ඉහල වෙළඳ වටිනාකමක් ඇති ඉඟුරු වගාවක් පටන් ගනිමු

මාර්තු 10, 2021

කාර්යබහුල දවසේ විඩාව මොහොතකට සංසිඳුවාලන්නට ඉඟුරු මිශ්‍ර තේ් කෝප්පයකට ඇති හැකියාව මොනතරම් ද? එපමණක් නොව මහවැසි ඇදහැලෙන වෙලාවක ගතට දැනෙන සීතල පලවා හරින්නටත් ඉඟුරු යහමින් යෙදූ තේ කෝප්පයකට ඇත්තේ අපූරු හැකියාවකි.

විශේෂයෙන්ම ඉඟුරු කැබැල්ලක සතු සුවඳ, රස, සැර සහ ඖෂධීය ගුණාත්මක තත්ත්වය නිසාම අතීතයේ පටන් මෙය වටිනා භෝගයක් ලෙස පිළිගෙන ඇත. ඒ නිසාම කුළුබඩුවක් සේම ඖෂධයක් ලෙස ඉඟුරුවලට ලොව පුරා ඉහළ ඉල්ලුමක් පවතියි.

ඉඟුරුවල නිජබිම ගිනිකොන දිග ආසියාවයි. ඉන්දියාවේ සහ චීනයේ බොහෝ කලකට පෙර සිටම ඉඟුරු භාවිත කළ බවට සාක්ෂි ඇති අතර යුරෝපයට ආසියාවෙන් ලබාදුන් ප්‍රථම කුළුබඩුව ලෙස සැළකෙන්නේ ද මේ ඉඟුරුය.

මුළුතැන්ගෙයි රසකාරකයක් වූ ඉඟුරු බේකරි සහ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ මෙන්ම බීම වර්ග නිෂ්පාදනයේ දී භාවිත කෙරේ. ඊට අමතරව සුවඳ විලවුන් සහ ඖෂධ නිපදවීමට ද ඉඟුරු යොදැ ගැනේ. විශේෂයෙන්ම සිසිල් බීම නිෂ්පාදන කටයුත්ත සඳහා වියළි ඉඟුරු වැඩි වශයෙන් භාවිත කෙරන අතර වියලි ඉඟුරු සේම අමු ඉඟුරු ද වෙළෙඳපොළේ දැකිය හැකියි.

ආසියාතික අපි ඈත අතීතයේ සිටම ඉඟුරු පිළිබඳ දැනුවත්ව සිටියාසේම එය මෙරට වගාකළ භෝගයකි. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය හමුවේ දේශීය ඖෂධ, කුළුබඩු ආදිය වැඩි වශයෙන් භාවිත කරන්නටත් එමඟින් ප්‍රතිශක්තිය ඉහළ නංවා ගන්නටත් වැඩි දෙනකු පුරුදු පුහුණු වූ අතර එහිදී ඉඟුරු භෝගයට හිමි වූයේ ඉහළ වටිනාකමකි.

ඒ නිසාම තම ගෙවත්තේ ඉඟුරු පඳුරක් දෙකක් සිටුවාගන්නටත් කවුරුත් අමතක නොකළහ. ඊට අමතරව ඉඟුරු සඳහා වෙළෙඳපොළේ වැඩි ඉල්ලුමක් ද ඇති බැවින් මේ වගාව හරහා හොඳ ආදායමක් ලබාගන්නටත් හැකියාව ඇත. එබැවින් ක්‍රමානුකූලව ඉඟුරු වගා කරන ආකාරය සහ එහි අස්වැන්න නෙළීම පිළිබඳ අපි දැනුවත් වෙමු.

මෙරටට හඳුන්වා දී ඇති ඉඟුරු ප්‍රභේද කිහිපයකි. නමුත් මෙරට වැඩි වශයෙන් වගා කරනු දැකිය හැක්කේ දේශීය සහ චීන ප්‍රභේදයයි.

