වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්කර ගත් දිරිය ගැහැනියක්
"මම චතුරිකා සඳමාලි. මගේ පවුලට ආර්ථික ශක්තියක් වීමේ අදහසින් ස්වයං රැකියාවක් කරනවා. ඒ බනානා චිප්ස් නිෂ්පාදනය කිරීමෙනි. කිසිම රසකාරකයක් අඩංගු කර නොමැත. ගන්නෝරුව ආහාර පර්යේෂණ ඒකකය මඟින් තත්ත්ව සහතිකය ද ලබාගෙන ඇත. විශ්වාසයෙන් ලබාගත හැකිය."
මේ පසුගිය දිනක මුහුණු පොතේ පළවූවකි. තවමත් ඉතාමත් ළාබාල වියේ පසුවන ඇය ගැන දිරියට සවියක් විශේෂාංගයෙහි ද සටහනක් තබන්නට අපි සිතුවෙමු. ඒ ඇගේ දිරිය කතාව තුළ උගත හැකි බොහෝ තැන් ඇති බැවිනි.
අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේ උපත ලැබූ චතුරිකා ගොවි පවුලක එකම දියණියයි. තම රුවැති දියණිය ගුණ නුවණින් දැන උගත්කමින් පිරිපුන් කිරීම මේ මවුපිය යුවළගේ එකම බලාපොරොත්තුව ද වුණි. ඒ සඳහා පවුලට බෙහෙවින් හිතවත් හෙදියකගේ උදව් උපකාර ඔවුනට ලැබිණි. ඇයගේ මඟ පෙන්වීමෙන් ඔවුන් තම දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා මහනුවර ගෝතමී බාලිකාවට ඇතුළත් කරන ලදී. ඇගේ ජීවිත කතා පුවතේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරනුයේ ඉන් අනතුරුවයි.
"රාජිණි මිස්ගෙ අයියගෙ ගෙදර ඉඳලා තමයි මම නුවර අලුත් පාසලට ගියේ. ඒ ගෙදර අය මට ගොඩක් හොඳීන් සැලකුවා.
ඒත් ගැහැනු ළමයෙක් වුණාම ගෙදර වැඩ ඉගෙන ගන්න ඕනෙ කියලා එයාලා මට වැඩ පැවරුවා. ඉවුම් පිහුම් කටයුතු ගේ දොර අතුපතු ගෑම වගේ දේවල් මට කරන්න සිද්ධ වුණා. ඒ මම දෙවැනි වරට සාමාන්‍ය පෙළ සඳහා සූදානම් වන කාලයයි ඒ.
ඉතිං ගෙදර වැඩකටයුතු කරන අතර ඉගෙනීමට යොමුවෙන්න ඉඩකඩ මදි වුණා. අකැමැත්තෙන් හරි මම ඒ ගෙදරට සමුදුන්නා. ඉන්පසුව නුවර බෝඩිමකට ගියා. නන්නාඳුනන පළාතක මට තනිවම ජීවිතයට මුහුණ දෙන්න සිදුවුණා.
ඔය කාලයේදීම තමයි මට සම්පත් නානායක්කාර අයියා මුණ ගැසුණේ. ඔහු සැබෑම යහපත් ගතිගුණ ඇති කෙනෙක්. ඔහු කළ විවාහ යෝජනාවට දෙපාර්ශ්වයේම මාපිය ආශිර්වාදය ලැබුණා.
ඒ අනුව අවුරුදු 18ක් වගේ අඩු වයසයකදී මා ඔහු හා විවාහ වුණා. සම්පත්ගේ ගම නුවර. ඒ නිසා විවාහයෙන් පසුව නුවර කටුගස්තොට පදිංචි වුණා. අප දෙදෙනාටම ජීවිත අත්දැකීම් අඩුයි. මුල් කාලයේ දී ඔහුට ස්ථිර රැකියාවක් තිබුණේ නැහැ. ආර්ථික අපහසුතා පැනනැගුණා. එවිට මම සුළු සුළු ස්වයං රැකියා කීපයක්ම කළා. ගෙමිදුලේ මල් පැළ තවානක් දැම්මා.
මුලින් පැළ විකුණුවත් පසුව එය සාර්ථක වුණේ නැහැ.
ඉන්පසුව රෙදි විකුණුවා. කිසිම ඵලක් වුණේ නැහැ. අල, ලූනු වගේ ඒවත් අලෙවි කළා. ලාභයක් ලැබුණේ නැහැ. පසුව බයිට් වර්ග විකිණීමට මාරු වුණා. එයින් වුණේ අතේ තිබුණු මුදල නැතිවුණා විතරයි.
මෙහෙම ඉන්නකොට මට පුතා ලැබෙන්න ආවා. දරු ගැබත්උ ස්සගෙන ගෙයින් ගෙට ගිහින් පාවහන් අලෙවි කළා. සමහර අය මගෙන් පාවහන් මිලදී ගත්තේ මට අනුකම්පා කරලා මිසක් ඒ අයට පාවහන් ඕනවට නෙමෙයි. . ඒක මට ලැජ්ජාවක් වුණා.
අනුකම්පාව ලබාගෙන දියුණුවෙන්න ඕනකමක් මට තිබුණේ නැහැ. මම ඒක අතහැරියා. දාහතර වැනි ස්වයං රැකියාව විදිහට නුවර ප්‍රධාන මාර්ගය ඉදිරිපිට පොල් රොටි සාදා අළෙවි කළා.
ඒකත් මට අභියෝගයක් වුණා.
අන්තිමේදී මම ස්වයං රැකියාවක් කරන්නේ කොහොමද කියලා අධ්‍යයනය කළා. ඒකට මට නුවර කුඩා ව්‍යාපාර අංශයෙන් උපරිම සහයෝගයක් ලැබුණා.
නිපුණතා සංවර්ධන මණ්ඩලයෙන් ද ලොකු සහයෝගයක් ලබා ගත්තා. ඒ උපදෙස් වලට අනුව කෙසෙල් ආශ්‍රිත බයිට් කෑම පෙළක් නිෂ්පාදනය කරන්නට හැකිවුණා. නිෂ්පාදන අලෙවියේදී බොහෝ මුදලාලිලා මාව අධෛර්යමත් කරන්න සෑහෙන වෙහෙසක් ගත්තා.
ගැහැනියකට දරුවකු බිහිකළ හැකිනම් වෙළෙඳ ව්‍යාපාරයක් කරගෙන යාම එතරම් අභියෝගයක් නොවන බව මට වැටහුණා. ඒ අනුව මම මගේ පහළොස් වැනි ව්‍යාපාරය 'බනානා චිප්ස්' නමින් ලියාපදිංචි කරගෙන පවත්වාගෙන යනවා.
අද ලැබෙන ඇණවුම් කරගැනීමට මට කාලවේලාව මදි.මුලින් මගේ නිෂ්පාදන එපා කියූ අය දැන් වැඩියෙන් ඉල්ලනවා.
අඩු වයසකදී සාර්ථක ව්‍යවසායිකාවක් වීම, යහපත් බිරියක්, මවක් වීම මගේ ජීවිතයේ මා ලබපු ජයග්‍රහණයයි.
අද මගේ අම්මා, තාත්තා, සැමියා මා ඉන්න තැන දැකලා සතුටු වෙනවා.
ඉතින් තරුණී කියවන කාන්තා ඔබත් මගේ කතාව අහලා කොයි තරම් වැටුණත් අධෛර්යය නොවී ජීවිතය ජයගන්න සිතට ගන්න. ඔබට කිසිදා වරදින්නේ නැහැ.