මගේ ජීවිතේ වටලප්පන් තරමට රස නෑ

ෆාතිමා නසීරා
පෙබරවාරි 10, 2025

මැදපෙරදිග ගෘහ සේවයට යන ඕනෙම ගැහැනියෙක් හරි ශක්තිමත්. ඒ වගේම ඉවසිලිමත්. හරියට ඒ ගැහැනිය මැජික් එකක් වගේ.

“මම පදිංචි නාරම්මල. පවුලේ ඉන්නේ අම්මයි අක්කයි. තාත්තා නැති වෙලා. අයියා කෙනෙක් හිටියා. එයත් නැතිවෙලා. මගේ මහත්තයා ඉන්නේ රට. එයාට තාම එහෙ හරියට රස්සාවකුත් නැහැ. එයා රට ගියේ ණය ටික ගෙවාගන්න ඕනේ නිසා. ණයකාරයෝ ගේ ඉස්සරහට ඇවිත් කෑගහනවා. අපි ඉන්නෙත් කුලියට. අම්මත් නිතර අසනීප වෙනවා. අක්කට දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. අක්කත් ආර්ථික අපහසුතා මැද ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා මම එයාලා ගැනත් බලනවා. මේ හැම ගැටලුවකටම විසඳුමක් විදිහට තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරන්න හිතුව. ඒ තමයි මේ ගමනේ ආරම්භය.”

මෙසේ කතාව පටන් ගන්න ඇය බොහෝ දෙනා දන්නේ මාලතී නමිනි. සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වන ඇය බොහෝදෙනා දැන හඳුනා ගන්නේ කාන්තාවන් වෙනුවෙන් හඬක් නඟන ලේඛිකාවක ලෙසටය.

වසර දහයක් පුරා කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක ලෙස ගෙවූ කාලය පිළිබඳ අත්දැකීම් ඇසුරෙන් ඇය රචනා කළ මාලිතී කෘතිය ඇය ලේඛිකාවක ලෙස ජනප්‍රියත්වයට පත් කළ අතර ඉන් නොනැවතුණු අපේ කතා නායිකාව මැද පෙරදිග සේවයේ නියුතු කාන්තාවන් වෙනුවෙන් තම අභීත හඬ අවදි කළාය. මාලිතී ලෙස ජනප්‍රිය වූ ඇයගේ සැබෑ නම ෆාතිමා නසීරාය. ෆාතිමා දැන් ලේඛිකාවක්, සමාජ සේවිකාවක් මෙන්ම දිරියෙන් ලෝකය ජයගත් ව්‍යවසායිකාවකි. Watalappan by Safa සන්නානමය හරහා ඇය අපේ රට පුරා රස බෙදන්නීය. මේ ඇගේ ජීවිතය පිළිබඳ කතා බහකි. මේ කතාබහ තුළ ඔබ ද සිටිය හැකිය.

 

ෆාතිමා අපි මේ ගමන පටන් ගත්ත තැනින්ම කතාව පටන් ගමු...

මට හිතුණා තමන්ගේම දෙයක් කරන්න ඕනේ කියලා. මම මීට කලින් අවුරුදු දෙකක් ගාමන්ට් ගියා. ඒකේ මම පාන්දර 2 වගේ වෙනකම් වැඩ කරනවා. එච්චර වැඩ කළත් මාසේ අන්තිමට ලැබෙන්නේ රුපියල් 45,000යි. ඒ පඩියෙන් ජීවිතේ ගොඩනඟා ගන්න අමාරුයි.. ඒ අතරේ තමයි අම්මත් අසනීප වුණේ. ඉතින් අම්මවත් බලාගෙන කරන්න පුළුවන් ජොබ් එකක් හොය හොයා ඉද්දී මට ඒජී ඔෆිස් එකෙන් කිවුවා ස්වයං රැකියා සම්බන්ධ වැඩසටහනක් තියෙනවා පුළුවන් නම් ඇවිත් සහභාගී වෙන්න කියලා. ඒකෙන් අපිට ලොකු දැනුමක් ලැබුණා. මම ඇඳුම් මහනවා කියලා හිතාගෙන මහන මැෂින් දෙකකුත් ගත්තා. ඔහොම ඉද්දි එයාලගෙම තව වැඩමුළුවක් තිබුණා. ඒකෙදී එක එක්කෙනාගෙන් ඇහුවා මොන මොනවද කරන්නේ කියලා. අහන අහන හැම කෙනාම කියන්නේ මහනවා කියලා. එතැන කවුරුත් කෑම සම්බන්ධ ව්‍යාපාර කරන අය හිටියේ නැති නිසා මම හිතුවා මම වටල්ලපන් හදන්න දන්න නිසා ඒකෙන් මේ වැඩේ පටන් ගන්න ඕනේ කියලා. ඉතින් අද වෙද්දි මේ ව්‍යාපාරය පටන් අරගෙන මාස තුනයි. අද වෙද්දී ලංකාවේ ඕනෙ තැනකට ඩිලිවර් කරනවා. මගේ අම්මත් බලාගෙන මගේ වියදමුත් බලාගෙන, ගෙවල් කුලී ගෙවාගෙන අක්කටත් උදවු කරගෙන මේ හැමදේම කරගන්නේ මේකෙන්.

 

ෆාතිමා ව්‍යවසායිකාවක් විතරක්ම නෙවෙයි නේද?

 

මම ලියන්නියක් කිවුවොත් හරි. මම 2016 දී තමයි කුවේට් ගියේ. පළමුවෙනි පාර මම අවුරුදු 5ක් හිටියා. මම එහේ සේවය කරන ගමන් ලංකා පත්තරේට ලිපියක් ලිව්වා මගේ දින පොත කියලා. මගේ ෆේස්බුක් එකටත් මම නිතර නිතර ලිව්වා. ඒ ලියවිල්ල ගොඩක් අය හරි වෙනස් විදිහකට දැක්කා. මුස්ලිම් ගැහැනු ළමයෙක් ලස්සනට සිංහල භාෂාව හසුරවන නිසා මට පොඩි තැනක් ලැබුණා. මම ෆේස්බුක් එකේ ඉන්නේ ලේඛිකාවක් විදිහට. සෝෂල් මීඩියා කියන්නේ මගේ ජීවිතේ වෙනස් කරපු තැනක්. ඊට පස්සේ තමයි Watalappan by Safa කියන page පටන් ගත්තේ. ඒ පේජ් එක පටන් අරගෙන නම් මාස තුනක් වගේ තාම.

කුවේට් ඉද්දි මම සෑහෙන ලිව්වා. මම එහෙදි පොත් 8ක් විතර ලිව්වා. මාලතී කියන්නේ මගේ ජීවිත කතාව. මාලතී කියන නමෙන් තමයි සෝෂල් මීඩියාවල මාව ගොඩක් හඳුනන්නේ. සැබෑ මුස්ලිම් කාන්තාවකගේ ජීවිත කතාවක් ඒක. මට වුණ හිරිහැර, තාඩන පීඩන ඒ හැම දෙයක්ම මේ පොතේ තියෙනවා. ලේ වලින් පළි ගත් ඇය, මාලතී, නිරුවත පෙන්නු ඇය, නොහඳුනන ආදරය, වෙඩි වැදුණු සලබයෝ, චිත්‍ර අඳින්නා සහ මර්ඩර් කියන්නේ මම ලියපු පොත්. මම සමාජයට ආවේ ලියන්නියක් විදිහට. ඉතින් මම ලියන එක කවදාවත් අත්හරින්නේ නැහැ.

 

අවුරුදු ගණනාවක් රට රස්සාවල් කරපු ෆාතිමා ඇයි මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න හිතුවේ?

මැද පෙරදිග රැකියාවකට ගියාම අපිට කන්න බොන්න දෙනවා. ඉඳුම් - හිටුම් දෙනවා. ඇඳුම් - පැලඳුම් දෙනවා. හැබැයි අපිට නිදහසක් නැහැ. අපි ඒ අවුරුදු ගාණට වෙන කෙනෙක්ගේ රූකඩයක් බවට පත් වෙලයි ඉන්නේ. එහෙම දුක් මහන්සියෙන් හම්බ කරගන්න සල්ලි ටික අරගෙන ලංකාවට ආවම මාස දෙක තුනෙන් ඒ සල්ලි ඉවරයි. නිකරුණේ ඔහේ වියදම් කරලා. නිසා සල්ලි මොකක් හරි දේකට යොදවන්න.

මම හම්බ කරපු හැම සතේම හස්බන්ඩ්ට දුන්නා රට යවන්න ඕනේ නිසා. ණය තුරුස් ටික ගෙවාගන්න ඕනේ නිසා ගාමන්ට් ගියා. අන්තිමට මට තේරුණා මේක නෙවෙයි ජීවිතේ කියලා. ඕනෙම කෙනෙක්ට සැඟවුණු හැකියාවක් තියෙනවා. මම මගේ හැකියාව හෙව්වා.

 

මැදපෙරදිග ජීවිතය ගැන දැනෙන්නේ කොහොම ද?

 

මැදපෙරදිග ගෘහ සේවයට යන ඕනෑම කෙනෙක්ගේ ජීවිතය සුන්දර නැහැ. මම දෙවැනි පාර ගියාම ළමයි 8 දෙනෙක් බලාගෙන ලොකු පීඩනයකින් හිටියේ. හැබැයි මැදපෙරදිග ගෘහ සේවයට යන ඕනෙම ගැහැනියෙක් හරි ශක්තිමත්. ඒ වගේම ඉවසිලිමත්. ඒ ජීවිතයට හැඩගැහීමම ලොකු දෙයක්. හරියට ඒ ගැහැනිය මැජික් එකක් වගේ. ඕනෙම දේකට මුහුණ දෙන්න ඒ අයට ශක්තිය තියෙනවා. හැබැයි ඒ පීඩනය මැද ගෙවන ජීවිතයෙන් අන්තිමට තේරුමක් නැති වෙනවා. ලංකාවට ඇවිල්ලා. සල්ලි ඉවර වුණාම ආයෙත් කරන්නේ ඒකමයි. එහෙම බලද්දී තමන්ගේ දෙයක් කරගන්න තියෙනවා නම් ඒක ඇත්තටම හැම පැත්තෙන්ම සහනයක්. හැබැයි කරන දේ හරියට කරන්න ඕනේ.

 

දුක් කම්කටොටලු මැද ලොකු ගමනක් ආපු ෆාතිමාට අද මොකද හිතෙන්නේ?

 

මහත්තයත් එහේ ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඉතින් මම එයාට කොයිම වෙලාවකවත් කරදර කරන්නේ නැහැ. මම එයාට කියන්නේ එයාගේ ප්‍රශ්න ටික විසඳගෙන ඉන්න. මට මෙහෙ දේවල් බලාගන්න පුළුවන් කියලා.

සෑහෙන ප්‍රශ්න ගොඩක් මැද්දේ මම මේ ජීවිතය ගත කරගෙන ආවේ. කාගෙන්වත් උදවු නැතුව. ඉතින් මම තනි ගැහැනියක් විදිහට මේ ආපු ගමන ගැන මට ලොකු සතුටක් තියෙනවා.

 

 

[email protected]