වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කප්පරකට පුවක් රට පැටෙව්වොත් කප්පරකට ඩොලර් හොයන්නත් පුළුවන්
ඉස්සෙල්ලාම කතන්දරයක් කියන්නම්කෝ....
“ඔන්න දවසක් කොට්ටෝරුවයි, මදුරුවයි, කොරවක්කයි ගඟක් හරහා ගමනක් ගියා. මදුරුවා ගියේ රත්තරන් වෙළෙඳාමේ. කොරවක්කා ගියේ පුවක් වෙළෙඳාමේ. ඔරුව පදින තොටියා වුෙණ් කොට්ටෝරුවා. අනේ! යනකොට මොකද වුෙණ්? ගඟ මැද දී ඔරුව දෙකට කැඩිලා හැමෝම විනාශ වුණා. ඉතින් එදා ඉඳලා ඉපදෙන වාරයක් පාසා කොට්ටෝරුවා හැම ගහකටම කොට කොටා ඔරුවක් හදන්න හොඳ කඳක් හොයනවලු. මදුරුවා හැමෝගෙම කණට කරලා මගේ රත්තරන් කෝ කියලා කොඳුරනවලු. කොරවක්කා කප්පරකට පුවක් කිය කියා නැතිවුණු පුවක් ටික හොයනවලු."
ඉතිං අපි දැන් කප්පරකට පුවක් කිය කියා ඉන්නෙ නැතුව කප්පරකට පුවක් රට පැටෙව්වොත් කප්පරකට ඩොලර් හොයන්න පුළුවන් කියලා ඔබ දන්නවා ද? පසුගිය අවුරුද්දේ පුවක් අපනයනයෙන් අපි ගත්තු ආදායම ඩොලර් මිලියන 46ක්. මේක රුපියල්වලින් නම් අති විශාල මුදලක්. ඒ විතරක් නෙමේ අද දවසේ කරුංකා ගෙඩියක් රුපියල් දොළහක්, දහතුනක්. පුවක් ගෙඩියක් රුපියල් හතක් අටක්. ඒ හින්දා අද අපි පුවක් ගැන කතා කරමු.
හපන්නම විතරක් නෙමෙයි...
කොහොම වුණත් දෙන පළමුවැනි පණිවුඩය තමයි, ඔයාගේ මහත්තයා හරි මාමණ්ඩි හරි පුවක් කන්න පුරුදු වෙලා ඉන්නවා නම්, කිසිම වෙලාවක ඒකට උඩගෙඩි දෙන්න නම් එපා. මොකද වෛද්‍ය මතය වෙන්නේ පුවක්වල පිළිකා කාරක තිබෙන බවයි. අනික පුවක්වල නිෂ්පාදන එමටයි. චීනය හා ඉන්දියාව ඔවුන්ගේ සාම්ප්‍රදායික ඖෂධ පිළියෙල කරන්න, ඇතැම් දන්තාලේපන හදන්න වගේම පශු වෛද්‍ය ක්ෂේත්රයට අවශ්‍ය වන ඖෂධ බොහෝමයක් සඳහාත් පුවක් භාවිත කරනවා. ඒ නිසා පුවක් කියන්නේ හපන දෙයක් විතරක් නෙවෙයි, විවිධ කර්මාන්ත සඳහාත් බෙහෙවින්ම උපකාර වන අමුද්‍රව්‍යයක්. අනිත් පැත්තෙන් ගත්තාම පුවක් කොළය. පුංචි කාලේ කලිසමේ ලෙලි යනකන් ම පුවක් කොළ පැද්දා මතකද මන්දා. පරිසර හිතකාමී පිඟන් හා ඇසුරුම් ද්‍රව්‍යය නිෂ්පාදනය සඳහාත් පුවක් කොළ වර්තමානයේ බෙහෙවින් ම භාවිත වෙනවා. ඒක විශාල කර්මාන්තයක්. ළපටි පුවක් ගස් උද්‍යාන කර්මාන්තයට අත්‍යවශ්‍ය අංගයක්. ගොඩක් සුඛෝපභෝගී ගෙවල්වල ලස්සනට පුවක් ගස් වවලා තිබෙනවා, ඔබ දැක තිබෙනවා නේද?
පුවක් වර්ග....
