වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
වැනිලා වැල් හොඳින් පුහුණු කළොත් අස්වැන්න නෙළීමත් පහසුයි
දේශීය රසකාරක භෝග වගාව
අපේ මුළුතැන්ගෙය තුළ දකින්නට ලැබෙන ඉතාමත් රසවත් මෙන්ම සුවඳවත් කුළුබඩුව වන්නේ වැනිලා. ඒ වගේම වටිනාකමින් ඉහළ අගයක් ගන්නා රසකාරකය බවට පත්වන්නේ ද මේ වැනිලා. ඒ නිසාමදෝ ඇය කුළුබඩු ලෝකයේ රාජ කුමාරිය ලෙසින් ද හඳුන්වන්නීය.
සාමාන්‍යයෙන් දේශීය වෙළෙඳපොළ තුළ අමු වැනිලා කරල් කිලෝවක් රුපියල් පන්දහසක් වැනි මිලකට අලෙවිවන බව ඔබ දන්නවා. ඉතින් හිතන්නකො වැනිලාවලට තියෙන ඉල්ලුම කොහොමද කියලා. මේ නිසාම ඉඩකඩ තියෙන ආකාරයට ඔබේ ගෙවත්තෙත් වැනිලා වැලක් දෙකක් වගා කළහොත් ලැබෙන අමතර ආදායම සුළුපටු නැහැ.
වගාවක් සඳහා වැනිලා දඬු කැබලි තෝරා ගැනීම ඒවා වගාවට සුදුසු අයුරින් සූදානම් කිරීම, සිටුවීම වාගේම ක්‍රමානුකූලව වසුන් සහ පොහොර යෙදීම ගැනත් මේ වනවිට ඔබ හොඳින් දන්නවා. අනතුරුව ඇත්තේ මේ වැල් මනාව වර්ධනය වීමට සහ අස්වැන්න නෙළා ගැනීමට පහසුවන පරිද්දෙන් සකසා ගැනීමයි. එය වැනිලා වැල් පුහුණු කිරීම ලෙසින් හඳුන්වන අතර එය සිදුකරන ආකාරය ගැන අද අපි සොයා බලමු.
වැල් පුහුණු කිරීම
වැනිලා වගාවේ දී මේ වැල් පුහුණු කිරීම ඉතාමත් වැදගත් කටයුත්තක් වෙනවා. මෙහිදී ඔබ කලින් සිටුවා ගත් ආධාරක ශාකයේ උස අඩි 05ක් දක්වා හරස් අතු ඉවත් කළ යුතුයි. ඉන්පසුව හරස් අතු 2ක් 3ක් වර්ධනය වීමට සලස්වන්න. මෙලෙසින් අතු ඉවත් කිරීමට හේතුව වන්නේ සාමාන්‍යයෙන් අපේ උසට සමාන උසකින් මේ වැනිලා වැල් පුහුණුකර සකසා ගත්විට වැනිලා මල් අතින් පරාගනය කිරීම ඉතාම පහසු කටයුත්තක් බවට පත්වන බැවිනි. ඉතින් මේ වැනිලා වැල් පුහුණු කිරීම අපට ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකකට කළ හැකියි.
එනම්,
* ආධාරකය දිගේ වැල් ඉහළට වැඩීමට සලස්වා පුඩු දැමීම (LOOPING).
* වැල් තිරස් අතට පුහුණු කිරීම.
මොකක්ද මේ පුඩු දැමීම
ආධාරකයක් දිගේ ඉහළට වැඩෙන වැනිලා වැලක් පිළිබඳ අපිට අවබෝධයක් ඇතත් මේ පුඩු දැමීම කුමක්දැයි බොහෝ දෙනකු නොදනී. එබැවින් පළමුව අපි මේ පුඩු දැමීම සිදු කරන ආකාරය පිළිබඳ දැනගත යුතුයි.
මෙහිදී වැනිලා වැල අඩි 5 1/2ක් විතර ආධාරකය දිගේ ඉහළට නැග
ආධාරකයේ ඉහළ තියෙන අතුවල අඩි 2 – 3 ක් වගේ වර්ධනය වුණාට පස්සේ ඉතාම පරිස්සමෙන් ඉහළ කොටසින් ගලවා ගන්න. අනතුරුව මෙලෙස ගලවා ගත් වැනිලා වැල ආධාරකයේ අත්තක පටලවලා පහළට හෙළිය යුතුයි. මේ පහළට එල්ලෙන වැල් හරිම වැදගත්. මොකද මල් හටගන්නේ මේ පහළට එල්ලෙන වැල්වලයි.
