වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
කටුක මහපොළොවේ කටු අග පිපුණු පතොක් මල උදාරී

එයත් හරියට පතොක් මලක් වගේ. එයාට හැමෝම කිව්වේ එහෙම. මොකද ඉඩෝරය වගේම වසන්තයත් එක ලෙස දරාගන්න පුළුවන් පුදුම හැකියාවක් එයාට තිබුණා. මොන බාධක ආවත් තියපු අඩිය පස්සට ගන්න ඇය නිකමටවත් හිතුවේ නැහැ. ඒ වගේ කටුක බාධක පසුකරගෙන වසන්තයට අතවනමින් ඉදිරියටම ගිය ඈ අද වසන්තයේ දොරකඩටම ඇවිත්. ඉතින් ඇය කටුක මහපොළවේ පිපුණු පතොක් මලක්. මේ පතොක් මලෙන් ජීවිතය දිනූ ඇගේ කතාවයි.
මම උදාරී තෙන්නකෝන්. ගෙවල් වැලිමඩ උඩහමුල්ල. අප්පච්චි කළේ ගොවිතැන්. ඉතින් හරි හමන් ආර්ථික තත්ත්වයක් තිබුණේ නැහැ අපිට. එදා වේල හොයාගත්තේ හරි අමාරුවෙන්. තාත්තා අපිව ජීවත් කරවන්න විඳින දුක මම දැක්කා. මට ඕෙන වුණේ තාත්තට උදව්වක් වෙන්න කීයක් හරි හොයා ගන්න. ඉතින් පතොක් මල් ව්‍යාපාරය පටන් ගත්තේ ගෙදර ආර්ථිකයට සහනයක් වෙයි කියලා හිතලා. අද වෙද්දි මේ ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමෙන් මට මුළු පවුලම බලාගන්න පුළුවන්.
පතොක් මල් ව්‍යාපාරය ගැන අදහස ආවේ කොහොම ද?
දවසක් මගේ යාළුවෙක් මට ෆොටෝ වගයක් පෙන්නලා කිව්වා මේ වගේ පතොක් මල් පෝච්චි ගන්න තියෙන තැනක් දන්නවද කියලා. ඒකෙ තිබුණේ ලස්සන සිමෙන්ති පෝච්චිවල හදපු පතොක් පැළ. මම කිව්වා ඊළඟ සතියේ මම මෙහෙම එකක් හදලා දෙන්නම් කියලා. නමුත් මට ඒ ගැන ලොකු දැනුමක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම යූ ටියුබ් එකෙන් ඒ වගේ පෝච්චි හදන වීඩියෝ බැලුවා. ඊට පස්සේ මම සිමෙන්ති කිලෝ එකක් ගෙනාවා. හැබැයි මට ඒ පෝච්චි හදන්න අච්චු තිබුණේ නැහැ. ඊට පස්සේ මම ප්ලාස්ටික් බෝතල් කපලා ඒකට සිමෙන්ති දාලා දවසක් දෙකක් තිබ්බා. ඊට පස්සේ ඒක සෙට් වුණාට පස්සේ ගලවලා බලනකොට පෝච්චියක හැඩයට ඇවිත් තිබුණා. ඒ තමයි මේ ව්‍යාපාරයේ පටන් ගැන්ම.
ඊළඟ පියවර තැබුවේ කොහොම ද?
මම ඒ විදිහට හදපු පෝච්චිය පේන්ට් කරලා ෆිනිෂ් කරලා ගත්තාම තරමක ලස්සනක් ආවා. ඊට පස්සේ මම 'පතොක් මල්' කියලා ෆේස්බුක් පේජ් එකක් හදලා පෝස්ට් එකක් දැම්මා අර මම හදපු පෝච්චියේ. ලොකු බලාපොරොත්තුවකින් නෙවෙයි මම ඒක දැම්මේ. මොකක්ම හරි දෙයක් වෙයිනේ කියලා හිතාගෙන තමයි දැම්මේ. ඒ පෝස්ට් එකට ගොඩක් අය කමෙන්ට් කරලා හොඳ කියලා තිබුණා. ඒ හරහා තමයි මගේ ව්‍යාපාරයට යම් තරමක හරි ජනප්‍රියත්වයක් ලැබුණේ.
මේ ෆේස්බුක් පේජ් එක ව්‍යාපාරික පේජ් එකක් විතරක්ම නෙවෙයි නේද?
මම මගෙ ෆේස් බුක් පේජ් එකේ කැප්ෂන් දාන්නේ කවියකින්. ඒ කවි කියවන්න තියෙන ආසාව නිසාමයි ගොඩක් අය මගේ ෆේස්බුක් පේජ් එකට එකතු වුණේ. ඉතින් ඒ කවිවලට ආස අය ඒ පෝස්ට් ශෙයා කරපු නිසයි මට හැම තැනින්ම ඕඩර්ස් ලැබෙන්න ගත්තේ. කවියෙන් ගොඩගිය ව්‍යාපාරයක් කියලත් ඉතින් කියන්න පුළුවන්. දැන් විදෙස් රටවලිනුත් ඕඩර් ලැබෙනවා. ඉතින් ඉදිරියේදී ජාත්‍යන්තර වෙළෙඳපොළටත් මගේ මේ ව්‍යාපාරය හඳුන්වාදෙන්න බලාපොරොත්තු වෙනවා.
එදා ප්ලාස්ටික් බෝතලෙන් හදපු පෝච්චිය අද මේ තත්ත්වයට ගේන්න කැප වුණු කැපවීම ගැන කතා කළොත්...
ප්ලාස්ටික් බෝතලෙන් හදපු පෝච්චියකට මේ තරම් ඉල්ලුමක් තියෙනවනම් හරි ප්‍රමිතියට හැදුවොත් මොනතරම් ඉල්ලුමක් තියෙයිද කියලා මං හිතන්න ගත්තා. ඉතින් මට හිතුණා අච්චුවක් අරගෙන මේක හරි විදිහට හදලා බලන්න ඕනේ කියලා. හැබැයි ඒක කරන්න මගේ ළඟ සල්ලි තිබුණේ නැහැ. අප්පච්චි මට රුපියල් 2000ක් දීලා කිව්වා මේකෙන් මොනවා හරි කරගන්න කියලා. ඒ සල්ලිවලින් මෝල්ඩ් එකක් අරගෙන මම මේ ව්‍යාපාරය හරි විදිහට පටන් ගත්තා.
මෝල්ඩ් එකක් ගෙනාවත් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න වුණා. මොකද මුලින් හදපු ගොඩක් පෝච්චි කැඩෙන්න ගත්තා. ඊට පස්සේ යූටියුබ් එක බලලා අච්චුවෙන් පෝච්චි හදන හැටිත් ඉගෙන ගත්තා.
ඊට පස්සේ ලොකු ඕඩර්ස් ලොකු ප්‍රමාණයක් මට ලැබුණා. ඒ ලැබෙන ආදායමෙන් ටික ටික එකතු කරලා තව මෝල්ඩ් එකක් ගත්තා. ඒ විදිහට මට මෝල්ඩ් කිහිපයක්ම ගන්න පුළුවන් වුණා. මේ වෙනකොට එක එක හැඩවලින් අච්චු 50කට ආසන්න ප්‍රමාණයක් මං ළඟ තියෙනවා.
එතකොට පතොක් පැළ ලබා ගන්නේ කොහොම ද?
මම මුලින්ම එක එක වර්ගයේ පතොක් පැළ 10ක් විතර මිලට ගත්තා. ඊට පස්සේ මම ටික ටික පැළ බෝ කර ගත්තා. පතොක් පැළ මීට වඩා වැඩි ප්‍රමාණයක් බෝකරගෙන පතොක් පැළ වෙනමම අලෙවි කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
ඔබ කලක් ඉංග්‍රීසි ගුරුවරියක්..
මම කුඩා කාලයේ ඉඳලම මුල්තැන දුන්නේ අධ්‍යාපනයට. වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ මම ඉංග්‍රීසි ඩිප්ලෝමා දෙකක් කරලා පොඩි දරුවන්ට පන්ති පවත්වන ගමන් හිටියේ. හැබැයි මුල ඉඳලම මට තිබුණේ මගේම දෙයක් කරලා මුදල් උපයාගැනීමේ ආසාවක්. ඒ ආසාව නිසාම සල්ලි හොයන්න පුළුවන් පුංචි පුංචි දේවල් මම කළා. මුලින්ම මම උපන් දින සුබ පැතුම්පත් හැදුවා. ඊට පස්සේ විශේෂ අවස්ථාවලට තෑගි දෙන්න චොකලට් ගිෆ්ට් බොක්ස් හැදුවා. ඒකෙන් මම ලොකු ලාභයක් ලැබුවා. කොවිඩ් ආවත් එක්කම චොකලට්වල මිල ගණන් වැඩි වුණා. ඒත් එක්කම මම ඒ කරගෙන ආපු දේ නැවතුණා. ඊට පස්සේ මම කේක් හදන්න ගත්තා. කාලයක් මම යූටියුබ් ළමා කතන්දර වැඩසටහන්වලට කාටූන් හඬ කැවීමත් කළා. ඒ විදිහට සල්ලි හොයන්න මම නොයෙකුත් දේවල් කළා.
