වැනිලා මල් පරාගනය කරන්නේ මෙහෙමයි

මල් පරාගනය හරහා මිස කරල් හට ගැනීමක් සිදු නොවේ
ඔක්තෝබර් 27, 2021

වර්තමානය වනවිට අප කාගේත් ජීවිත ගෙවී යන්නේ විවිධාකාර වු ආර්ථික ගැටලු සමඟිනි. නොසිතූ නොපැතූ මොහොතක පැමිණි කෝවිඩ් වසංගතය හමුවේ බොහෝ දෙනකුගේ ජීවිත උඩුයටිකුරු වූ අතර දිනෙන් දින ජීවන වියදම ද වැඩිවෙමින් පවතී.

ඒ සඳහා අලුත් ආදායම් මාර්ගයක් සොයන ඔබට රසකාරක භෝග වගාව අපූරු විසඳුමක් බව මේ වනවිට අවබෝධ වී ඇති.

ඒ අතරිනුත් වැනිලා භෝග වගාව විශේෂිත වන්නේ ඔබ රැකියාවක නියුතුව සිටියදී පවා මේ වගාවේ නියැලීමට හැකියාව පැවතීමයි.

එමෙන්ම රැකියාව තුළ හිමිවන ඒකාකාරී මානසිකත්වය මෙවැනි වගාවක් හරහා නොදැනීම දුරු වී යයි. ලැබෙන නිදහස් කාලය මෙලෙස වගා කටයුත්තක යෙදීමෙන් වැඩි අපහසුවකින් තොරව අමතර ආදායමක් උපයා ගන්නත් පුළුවනි.

මේ වනවිට වැනිලා වගාවක වැදගත්කම වාගේම වගාවක් ක්‍රමානුකූලව ආරම්භ කරන ආකාරයත්, වැල් සිටුවීම පිළිබඳත් ඔබ හොඳින් දැනුවත්.

එබැවින් අද අපි මේ වගාවේ ඉතාමත් වැදගත් සාධකය වූ වැනිලා මල් පරාගනය ගැන දැනගනිමු.

පරාගනය කිරීමේ විශේෂත්වය

වැනිලා වගාවේ වැදගත්ම කාර්යය ලෙස සැලකෙන්නේ වැනිලා මල් පරාගනයයි. මන්ද මල් පරාගනය හරහා මිස කරල් හට ගැනීමක් සිදු නොවන අතර එය කෘත්‍රිමව වගාකරුවන්ගේ අතින් සිදු කළ යුතු වීම මෙහි තිබෙන විශේෂත්වයයි. ඊට හේතුව වන්නේ අනිකුත් මල් වර්ග ස්වභාවිකව පරාගනය වුවත් වැනිලා මල් ස්වභාවිකව පරාගනය නොවීමයි. මෙහිදී වැනිලා මල් පරාගනය හරිහැටි සිදු නොකළොත් අපේක්ෂිත අස්වැන්න නොලැබී යයි. එහෙමත් නැතිනම් වැනිලා කරල් හට නොගනී. එබැවින් වැනිලා වගාවට පිවිසෙන සෑම කෙනකුම මුලින්ම මේ මල් පරාගනය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්.

*වැල් උත්තේජනය

වැනිලා වැලේ මල් හට ගැනීම සඳහා වැනිලා වැල ආතතියට හෙවත් උත්තේජනයට ලක් කිරීම ඉතා වැදගත්. ඒ සඳහා මල් පිපෙන්නට මාස 04කට කලින් එනම් දෙසැම්බර් මාසයේ දී ආධාරක ශාකවල අතු කප්පාදු කොට සෙවණ අඩු කළයුතුයි. මෙහිදී සෙවණ 30% දක්වාත් ආලෝකය 70% දක්වාත් ලැබෙන පරිදි අතු කප්පාදු කරන්න. එමෙන්ම පහළට එල්ලී තිබෙන වැල්වල අග කොටසින් පුරුක් 7ක් පමණ කපා ඉවත් කිරීමත් කළයුතු වේ. එමඟින් වැනිලා වැලේ අනිකුත් අංකුර උත්තේජනය වීමට ද පටන් ගනියි. මෙහිදී පුඩු දමන ලද වැනිලා වැල් නොකපා සිටීමට මතක තබා ගන්න.

*මල් හටගැනීම

සාමාන්‍යයෙන් වැනිලා වැලක් හොඳින් උත්තේජනය වූ විට ඉක්මනින් මල් හට ගැනීම සිදු වේ. මෙහිදී වැනිලා වැලට මාස 04ක් පමණ ගත වු පසුව මල් හට ගැනීම ආරම්භ වේ. එනම් අප්‍රේල්, මැයි මාසවලදී මල් පොහොට්ටු හට ගන්නට පටන් ගනී. නමුත් පවතින දේශගුණ තත්ත්වය අනුව මල් පිපීම තරමක් දුරට වෙනස් වන්නට ද පුළුවනි. ඇතැම් විට අප්‍රේල් මාසයේ මෙන්ම ඔක්තෝබර් මාසවල දී ද මල් හට ගැනීම සිදුවිය හැකියි. මෙහිදී එක් මල් පොකුරක පොහොට්ටු 30ක් පමණ හට ගන්නා අතර එක පොකුරකින් දිනකට මල් දෙකක් තුනක් පමණ පිපෙන්නට පටන් ගනී. මෙලෙස පිපුණ මලක් වුවද පවතින්නේ එක් දිනක් පමණි.