මේ ආකාරයට පහළට ඇදුණු වැනිලා වැල පොළොව මට්ටමට ළඟාවුණාම පොළොවේ ගෑවෙන වැල් කොටසේ පත්‍ර ටික කඩලා ඒ කොටස වසුනට යට කරන්න. ඉන්පසුව එම වැලේ අග කෙළවර කොටස ආයෙමත් ආධාරකයට තියලා ගැට ගසන්න ඕනේ. මෙයට තමයි පුඩුවක් කියන්නේ.
සාමාන්‍යයෙන් එක් වැනිලා වැලකට පුඩු 4 - 5 ක් දැමීම වඩාත් සුදුසුයි.
තිරස් අතට පුහුණු කිරීම
වැනිලා වැල් පුහුණු කරනා අනෙක් ක්‍රමය වන්නේ වැල තිරස් අතට පුහුණු කිරීමයි.
ඔබට මතකයි නේද? අපේ වැනිලා වැල් දෙකක් අතර පරතරය අඩි 8 X 5 බව. ඉතින් දැන් ඔබට පුළුවන් ආධාරක ශාක දෙකක් අතර තිරස් අතට අජීවී ආධාරකයක් බඳින්න. මේ සඳහා ඔබට නයිලෝන් නූලක්, කොහු ලණුවක්, පුවක් පටියක්, කම්බි පොටක් වැනි ඕනෑම සුදුසු ද්‍රව්‍යයක් භාවිත කරන්නට පුළුවනි. එහෙමත් නැත්නම් ආධාරකයේ අත්තක් වුවත් නොකැඩෙන පරිද්දෙන් පරිස්සමට නමලා භාවිත කරන්න පුළුවනි.
අනතුරුව දැන් මේ තිරස් ආධාරකය දිගේ වැනිලා වැල සර්පිලාකාරව යැවීම මඟින් ඔබට කලින් වාගේම පුඩු හදාගන්නත් පුළුවනි.
හැබැයි මෙහිදීත් වැනිලා වැල පොළොව ස්පර්ශ කරන ස්ථානයේ දී කලින් වාගේම වසුනට යට කරන්නත් අමතක කරන්න එපා.
වඩාත් සුදුසු ක්‍රමය තෝරන්න
අප පළමුව සඳහන් කළ ආධාරකය දිගේ ඉහළට වැඩීමට සලස්වා පුඩු දැමීමේ ක්‍රමයට වඩා මේ තිරස් අතට පුහුණු කිරීම ඇතැම් විට ගැටලුකාරීවන අවස්ථා ද නැතුවා නොවේ. මන්ද මෙම ක්රමයේ දී තද සුළං ඇති වූ අවස්ථාවල වැලට ඇතිවිය හැකි හානිය තරමක් වැඩියි. ඒවාගේම රෝග පැතිරෙන්නට ඇති ඉඩකඩත් බොහොම වැඩියි .
හැබැයි ඉතින් ඔබේ ඉඩමේ පිහිටීම, වගාවට වෙන් කළහැකි ඉඩකඩ ආදිය වාගේම මේ වගාව පිහිටි ප්‍රදේශයේ දේශගුණික තත්ත්වය එනම් තද සුළං සහිත වීම වැනි කාරණා පිළිබඳ පළමුව අවධානය යොමු කරන්න. අනතුරුව ඔබට වඩාත් සුදුසු ක්‍රමය කුමක්දැයි තෝරගන්න. මන්ද ඔබට සුදුසු ඒ වාගේම පහසුම ක්‍රමය තෝරා ගත යුත්තේ ඔබම පමණයි.
මෙලෙස වැනිලා වැල් පුහුණු කිරීමෙන් අනතුරුව උදා වන්නේ ඉතාමත් වැදගත් කාලවකවානුවකි. ඒ වැනිලා වැල්වල මල් හටගන්නා කාලයයි. මන්ද වැනිලා කරල් හටගන්නට නම් මේ මල් අනිවාර්යයෙන්ම පරාගනය විය යුතුයි. නමුත් අප දන්නා හඳුනන වෙනත් මල් මෙන් වැනිලා මල ස්වාභාවිකව පරාගනය නොවේ. එය අතින් පරාගනය කළයුතු වෙනවා. එය තරමක් භාරදූර කටයුත්තක්වන අතර නියමාකාරයෙන් පරාගනය නොවුණහොත් වැනිලා කරල් හට ගැනීම සිදු නොවේ.
එබැවින් වැනිලා වගාවේ දී සිදු කෙරෙන සුවිශේෂී කාර්යයක් වූ වැනිලා මල් පරාගනය ක්‍රමානුකූලව සිදුකරන ආකාරය අපි ලබන සතියේ දී දැනගනිමු.
උපදෙස් - අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ
(කෑගල්ල)
සහකාර අධ්යක්ෂ
කේ.පී.පූර්ණිමා මධුෂානි
විශේෂ ස්තූතිය - දිශාන්ති කොඩිතුවක්කු සහ රුවන් බස්නායකට
ඡායා - ලසන්ත අබේරත්න