වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
පරතරය දැනගෙන රෝස වවන්න

නෙත සිත කුල්මත් කරනා රෝස වගාවක සුන්දරත්වය අත්විඳින්නට නම් ඔබේ වගාව වඩාත් සරුසාර විය යුතුමයි. ඒ සඳහා පොහොර, වගා මාධ්‍යය සේම නිවැරදිව පැළ සිටුවීමත් ඉතා වැදගත්.
සාමාන්‍යයෙන් පාත්තියක හෝ ගෙවත්තේ කොතැනක හෝ ඔබ රෝස වගා කළද පැළ අතර නිසි පරතරයක් තබාගන්නට වගබලා ගත යුතුය. එහිදී අඩි 03ක් හෝ 04ක පරතරය තැබිය යුතු අතර, උසට වැඩෙන වැල් රෝස ශාක සඳහා අවම වශයෙන් අඩි 07ක පරතරයක් තබාගන්න.
බඳුන්ගත පැළ සිටුවීම
බඳුනක රෝස පැළ සිටුවීමේදී ඔබ තෝරාගන්නා බඳුන සේම වගා මාධ්‍යය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු වේ. මන්ද මේ සඳහා කුඩා බඳුන්වලට වඩා තරමක් විශාල ප්‍රමාණයේ බඳුන් තෝරාගන්න.
පළමුව ඔබ වගා මාධ්‍යය සකසා බඳුනෙහි 3/4ක් වන්නට එය පුරවා ගත යුතු අතර, අනතුරුව රෝස පැළය සිටුවා ගන්න. (වගා මිශ්‍රණය සැකසීම පිළිබඳ පසුගිය සතියක අප සඳහන් කළා ඔබට මතක ඇති. පැළ සිටුවා මුල් දින දහය තුළ සෙවණ සහිත ස්ථානයක බඳුන් තැබිය යුතු අතර, ඒ කාලයේ සුළු ප්‍රමාණයකින් ජලය ලබාදෙන්න. එමෙන්ම අලුත් පැළයක් සිටුවා ගැනීමේදී බැක්ටීරියා නාශකයක් සුළු වශයෙන් යෙදීම වඩාත් යෝග්‍ය වේ.
ඔබ අතු කැබැලි සිටුවන්නේ නම්, ඒ සඳහා සුදුසු වන්නේ පහසුවෙන් වගා කළ හැකි රෝස වර්ගයන්ය. මෙහිදී මවු ශාකයෙන් කපාගන්නා අඟල් 09ක පමණ වූ රෝස අතු කැබැල්ල ජලය සහිත බඳුනක බහා තබා පසුව අඟල් 08ක පරතරයක් සිටින සේ තවානක හෝ තවාන් බඳුනක සිටුවා ගන්න. මෙහිදී දඬු කැබැලිවලට අවශ්‍ය උත්තේජනය ලබා ගැනීමට වර්ධක හෝමෝනයක් භාවිත කළ හැකි නම් එය වඩාත් සුදුසුය. අවම වශයෙන් සති දෙකක් වැනි කාලයකදී මේ අතු කැබැලි මුල් ඇදීම සිදුවන අතර, එය අලුත් ශාකයක් ලෙසින් බඳුනක සිටුවා ගන්න.
මෙලෙස පැළ සිටුවා මාස හයක් ගත වන තුරු එම පැළවලින් හටගන්නා පැළ ගලවා ගැනීම නොකළ යුත්්තකි.
උපදෙස් -
කෘෂි විද්‍යාඥ, කථිකාචාර්ය
ඩබ්.යූ.එල්. අඹගස්පිටිය