතුවම් ඇඳීම අපිම කරන්න බලාපොරොත්තු වෙනවා.

 

තොරණක් උඩ වැඩ කරනවා කියන්නේ අනතුරුදායක වැඩක් නේද.?

 

තොරණක් හදනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. මැයි, ජූනි කියන්නේ වහින මාස. ඉතින් සමහර දවස්වලට අපි වැස්සෙත් වැඩ. ඉතින් බාර් උඩ නැඟලා වැඩ කරද්දි ලිස්සනවා. ඉතින් ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න ඕනේ. අනතුරුවලින් ආරක්ෂා වෙන්න දාන්න පුළුවන් බෙල්ට් වෙළෙඳපොළේ තියෙනවා. හැබැයි එහෙම බෙල්ට් එකක් ගන්නවත් රුපියල් 1000ක මුදලක්වත් වියදම් කරන්න අමාරුයි. මගේ වීඩියෝ බලපු ගොඩක් අය කිවුවා මුලින්ම තමන්ගේ ආරක්ෂාව ගැන බලන්න කියලා. ඉතින් මම හිතුවා කීය ගිය කමක් නැහැ බෙල්ට් එකක් ගන්න ඕනේ කියලා.

 

තොරණක් හදලා ගෙදර ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් ද?

 

අපිට තොරණකි උපරිම හම්බ කරන්න පුළුවන් මාස තුන හතරකට හරියන්න විතරයි. ඒ මුදල්වලින් කොටසක් ඉතුරු කර ගන්න වෙනවා ඊළඟ අවුරුද්දට තොරණ කරගන්න. ඒ වගේම උදවුවට ආපු ගෝලයන්ටත් ගෙවන්න ඕනේ. එහෙම බලද්දි පොඩි මුදලක් තමයි ඉතුරු වෙන්නේ. ඒ අතරතුර ගෙදර ආර්ථිකය ශක්තිමත් කරගන්න පොඩි පොඩි වැඩ කරනවා. හැබැයි ඉතින් අපි තොරණ කරන්නේ මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන්ම නෙවෙයි. මේ කලාවට මායි, මහත්තයයි ගොඩක් ආදරෙයි.

 

ලබන අවුරුද්දේ තොරණ ගැනත් අදහසක් දෙන්න පුළුවන් ද?

 

මගේ මේ හැකියාව ගැන දැනගත්ත ගොඩක් දෙනා, පිටරටවලින් පවා කතා කළා. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ යූටියුබ් චැනල් කිහිපයක අයත් මම තොරණ හදන හැටි ලෝකයටම කිවුවා. මේ හැකියාව දැනගත්ත හැමෝම කිවුවේ මේ වැඩේ හරියට කළොත් ගිනස් වාර්තා පොතට වුණත් යන්න පුළුවන් කියලා. ඉතින් මීට වඩා ලොකු තොරණක් කරන්න ආසයි. අඩි 50 - 60ක විතර. කවුරු හරි අපිට උදවු කරනවනම් මේ ගමන යන්න අපිට ලොකු හයියක්. ඉතින් ලබන අවුරුද්දේ ඒ විදිහේ ලොකු තොරණක් කරන්න බලාපොරොත්තු වෙනවා. පොසොන් පෝයට බියගම ප්‍රදේශයේදිත් ප්‍රදර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා.