YOU TUBE නමැති සල්ලි ආකරය

මැයි 19, 2025

එක එක්කෙනාගේ දක්ෂතාවන් වෙනස්. හැබැයි තමන්ට තියෙන දක්ෂතාව කුමක් වුණත් තමන්ට පුළුවන් you tube තුළින් තමන්ගේ තියෙන හැකියාව පෙන්නන්න. හැකියාව පෙන්නලා සල්ලි හොයන්න. ඔයාගේ මුහුණ පෙන්නලා වගේම මුහුණ නැතුව වුණත් මේ යූටියුබ් චැනල් එක පටන් ගන්න පුළුවන්.

 

ඔයා උයන්න පිහන්න දන්න කෙනෙක් නම්, ඔයා ලස්සන ලස්සන හෙයාර් ස්ටයිල් දාන්න දන්නවනම්, ගෙවතු වගාව කරනවනම් ට්‍රැවල් කරන කෙනෙක් නම් මේ ඕනෙම දේකින් තමන්ගේ චැනල් එක කරගෙන යන්න පුළුවන්.

 

අද වෙද්දි ලෝකයේ පොඩි දරුවගේ ඉඳලා වයසක කෙනා දක්වාම යූටියුබ් ගැන දන්න නිසා යූටියුබ් චැනල් එකක් හදන්නේ කොහොමද කියන එක ගැන මේ ලිපිය අවස්ථාවක් කරගන්නේ නැහැ. යූටියුබ් චැනල් එකක් පටන් ගන්න ඕන විධි ගැන ඕන තරම් දේවල් අන්තර්ජාලයෙන් දැන ගන්න පුළුවන්. මේ ඒ විදිහට පටන් ගන්න යූටියුබ් චැනල් එක කරගෙන යන්න දෙන අත්උදව්වක්.

 

සමහර අය දාන පළමු වීඩියෝ එකෙන්ම ලොකු වීව්ස් ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. එහෙම කියලා දාන පළමු වීඩියෝ එකෙන්ම වැඩේ අතහැරියොත් ඔයා ෆේල්. යූටියුබ් චැනල් එකක් කරගෙන යනවා කියන්නේ වෙනස්ම දෙයක්. අපි දාන වීඩියෝවලින් මොන විඩියෝව ද ලෝකය අතරට යන්නේ කියලා අපි කාටවත් කියන්න බැහැ. හැබැයි ඒක කොයිම මොහොතක හරි වෙනවා. ඒ නිසා පටන් ගත්ත වැඩේ අත් නොහැර ඉවසීමෙන් දිගටම කරගෙන ගියොත් ඔයාට වරදින්නේ නැහැ.

 

ලෝකයේ ඕන තැරම් යූටියුබ් තරු බිහිවෙලා තියෙන්නේ හරිම පුංචි තැනකින්. ඒ සමහර අයගේ චැනල් හිට් වෙන්න අවුරුදු ගණන් ගිහින් තියෙනවා. හැබැයි අද එයාලා ඒ තැනට ඇවිත් ඉන්නේ වීව්ස් නැති වුණත් දිගටම තමන්ගේ චැනල් එක පවත්වාගෙන ගිය නිසයි.

 

තීම් එකක්

 

විශේෂම දේ තමයි ගොඩ දෙනෙක් චැනල් එකක් පටන් ගන්නේ හරි අදහසක් නැතුව. සමහර අය චැනල් එක පටන් ගද්දි ඉවුම් පිහුම් වීඩියෝ දානවා. ඊට පස්සේ ඔන්න ට්‍රැවල් වීඩියෝ එකක් දෙකක් එහෙමත් එනවා. තව ටික දවසකින් වගා කරන වීඩියෝ එකකුත් දානවා. මේ වගේ චැනල් එකක් වැඩිකල් නම් දුවන්නේ නැහැ. ඒ නිසා නිශ්චිත තීම් එකකට චැනල් එක පවත්වාගෙන යන්න. ඒක බලන අයටත් පහසුයි වගේම ඒ තීම් එකට ආස වෙනමම පිරිසක් එකතුකර ගන්නත් පුළුවන්. හැබැයි ඒ තීම් එක තමන් හොඳට දන්න දෙයක් වෙන්නත් ඕනේ. මොකද නොදන්න තීම් එකකට වැඩ කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න පුළුවන් වගේම අනෙකාගේ විහිළුවට ලක් වීමේ සම්භාවිතාවත් වැඩියි.

 

ශෝට් ඇන්ඩ් ස්වීට්

 

ෂෝට් ඇන්ඩ් ස්වීට් කියන එක අනික් හැමදේකටම වගේම යූටියුබ් එකටත් පොදුයි. සමහරු වීඩියෝස් කරනවා ඔහේ ඇදි ඇදී යන. හැබැයි යූටියුබ් වීඩියෝස් බලන කෙනෙක් දන්නවා, අපි සාමාන්‍යයෙන් මුල ඉඳන් අගටම බලන්න පුළුවන් කියලා ෂුවර් කරන්න පුළුවන් විඩියෝ මොනවද කියලා. ඒ නිසා තමන් වීඩියෝ එකට එකතු කරන හැම තත්පරයක්ම වැදගත් වෙන්න ඕනේ. ඒ කියන්නේ අනවශ්‍ය කොටස් ඉවත් කරලා වැදගත්ම කොටස විතරක් ලස්සනට එඩිට් කරලා දාන එක. අද කාලේ තියන කාර්යබහුලත්වයත් එක්ක පැය ගණන් විඩියෝ බලන්න වෙලාවක් නැති නිසා. මේ විඩියෝ කෙටිවන තරමට බලන පිරිස වැඩිකරගන්න පුළුවන්.

 

සල්ලි හොයන්නත් ඕනේ

 

යූටියුබ් චැනල් එකක් කරන්නේ එක්කෝ විනෝදෙට, එක්කෝ ජනප්‍රියත්වයට නැතිනම් සල්ලි හොයන්නනේ. ගොඩක් වෙලාවට ඔය තුනම එකට තමයි ලැබෙන්නේ. යූටියුබ් චැනල් එකක් කරලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රම සහ විධි ගණනාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත්, සෘජුව පළ කරන අනුග්‍රාහක දැන්වීම්වලින් ගාණක් හොයන්න පුළුවන්. එක්කෝ ස්පොන්සර් රිවීව් වගේ දේවලින් සල්ලි හොයන්නත් පුළුවන්. එහෙම නැතිනම් ඉතින් යූටියුබ් එකේ වීව්ස්වලින් සල්ලි හොයන්නත් පුළුවන්. හැබැයි ඉතින් මේ යූටියුබ් මොනිට්‍රයිටේෂන් කියන්නේ වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. ඒක වෙනම කතා කරමු.

 

යූටියුබ් චැනල් එකක් කියන්නේ දීර්ඝ කාලීන ආයෝජනයක්. පටන් අරගෙන සතියෙන් දෙකෙන් සල්ලි හොයන්න දඟලන්න එපා. මුලින් චැනල් එක ස්ථාවර කරගෙන ඉන්න.