පුවක් වර්ග කිහිපයක් අපේ රටේ තිබෙනවා. ඒකෙන් දේශීය ප්‍රභේදය හරි ජනප්‍රියයි.ඒ වගේම ටිකක් ලොකු, උසින් අඩු රට පුවක් ලෙස හඳුන්වන වර්ගයකුත් තිබෙනවා.ඒ් වගේම හම්බන් පුවක් කියලා ජාතියකුත් තියෙනවා. ඒවා ටිකක් විශාලයි වගේම රතු, කහ හා තැඹිලි පැහැය මිශ්‍රිත යි. වටිනාකමින් වැඩි නිසා විකුණන්න හොඳම ජාතිය මේ පුවක් වර්ගයයි. මීට අමතරව දෝතළු, ලේනතැරි කියලා තවත් පුවක් වර්ග දෙකක් තිබුණත් ඒවා පරිභෝජනයට නම් ගන්නෙ නැහැ. විසිතුරු පැළ ලෙස ගන්න පුවක් වර්ගත් තිබෙනවා. සමහරවිට පුවක් වගාවක් ලෙස කරනවා කියන එක ඔබ අහලාවත් නැතිව ඇති. ඒත් ශ්‍රී ලංකාවේ ගම්පහ හා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ හරි අපූරුවට පුවක් වගාව සිදු කරනවා. හෙක්ටයාරයකට පැළ 1,100ක් විතර වගා කරලා එක් ගසකින් ගෙඩි 750ක පමණ අස්වැන්නකුත් අරගෙන, ලක්ෂ 5ක පමණ ආදායමකුත් ලබාගන්නවා.
හිතකර වගාවකට...
තෙතමනය සහිත පස හා හොඳින් හිරු එළිය වැටීම පමණක් මීට හොඳටම ප්‍රමාණවත්. සුළඟ නම් එච්චර හොඳ නැහැ. මුල් කාලේ පුවක් වගාව සෙවණට ටිකක් කැමැතියි. පැළ අතර පරතරය අඩි 10ක් තබන්න. මැද්දට කෙසෙල්, පැපොල්, මඤ්ඤොක්කා වැනි පැළ හිටවලා මිශ්‍ර වගාවක් කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අස්වැන්න ගන්න අවුරුදු පහක් විතර යනවා. අඩි 1½x 1½x 1½ පමණ වළවල් කපලා සාමාන්‍ය විදිහට බීජ හෝ පැළ හිටවා ගන්න එක තමයි කරන්නේ. හැබැයි පැළ හිටුවීමේ දී අස්වැන්න වැඩි, හොඳ ප්‍රභේදයක පැළ හිටවන එක සුදුසුයි.
ඒ විතරක් නෙවෙයි මට කියන්න අමතක වුණා. වත්තේ මායිම වගේම පස හෝදගෙන යන තැන්වලට පුවක් වගාව හොඳටම ගැළපෙනවා. පස රකින ගමන් වැට මායිම රකින්නත් පුවක්වලට හොඳට පුළුවන්. ඔබේ වැට මායිමේ පුවක් පේළියක් දාන්න. ටික කාලයක් යනකොට එයා හරි අපූරුවට පුවක් අරඹක් හදාගන්නවා. පුවක් අරඹක් ඇහැට හරි ප්‍රිය මනාපයි. සුන්දරයි. කොළඹ රටේ ඉන්න අයට නම් විසිතුරු වගාවක් ලෙසත් පුවක් වවන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔබ උද්‍යාන වගාව කරනවා නම්, තවාන් පාලනය කරනවා නම්, පුවක් කියන්නේ විකුණන්න පුළුවන් හොඳ විසිතුරු පැළයක්. අපි පුවක් ගැන මෙච්චර දේවල් හිතුවෙ නෑ නේද? වතාවක් උත්සාහ කරලා බලන්න. විශේෂයෙන් ම ඈත පළාත්වල අපේ කාන්තාවන්ගේ ගෙවතුවල හොඳින් ඉඩකඩ තියෙනවා.
මේ වතුවල දිගුකාලීන භෝගයක් ලෙස පුවක් වගාව කළ හැකියි. ඉතින් ඉස්සර වගේ කප්පරකට පුවක් කිය කියා ඉන්නෙ නැතුව කප්පරකට පුවක් වගා කළොත් කප්පරකට මුදල් හොයන්න පුළුවන් කියන එක නම් බොරුවක් නෙමෙයි කියලා ඔබට වැටහෙනවා ඇති.
මේ සඳහා වැඩි විස්තර දැන ගන්න ළඟම තියෙන ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීතුමා මුණගැහෙන්න. නැත්තම් 0112877841 අංකයට කතා කරන්න. එහෙමත් නැත්නම් [email protected] යන විද්‍යුත් ලිපිනයට ලියන්න.
තොරතුරු සැපයීම
රන්සිලු වටවල
අධ්යක්ෂ සංවර්ධන
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය