බිත්තිය හැඩ කරන කලාවෙන් ජීවිතය හැඩ කරන රටාව

ජූලි 28, 2025

 වර්තමාන තාක්ෂණය බොහෝ දියුණුය. තාක්ෂණය කෙතරම් දියුණු වුවත් අපගේ නිර්මාණ කුසලතාවයට ඇති වපසරිය බොහෝය. විශේෂයෙන්ම කාන්තාවකගේ නිර්මාණ කුසලතාවය බිත්ති සැරසිල්ලකට පමණක් සීමා විය යුතු නොවේ. අපගේ පරිකල්පන නිර්මාණ හැකියාව උපයෝගී කරගනිමින් අප නොසිතන බොහෝ දෑ අපට නිර්මාණය කිරීමට හැකියාව ඇත. විශේෂයෙන් ලීවලින් බිත්ති සැරසිලි සෑදීම යනු නිර්මාණශීලී අයට ස්වයං රැකියාවක් ලෙස අතිශයින් සාර්ථක විය හැකි අවස්ථාවකි. මෙම ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර, නිෂ්පාදන වර්ග, අලෙවිකරණ උපාය මාර්ග සහ සාර්ථකත්වයට අවශ්‍ය උපදෙස් හා ඒ සඳහා මඟ පෙන්වීම ලබාදෙන නිර්මාණ කිහිපයක් ද අපි ඔබට තිළිණ කරමු.

 

ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර, සූදානම අත්‍යවශ්‍ය වේ. ලී බිත්ති සැරසිලි ව්‍යාපාරය සඳහා ඔබ සලකා බැලිය යුතු මූලික කරුණු කිහිපයකි. මේ සඳහා මූලික දැනුමක් තිබීම පළමු පියවරයි. විවිධ ලී වර්ග, ඒවායේ ගුණාංග (දැඩි බව, වර්ණය, කැටයම් කිරීමට ඇති හැකියාව), කැපීම, ඔප දැමීම, ඔප දැමීමේ ක්‍රම, සහ එකලස් කිරීම වැනි තාක්ෂණික ක්‍රම පිළිබඳ අවබෝධයක් ඔබ මුලින්ම ලබා ගත යුතුවේ. කෙටිකාලීන වෘත්තීය පාඨමාලා, වැඩමුළු හෝ පළපුරුදු ශිල්පීන්ගෙන් උපදෙස් ලබා ගැනීම මේ සඳහා බෙහෙවින් උපකාරී වේ. අන්තර්ජාලයේ ඇති නිබන්ධන (tutorials) සහ වීඩියෝ (videos) මඟින් ද ඔබට මූලික දැනුමක් ලබාගත අවස්ථාව තිබේ.

 

ආරම්භක අවධියේදී මෙවැනි කටයුත්තක් කිරීමට ඔබට විශාල මුදලක් ආයෝජනය කිරීමට අවශ්‍ය නොවේ. අතින් ක්‍රියාත්මක වන මූලික උපකරණ (උදා: අත් කියත්, මිනුම් පටි, පැන්සල්, වැලි කඩදාසි, මිටිය, විවිධ ප්‍රමාණයේ නියපොතු/ඇණ, ලී මැලියම්, පින්සල්, වර්ණ/පොලිෂ්) වැනි උපකරණ කිහිපයක් මේ කටයුතු ආරම්භයට ප්‍රමාණවත් විය හැකියි. ඔබේ ව්‍යාපාරය දියුණු වන විට, විදුලි කියත් (ජිග්සෝ, රවුම් කියත්), විදුලි වැලි දැමීමේ යන්ත්‍ර (orbital sander), විදුලි විදුම් යන්ත්‍රය (drill machine) වැනි නවීන උපකරණ මිලදී ගත හැකිය. මෙම උපකරණ මඟින් ඔබේ වැඩ වේගවත් වන අතර නිමාවේ ගුණාත්මකභාවය ද වැඩි දියුණු වේ.

 

මෙම කටයුත්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීම ඊළඟ පියවරයි. විවිධ ලී වර්ග (උදා: තේක්ක, මෝගන්, කොහොඹ, බුරුත, කලුමැදිරිය, පලතුරු ගස්වල ලී, රබර් ලී) සහ ඒවායේ කැබලි එකතු කර ගන්න. කැලෑ ආශ්‍රිත ප්‍රදේශවලින්, ලී මෝල්වලින් හෝ ගෘහ භාණ්ඩ සාප්පුවලින් ඉතිරි වන කැබලි අඩු මිලට ලබා ගත හැකියි. ප්‍රතිචක්‍රීකරණය කරන ලද ලී (reclaimed wood) භාවිතය පිරිවැය අඩු කර ගැනීමටත්, පරිසර හිතකාමී ව්‍යාපාරයක් ගොඩනැඟීමටත් කදිම මාර්ගයකි. උදාහරණ ලෙස, පැලට් ලී (pallet wood), පරණ ගෘහ භාණ්ඩ කැබලි, ඉදිකිරීම්වලදී ඉතිරිවන ලී කොටස් යොදා ගත හැකියි. මෙවැනි ලී කැබලිවලට නව ජීවයක් ලබා දීමෙන් අද්විතීය නිර්මාණ බිහි කළ හැකිය.

 

ඔබ සතු නිර්මාණශීලිත්වය සහ ඔබේ අද්විතීය නිර්මාණශීලිත්වය මෙම ව්‍යාපාරයේ සාර්ථකත්වයට තීරණාත්මක සාධකයකි. වෙ‍ෙළඳපොළේ ඇති සාමාන්‍ය නිර්මාණවලින් ඔබ්බට ගොස් නවීන මෝස්තර, සාම්ප්‍රදායික රටා, ත්‍රිමාණ නිර්මාණ, කැටයම් සහ වර්ණ සංකලන අත්හදා බලන්න. ඔබේ නිර්මාණවලට කතාවක් එක් කිරීමට උත්සාහ කරන්න. උදා: අතින් කැටයම් කරන ලද මෙම බිත්ති සැරසිල්ල මඟින් ලංකාවේ පැරණි කලා ශිල්පය නවීන තාක්ෂණය මුසුකර නිර්මාණයක් කිරීමෙන් නිවෙසට ආකර්ෂණයක් ගෙන එයි.

 

නිෂ්පාදන වර්ග

 

ඔබේ නිර්මාණවල විවිධත්වය තුළින් ලීවලින් විවිධ ආකාරයේ බිත්ති සැරසිලි නිර්මාණය කළ හැකිය. ඔබේ නිර්මාණශීලිත්වය අනුව මෙහි දැක්වෙන වර්ගවලට අමතරව තවත් බොහෝ දේ නිර්මාණය කළ හැකියාව ඇත .

 

ජ්‍යාමිතික හැඩතල සහ ඇබ්ස්ට්‍රැක්ට් නිර්මාණ වැනි දේ යොදා ගනිමින් විවිධ හැඩැති (ත්‍රිකෝණ, හතරැස්, රවුම්) ලී කැබලි එකලස් කර අලංකාර ජ්‍යාමිතික රටා හෝ වියුක්ත (abstract) නිර්මාණ බිහි කළ හැකිය. මේවාට නවීන ගෘහ අලංකරණයට ඉතා හොඳින් ගැළපේ.

 

ස්වභාවික දර්ශන සහ රූප, ගස්, මල්, කොළ, සතුන් (පක්ෂීන්, සමනලුන්) වැනි ස්වභාවික රූප ලීයෙන් කැටයම් කිරීම හෝ විවිධ වර්ණවලින් යුත් ලී කැබලි භාවිතයෙන් රූප නිර්මාණය කිරීම. මේවා නි‍ෙවසට ස්වභාවික අලංකාරයක් එක් කරයි.

 

අකුරු සහ වචන යොදාගෙන නිර්මාණ කිරීම වෙනස්ම කලාවකි. අලංකාර ලෙස කැටයම් කරනලද හෝ කපාගන්නා ලද අකුරු හෝ වචන (උදා: පවුලේ නම්, උපුටා දැක්වීම්, "Home," "Love," "Family" වැනි වචන) බිත්ති සැරසිලි ලෙස භාවිතා කළ හැකියි. මෙය තෑග්ගක් ලෙස තිළිණ කිරීම සඳහා ඔබට නිර්මාණය කළ හැකි වේ.

 

ත්‍රිමාණ නිර්මාණ කලාව ද දැන් බිත්ති සැරසිලි සඳහා වඩාත් ජනප්‍රිය වී තිබේ. ලී කැබලි විවිධ ස්ථර වශයෙන් එකතු කර ත්‍රිමාණ ආචරණ ඇති කරන නිර්මාණ ,මේවා බිත්තියට ගැඹුරක් සහ සුවිශේෂී බවක් එක් කරයි. ලී කැටයම් සහ මූර්ති: කුඩා ලී කැබලිවලින් අතින් කැටයම් කරන ලද බුදු පිළිම, දෙවි රූ, සත්ත්ව රූප හෝ සංකීර්ණ මෝස්තර සහිත කුඩා මූර්ති.

 

ඔබ සිදු කරන නිර්මාණය නිවෙසකට ප්‍රයෝජනවත් ආකාරයට ද යොදා ගැනීමට හැකියාව ඇත. කුඩා රාක්ක, යතුරු එල්ලන තැන්, තැපැල් දැමීමට හෝ කුඩා අයිතම තැබීමට ඇති සාක්කු වැනි ප්‍රයෝජනවත් අංග බිත්ති සැරසිලි සමඟ එක් කළ හැකියි. මෙය පාරිභෝගිකයාට වැඩි වටිනාකමක් ලබා දේ.

 

විවිධ ලී වර්ගවල සංකලනය කර ගැනීම ද මෙම නිර්මාණ වඩාත් අලංකරණයට හේතු වෙයි. විවිධ වර්ණ සහ ස්වභාවයන්ගෙන් යුත් ලී වර්ග එකට මිශ්‍ර කර, ඒවායේ ස්වභාවික රටා ඉස්මතු වන පරිදි නිර්මාණ කිරීම ද ඔබේ නිර්මාණයට වෙනස්ම ආකර්ෂණයක් එක් කරයි.

 

ලීවලින් බිත්ති සැරසිලි කිරීම ස්වයං රැකියාවක් ලෙස පුහුණු වීම සඳහා ද ආයතන කීපයක්ම ශ්‍රී ලංකාවේ ඇත. ශිල්ප සභාව ඒ සඳහා ඔබට උපදෙස් ලබා ගැනීමට හා පුහුණුවට හොඳම ආයතනයකි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් පිහිටුවා ඇති ශිල්ප සමාජ කණ්ඩායමක් හා සම්බන්ධ වීමෙන් ඔබටද මෙවැනි පුහුණුවක් හා ප්‍රදේශයක් ලබා ගැනීමට හැකියාවක් ඇත. ඔබේ නිර්මාණශීලිත්වය සහ වෙහෙස මහන්සිය තුළින් ඔබට අලංකාර, කල් පවතින නිෂ්පාදන නිර්මාණය කිරීමටත්, ඔබේ සිහින ව්‍යාපාරය ගොඩනැඟීමටත් හැකි වේවි.

 

 

උපදෙස්:

කැලණි කලා ශිල්ප සමාජයේ සභාපති

නිමල් පලිස්කාර මහතා