විසික් කරන කෙසෙල් කොළෙන් සල්ලි කොළ මවන මැෂිමක් හදා ගමු

අප්‍රේල් 3, 2023

නිර්මාණශීලී ගෘහණියකට විසි කරන ලූනු පොත්ත පවා ප්‍රයෝජනවත් සම්පතකි. ආදරණීය ගෘහණියක් ලෙස ඔබේ නිර්මාණශීලී පරිකල්පනය මෙලෙස තරමක් වෙනස් ආකාරයකට යොදා ගත්තොත් ජීවිතයේ ඕනෑම අභියෝගයක් ජය ගැනීම අසීරු නැහැ. ඇත්තටම මේ කාලයේ අප මුහුණ දී තිබෙන මේ අසීරු ආර්ථික අභියෝගය ජය ගන්න සෑම කෙනෙක්ම උත්සාහ කරනවා. නමුත් ඒ උත්සාහය යථාර්ථයක් කර ගන්නේ ඉතාම අතළොස්සක් විතරයි. සමහරුන්ට ඉතාම නිර්මාණශීලී, සාර්ථක, වටිනා අදහස් පහළ වෙනවා. මේ සිතුවිලි අවදිකර ප්‍රයෝජනයට ගැනීමෙන් ජීවිතය ජය ගන්නා ඔබට අලුත් අදහස් හරිම වටිනවා.

 

අප තරුණී පුවත්පත ලබා දෙන මේ නිර්මාණශීලි අදහස් යථාර්ථයක් කර ගත්තු සිය දහස් සංඛ්‍යාත පිරිසක් රට පුරා විසිරී පැතිරී සිටිනවා. මේ සෑම සාර්ථක තරුණියක්ම පසුපස පසුබිමක් තිබෙනවා. ඒ තමයි ඔවුන්ගේ උත්සාහය හා කැපවීම. ඔබේ උත්සාහයට හා කැපවීමට අගයක් එක් කරන්න පුළුවන් තවත් වටිනා ස්වයං රැකියාවක් තමයි අප මෙවර ඔබට තිළිණ කරන්නේ.

මෙය ව්‍යාපාරයක් පමණක්

නොවෙයි. කඩදාසි, පත්තර, හිඟ මේ කාලේ හොඳ ඉතිරියක් වගේම ප්ලාස්ටික් සඳහා සාර්ථක විකල්පයකි.

ඒ වගේම අවුරුදු කාලේ කඩදාසි වෙනුවට දේශීය දේ අගයන අපේම කලාවකට මුල පුරන්න වටිනා ප්‍රවේශයකි.

 

සාමාන්‍යෙයන් අපේ ආහාර ඇසුරුමට කෙසෙල් කොළ යොදා ගත්තේ අනාදිමත් කාලයක පටන්ය. මෙලෙසින් ඔබ කෑම නැතිනම් බත් එතීමට ගන්නා කෙසෙල් කොළය නිර්මාණශීලී ලෙස සකස් කර ගත් විට එය හොඳ ව්‍යාපාරයක්. ඒ වගේම ඔබට අමතර ආදායම් මුදලක් උපයා ගන්න පුළුවන් සරල ක්‍රමයක්.

 

කෙසෙල් කොළ පිඟන් නිර්මාණය කියන්නේ දැන් ඉතාම ජනප්‍රිය ව්‍යාපාරයක්. මේ සඳහා ඕනෑම වර්ගයක කෙසෙල් කොළ යොදා ගන්න පුළුවන්. ඒ වගේම ඉඳුන, අමු, වියළි සෑම පත්‍රයක්ම ප්‍රයෝජනයට ගන්නත් හැකියාව තිබෙනවා. මෙලෙස ඉවත දමන කෙසෙල් කොළ භාවිතා කර පිඟන් සාදන ආකාරය පිළිබඳ අපි පියවරෙන් පියවර විමසා බලමු.

 

*මුලින්ම ඔබට සොයාගත හැකි තරම් ප්‍රමාණයක් කෙසෙල් කොළ එකතුකර ගන්න.

*එලෙස එකතු කරගත් කොළ හොඳින් සෝදා පිරිසුදු කර මද පවනේ වේළා ගන්න.