මේ ආකාරයකට වසරකට මල් දෙසියයක හෝ තුන්සියයක ප්‍රමාණයක් එක වැලකින් ලබාගත හැකියි. පළමු දිනයේ පිපුණ මල දෙවන දිනය වනවිට පර වී යන නිසා මල පෙති විහිදා පිපුණ දිනයේදීම පරාගනය කළ යුතු වේ. එයට පෙර මල් පොකුරේ වැනිලා මල පිපී තිබෙන ආකාරය ගැන අවබෝධයක් ලබා ගැනීමත් ඉතා වැදගත් වේ.

එනම් සෑමවිටම පරාගනය සඳහා තෝරා ගත යුත්තේ පහළට නැමී ඇති මල් පමණකි. වැනිලා මල් පොකුරේ ඉහළට හා හරහට ආදී විවිධ පැතිවලට හැරී ඇති මල් පරාගනය කරන්නේ නැත. ඊට හේතුව වන්නේ එලෙස හට ගන්නා කරල් කෙලින් නොපිහිටීමයි.

එසේම මේ ආකාරයට නිසි ලෙස පිපෙන මල් වලින් ද පරාගනය කරන්නේ එයින් අඩක් පමණි. එයට ද හේතුවක් තිබේ. එනම් සෑම මලක්ම පරාගනය කර කරල් හටගතහොත් පොකුරේ කරල් ප්‍රමාණය වැඩි වීම නිසා කරල් කුඩාවීමට ඉඩකඩ ඇති බැවිනි. මන්ද වෙළෙඳපොළේ වැඩි ඉල්ලුම පවතින්නේ පහළ අතට හැරුණු, සම්මත දිගකට සහ මහතට සෑදී ඇති කරල් සඳහායි.

*පරාගනයට සුදුසු වේලාව

එසේම වැනිලා මල් පරාගනය දවසේ ඕනෑම වේලාවක සිදු කරන්නේ ද නැත. ඊට සුදුසු වේලාවක් තිබේ. ඒ සඳහා වඩාත්ම සුදුසු කාලය වන්නේ උදෑසන 7.00 සිට 11.00 දක්වා කාලයයි. මෙහිදී රළු ඇඟිලි තුඩුවලින් වැනිලා මල් පරාගනය කරනවාට වඩා සිනිඳු ඇඟිලි තුඩු තිබෙන තරුණියක් යොදාගෙන මල් පරාගනය කරන්නේ නම් වඩාත් සුදුසුයි. එයට හේතුව වැනිලා මල ඉතා සියුම් බැවින් මලට හානියක් නොවන සේ මෙම කාර්යය කළ යුතු බැවිනි. මේ කාර්යය කිරීමට මුලින්ම සියුම් තුඩක් සහිත අඟල් 4ක් පමණ දිග පොල් කූරක් හෝ වෙනත් සියුම් කූරක් තෝරා ගන්න. අනතුරුව මල ඔබේ වම් අතින් අල්ලා ගන්න. ඉන්පසු දකුණු අතේ මාපට ඇඟිල්ල ආධාරයෙන් පරාග සම්බන්ධ වී ඇති අලි හොඬය වැනි අධරිතාව නමින් හඳුන්වන කොටස පහළට තල්ලු කරන්න. එවිට ස්ථම්භය මලේ පරාගධානිය (පිරිමි කොටස) හා කලංකය - ( ගැහැනු කොටස) නිරාවරණය වන ආකාරය ඔබට දකින්නට පුළුවන්. මෙම පරාගධානිය හා කලංකය අතර තුණ්ඩිකය ලෙස හඳුන්වන කුඩා මල්පෙත්තක් ඇත. ඉන්පසුව ඔබ කළ යුත්තේ දකුණු අතින් පොල් ඉරටුව ගෙන මලේ තුණ්ඩිකය ලෙස හඳුන්වන කොටස ඉහළට එසවීමයි. එවිට කලංකය නිරාවරණය වී පැහැදිලිව පෙනෙනු ඇත. ඉන් අනතුරුව වම් අතේ මාපට ඇඟිල්ල මඟින් පරාගධානිය කලංකය මතට පහත් කර මෘදු ලෙස තද කරන්න. පසුව ප්‍රවේශමෙන් පොල්කූර ඉවතට ගන්න. එවිට පරාගධානියේ ඇති පරාග කලංකය මත තැන්පත් වී පරාගනය සම්පුර්ණ වේ.

ඔබ විසින් සිදු කළ පරාගන කාර්යය සාර්ථක වු බව පසුදිනම දැනගැනීමේ හැකියාව ද පවතී. එනම් හරිහැටි පරාගනය නොවු මල් පසුදිනම හැලී යන බැවිනි.

 

උපදෙස් - දිශාන්ති නිරෝෂා කොඩිතුවක්කු

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ

මාධ්‍ය හා සන්නිවේදන අංශය