හානි නොවන ලෙස ඉඟුරු අස්වැන්න නෙළන්නේ කොහොමද?

මාර්තු 17, 2021

ඖෂධයක් මෙන්ම දේශීය රසකාරකයක් වූ ඉඟුරු සඳහා කවදත් ඉහළ ඉල්ලුමක් පවතිනවා. විශේෂයෙන්ම රස පදමට ආහාර පිසින්නට, ඇඟට දැනෙන්නට උණුසුම් තේ කෝප්පයක් පිළියෙල කරන්නට අපේ ගෘහණියන්ට ඉඟුරු කැබැල්ලක් දෙකක් නැතුවම බැහැ.

 

මේ නිසාමදෝ මන්දා හැමදාමත් වෙළෙඳපොළ තුළ ඉඟුරු තමන්ගේ වටිනාකම ඉහළින්ම තබාගත්තා.

ඒ වගේම නිවෙසේ එදිනෙදා පාවිච්චිය සඳහා ඉඟුරු පඳුරක් දෙකක් වවාගන්නත් අපේ උදවිය අමතක කළේ නැහැ. තවත් පිරිසක් ඉහළ ආර්ථික වටිනාකමක් සහිත භෝගයක් ලෙසින් ද ඉඟුරු වගා කළා. මේ කුමන අරමුණකින් වගාකළත් දැන් උදාවී ඇත්තේ ඉඟුරු අස්වැන්න නෙළාගන්නා කාලවකවානුවයි.

ඒ නිසා අද අපි ඉඟුරු අස්වැන්න පරෙස්සමට ගලවා කල්තබා ගන්නා ආකාරය සොයා බලමු.

 

අස්වනු නෙළීම

ඉඟුරු බීජ සිටුවා මාස අටකට පමණ පසුව එහි පත්‍ර කහ පැහැ ගැන්වේ. අනතුරුව ඒවා වියළී කඩාවැටී මිය යන අතර එය ඉඟුරු අල හොඳින් මෝරා ඇති බවට ඉඟියකි. එවිට ඔබට ඉඟුරු අස්වැන්න නෙළිය හැකියි. මෙහිදී මුල්ලුවක් හෝ උදලු මුල්ලුවක් ආධාරයෙන් ඉඟුරු ගලවා ගත යුතු අතර අලවලට හානි නොවන ආකාරයට එය කිරීමට වගබලාගන්න.

නිසි කාලය තෙක් මේරූ ඉඟුරු බරෙන් වැඩි නිසා වැඩි ආදායමක් ලබාගත හැකි අතර මේරූ ඉඟුරු කල්තබා ගැනීමේ හැකියාවෙන් ද වැඩිය.

 

ඉඟුරු කල් තබාගැනීම

අමු ඉඟුරු ඉක්මනින් නරක්වෙන අතර දින කිහිපයක් ගතවෙත්ම ඒවායේ බර ද අඩුවේ. ඊට අමතරව අල මෘදුවීම, හැකිළීම සහ දිලීර ආසාදන ද ඇතිවිය හැකියි. මේවායේ කුඩා අංකුර හටගැනීමේ ඉඩකඩ ද පවතී. එබැවින් අමු ඉඟුරු කල් තබාගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

සාමාන්‍යයෙන් 60% - 90% අතර ආර්ද්‍රතා තත්ත්වයත්, සෙල්සියස් අංශක 21 - 30 ත් අතර උෂ්ණත්ව පරාසයත් තුළ ඉඟුරු අල දින 60 ක් එනම් මාස දෙකක් පමණ කාලයක් කල්තබා ගත හැකිය. එබැවින් ඔබ මෙවැනි පරිසර තත්ත්වයක් නිර්මාණය කරගත යුතු අතර ඒ සඳහා දහයියා උපයෝගී කරගත හැකිය.

එනම් සමතල මතුපිටක දහයියා තට්ටුවක් අතුරා ඒ මත ඉඟුරු අල තට්ටුවක් දමන්න. නැවතත් දහයියා තට්ටුවක් දමා ඉඟුරු අල තට්ටුවක් දමන්න. මේ ආකාරයට තට්ටු කිහිපයක් සිටින සේ ඉඟුරු දමා ගැනීමෙන් ඉඟුරු කල්තබා ගත හැකි අතර මේ සඳහා ආරක්ෂිත අඳුරු ස්ථානයක් තෝරා ගැනීමටත් වගබලාගන්න.

 

අමු අල අස්වැන්න සැකසීම

ඉඟුරු ගලවා ගැනීමේ දී අලවලට හානි නොවන සේ පරෙස්සමට එය කළයුතු බව අප සඳහන් කළා ඔබට මතක ඇති. ගැලවීම අපහසු නිසා වැසි රහිත වියළි පොළොවක් සහිත අවස්ථාවේ දී අස්වනු නෙළීම නොකරන්න. පස් මිශ්‍රව එක පොදියක් ලෙස උදුරා ගන්නා ඉඟුරු අනතුරුව වෙනම ගලවා ගත යුතු අතර මේ අල අතරේ රැඳී ඇති පස් ඒ අවස්ථාවේදීම අතින් ඉවත් කරන්නටත් අමතක නොකරන්න.

 

නැවුම් ඉඟුරු

ගලවාගත් ඉඟුරු අස්වැන්න ඔබට නැවුම් ඉඟුරු ලෙස වෙළෙඳපොළට ඉදිරිපත් කළ හැකියි. ඒ සඳහා ගලවාගත් ඉඟුරු අල (ඇඟිලි) අතර ඇති පස් ඉවත්වන පරිදි පිරිසුදු ජලයෙන් සෝදන්න. ඔබට හැකිනම් මේ සඳහා පීඩන ජල විදිනයක් වුවද භාවිත කළ හැකිය. අනතුරුව ඉඟුරු අල මතුපිට රැඳුණු ජලය වියළෙන තෙක් දිනක් පමණ පවනේ වියළා ගෝනි හෝ පොලිසැක් මලුවල බහා වෙළෙදපොළට යවන්න.

ඉඟුරුවල පොතු ඉවත් කිරීම සහ වියළීම පිළිබඳ ලබන සතියේ දී දැනගනිමු.

 

උපදෙස්

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ

මාධ්‍ය හා සන්නිවේදන අංශයේ සහකාර අධ්‍යක්ෂ

අරුණ දිසානායක