*දැන් මෙලෙස පිරිසුදු කරගත් කොළ මේසයක් මත තබා ඒ මත පිඟානක් තබා එම පිඟානේ රවුම් හැඩය මැකී නොයන පෑනකින් සලකුණු කර ගන්න. මෙලෙස ඔබට විශාල කොළයක පිඟානේ හැඩයට රවුම් 5,6 ප්‍රමාණයක් සලකුණු කර ගැනීමට හැකියාව ලැබේවි.

*මෙලෙස සලකුණු කරගත් කෙසෙල් කොළවල රවුම් හැඩය කතුරකින් කපා ගන්න.

*මෙසේ කපාගත් රවුම් හැඩැති කෙසෙල් කොළ පදම්කර ගැනීම ඊළඟ පියවරයි.

*ඒ සඳහා පදම්කරන ක්‍රම දෙකක් පවතී. ඉන් එක් ක්‍රමයක් වන්නේ නටන උණු ජලයේ මිනිත්තු කිහිපයක් තබා ඉවතට ගැනීමයි. දෙවන ක්‍රමය වන්නේ නටන උණු ජලය භාජනයක් ගෙන ඒ මත රෙදි කඩක් කට වටා බැඳ ඒ මත කෙසෙල් කොළ තබා පිට්ටු, ඉදිආප්ප තම්බා ගන්නා ආකාරයට මිනිත්තු කිහිපයක් තම්බා ගැනීමයි.

*මේ ආකාරයට පදම් කරගත් කොළ දෙවනුව මඳ පවනේ වියළා ගන්න. ඒ සඳහා වැලක් බැඳ රෙදි වියළා ගන්නා ආකාරයට රෙදි වියළන ක්ලිප් ගසා වියළා ගැනීම වඩාත් පහසුය.

*මෙලෙස වියළා ගත් කොළ මත සව් ද්‍ාවණයක් ගෙන එම ද්‍රාවණය කොළමත පින්සලකින් තවරා කෙසෙල් කොළ රවුම් කිහිපයක් එකට අලවා ගන්න.

*මෙලෙස අලවා ගත් පිඟන් එක මත එක තබා ඇල්මිනියම් පිඟන් මත තබා හොඳින් තදවන ලෙස රඳවාගෙන නැවත වරක් මඳ රස්නය ඇති හුමාලයේ හෝ අව්වේ වියළා ගන්න. මෙලෙස වියළා ගත් විට ලස්සන පිඟානක හැඩය ඇති කෙසෙල් කොළ පිඟානක් නිර්මාණය වී ඇති අයුරු දැක ගැනීමට ලැබේවි.

*මෙලෙස වියළා සකස් කරගත් කෙසෙල් කොළ පිඟන් අලෙවි කිරීමට හෝ ඔබගේ නිවෙසේ ප්‍රයෝජනයට ගන්නා තෙක් ශීතකරණයක අසුරා තබන්න.

 

මෙලෙසින් සකස් කරගත් කෙසෙල් කොළ පිඟානක් දැන් වෙළෙඳපොළේ රුපියල් 5ක් වැනි මුදලකට අලෙවිකර ගැනීමට හැකියාව ඇති අතර ඊට වඩා වැඩි මුදලකට අලෙවි කළ හැකි හෝටලයක් හෝ බත් විකුණන ව්‍යාපාරයක් සොයා ගත් විට අඛණ්ඩව මෙලෙස ඔබ සකස් කර ගන්නා කෙසෙල් කොළ පිඟන් අලෙවි කර ගැනීම අපහසු නොවනු ඇත. නැතිනම් ඔබේම ව්‍යාපාරයක් සඳහා ආහාර ඇසුරුම්කර විකිණීමට ද මෙය ප්‍රයෝජනවත් වේවි.

 

මෙලෙසින් කෙසෙල් කොළ පිඟන් සෑදීම පරිසර හිතකාමී ව්‍යාපාරයක් සේම ප්ලාස්ටික් භාවිතයෙන් ඈත් වී වස විසෙන් තොර අපගේම දේ අගයන ව්‍යාපාරයක් සඳහා හොඳම අවස්ථාවකි. එසේම මෙලෙස සාදන කෙසෙල් කොළ සඳහා වියළි, ඉඳුන, අමු කොළ මිශ්‍රකර යොදාගත්විට ඉතාම අලංකාර පිඟන් හා ඇසුරුම් නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීමට ද ඔබට අවස්ථාව උදා වේවි.

වැඩි විස්තර සඳහා විමසන්න 0112429592