ගෙදර අයගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?
ඒ දවස්වල අම්මලත් කැමති වුණේ නැහැ මම මෙහෙම දෙයක් කරනවට. මේ වැඩේ හරි යයි කියලා අම්මලට විශ්වාසයක් තිබුණෙ නැති එකයි ප්‍රධාන හේතුව වුණේ.
පස්සේ ගෙදර අය තේරුම් ගත්තා මට දෙයක් කරන්න පුළුවන් කියලා. දැන් මම විවාහකයි. ඒ හැමෝම මට උදවු කරනවා. මගේ අප්පච්චි ටී. එම්. සිසිර කුමාර. අම්මා කුසුමලතා රත්නායක. සැමියා චතුරංග දෙලුම්ගහවත්ත. එයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට වෙනමම ගමනක් යනවා. හැබැයි මගෙ ෆේස්බුක් පේජ් එකේ නිර්මාණාත්මක කටයුතු සියල්ල කරන්නේ ඔහු.
සිමෙන්ති කිලෝවකින් පටන් ගත්ත මේ ව්‍යාපාරය අද තියෙන තැන ගැන මොකද හිතෙන්නේ..?
වෙඩින් එකට එන ආරාධිත අමුත්තන්ට සිහිවටනයක් විදිහට මේ විදිහේ ලස්සන පෝච්චියක හිටවපු පතොක් පැළ දෙන්නත් වෙනම රැල්ලක් ආවනේ. ඉතින් ඒ විදිහේ වෙඩින් ඕඩර් එකක් කරන්න ලොකු ආසාවකුත් තිබුණා. කොහොම හරි ගිය අවුරුද්දේ වෙඩින් ඕඩර්ස් එක දිගට තුන හතරක්ම මට ලැබුණා. ඒකෙන් මම ලොකු ලාභයක් ලබනවා. මම මේ ව්‍යාපාරය අමාරුවෙන් අල්ලගෙන හිටියේ. අද ඒ ගැන හිතද්දි මට ලොකු සතුටක් දැනෙනවා. ඒ විදිහට අල්ලගෙන හිටපු නිසානේ අද මේ ව්‍යාපාරය මේ තැන තියෙන්නේ.
ව්‍යාපාරය පැත්තෙන් ඉදිරි සැලසුම් ගැන කතා කළොත්?
පතොක් මල් ඇසුරුම් කිරීමේ ලොකු ගැටලු තියෙනවා. මුලදී යවපු ගොඩක් ඒවා කස්ටමර් අතට ලැබෙද්දි ඒ පෝච්චි කැඩිලා. එතකොට මං අතින් පාඩු කරගෙන නැවත ඒ විදිහේ පතොක් පෝච්චියක් හදලා යවනවා. හැබැයි දැන් ඩැමේජ් නොවෙන විදිහට පැක් කරලා මම යවනවා. ඊළඟ ප්‍රශ්නය අච්චු. වෙඩින් ඕඩර්ස් එද්දි එයාලා එකපාර 250 - 300ක් වගේ ප්‍රමාණයක් ඉල්ලනවා. අපි ගාව අච්චු ඒ තරමට නැති නිසා මාස තුනක් විතර යනවා හදන්න. ඒක කිවුවම ගොඩක් ඕඩර්ස් කැන්සල් වෙනවා. ඒ නිසා සිලිකන්වලින් ඒ අවශ්‍ය අච්චු හදන්න මම ඉගෙන ගනිමින් ඉන්නේ. ව්‍යාපාරය මම ගෙදරමයි කරගෙන යන්නේ. ශ්‍රී ලංකාවේ හැම පළාතකින්ම වගේ මට ඇණවුම් ලැබෙනවා. ඊට අමතරව ළඟපාත අය නිවෙසට ඇවිල්ලත් මිලදී ගන්නවා. ඉතින් දවසක වෙනමම තැනක මේ ව්‍යාපාරය කරගෙන යන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
තොරතුරු සහ ඡායාරූප - වැලිමඩ කේ.ආර්.ආර්. රාජමන්ත්‍රී