දේශීය ඉඟුරු

මේවායේ ෙරෙසෝම හෙවත් අල කුඩාය. ඒවා තන්තුමය ස්වභාවයකින් යුක්තය. මදය අළු කහ පැහැතිය. රසය හා සුවඳ අනෙක් ප්‍රභේදවලට වඩා වැඩිය.

චීන ඉඟුරු

ෙරෙසෝම හෙවත් අල විශාලය. තන්තු අඩුය. මදය කහ පැහැයෙන් යුතු වන අතර රසය, සුවඳ සහ සැර දේශීය ප්‍රභේදයට සාපේක්ෂව අඩුය.

මෙය දේශීය ඉඟුරු සහ චීන ඉඟුරුවල අතරමැදි ස්වභාවයක් ලෙස හැඳින්විය හැකියි. ෙරෙසෝම හෙවත් අල මධ්‍යම ප්‍රමාණයේ වන අතර මෙම ෙරෙසෝමය ඇඟිලි ආකාරයට හොඳින් බෙදී ඇත.

මේ ඉඟුරු අස්වනු නෙළන කාලයයි

සාමාන්‍යයෙන් ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා කාලයේ ඉඟුරු අස්වනු නෙළීම එහෙමත් නැතිනම් ඉඟුරු ඉදිරීම සිදු වේ.

ඉඟුරු අස්වැන්න නෙළන අවස්ථාව එහි ප්‍රභේදය සහ ඒවා පරිභෝජනයට ගන්නා ආකාරය අනුව තීරණය කෙරේ. වගාබිමේ සිටුවා ඇති ඉඟුරු වර්ගය පරිණත වූ පසුව එනම් සිටුවා මාස 8 ක්, 9 ක් පමණ ගත වූ පසු අස්වනු නෙළිය හැකියි. සාමාන්‍යයෙන් චීන වර්ගය මාස 7 ක්, 8 ක් අතර අස්වනු නෙළීමට සුදුසුවන අතර රැන්ගුන් ප්‍රභේදය ද ඒ අතර කාලයේ දී නෙළිය හැකියි.

ඉඟුරු ආශ්‍රිත ඇතැම් අගය එකතු කළ නිෂ්පාදන සඳහා ළපටි ඉඟුරු අස්වැන්න ලෙස නෙළාගනු ලබයි. විශේෂයෙන්ම අමු ඉඟුරු නිෂ්පාදන සඳහා මෙලෙස වගාවට මාස 5 - 6 ක් පමණ ගතවූ ඉඟුරු අල ලබාගනියි. මන්ද ළපටි ඉඟුරු සැර අඩුවීම ඊට හේතුවයි. එමෙන්ම චීන ඉඟුරු ද තරමක් සැර අඩු ස්වභාවයක් ගන්නා බැවින් මෙවැනි අගය එකතු කළ නිෂ්පාදන සඳහා චීන ඉඟුරු වැඩි වශයෙන් යොදා ගැනේ.

නමුත් ඉඟුරුවල ඖෂධීය ගුණයත්, වියළි බරත් වැඩිවන්නේ අල මේරූ පසුවය. එනම් ඉඟුරු අල සිටුවා මාස 8 - 10 අතර කාලයේ දී පස් යට වර්ධනය වූ ඉඟුරු අල මේරීම සිදුවේ. ඒ අස්වැන්න නෙළාගැනීමට හොඳම කාලයයි. මෙලෙස හොඳින් මේරූ ඉඟුරු බිජ අල ලෙසින් ඊළඟ කන්නයේ වගා කිරීමට ද යොදා ගත හැකිය.

පරෙස්සමට ගලවාගන්නා ඉඟුරු කල් තබාගන්නා ආකාරය ලබන සතියේ දී දැනගනිමු.

 

 

 

උපදෙස් අපනයන

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා සන්නිවේදන අංශයේ සහකාර අධ්‍යක්ෂ

අරුණ දිසානායක