පූසයි-මීයයි බිත්තිය සරසයි

ජූලි 24, 2023

 

කාන්තාවන් වැඩිපුරම කාලය ගෙවන්නේ මුළුතැන්ගෙයි නිසා තමන්ගේ රසවත් කෑම හදන ස්ථානය පිළිවෙළට පිරිසුදුවට ලස්සනට තියාගන්න හැමෝම කැමතියි.

මේ නිර්මාණය ඒ ඔයාල වෙනුවෙන්මයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය:-

ගෝණි නූල් පන්දු (වර්ණ දෙකකින්)

පතරොම් කපා ගැනීමට කාඩ්බෝඩ්

අඩියක් පමණ දිග බයින්ඩින් කම්බියක්

කතුර

මල්ටිෙබාන් ගම් සහ බයින්ඩර් ගම්

ගම් තැවරීමට පින්සලක්

කම්බිකොකු 4ක්

කෘත්‍රිම ඇස් 4ක් සහ ත්‍රිකෝණාකාර කළු පබළු 2ක්

ටිෂූ රෝලක්

අඟල් 3 ප්‍රමාණයේ පතුල රවුම් හැඩැති බඳුනක්

අඟල් 7×7 ප්‍රමාණයේ ගෝණි රෙදි කැබැල්ලක්

 

පූසා සාදන ආකාරය :

රූපයේ දැක්වෙන පතරොම් පරිදි පූසාගෙ හිස, ඇඟ, වලිගය නිවැරැදිව සලකුණුකර කාඩ්බෝඩ්වලින් කපාගන්න. එලෙසම පූසාගෙ කන සහ අත යන පතරොම්වලින් සමාන කොටස් දෙක බැගින් කපාගන්න.

 

ඉන්පසු අඟල් 3 ප්‍රමාණයේ පතුල රවුම් හැඩැති භාජනයක් ගෙන එහි පිටතට බයින්ඩර් ගම් ආධාරයෙන් ටිෂූ අලවා තරමක් ඝනකමින් යුතුව තට්ටු කිහිපයක් සිටින සේ එක උඩ එක අලවාගන්න. එය හොඳින් දවසක් වේළාගන්න. එම වේළාගත් කොටස්  භාජනයෙන් ඉවත්කර එය වටා පිටතින් ගෝණි නූල් ඔතන්න. මෙසේ ත්‍රිමාණ ලෙස සකසාගත් කොටස් 3ක් මෙම නිර්මාණය සඳහා අවශ්‍ය වේ. (මීයාගෙ ඇඟට හා පූසාගෙ මුවට)

 

අපි මුලින්ම කපාගත් කාඩ්බෝඩ් කැබලිවලට පින්සල ආධාරයෙන් මල්ටිෙබාන් ගම් ආලේපකර හරි මැද සිට පිටතට වෙනකම් ‍රූපයේ පරිදි ගෝණි නූල් වර්ණ දෙක භාවිතාකර ළං ළංව සිටින සේ වක්‍රාකාරව පිළිවෙළට අලවාගන්න. දැන් අලවා නිමකරගත් කොටස් ඇඟ, හිස, වලිගය, අත් 2 සහ කන් 2 නිවැරැදිව අවසන් නිර්මාණය පරිදි සකසා පූසා නිර්මාණය කරගන්න. ත්‍රිමාණ ලෙස සකසාගත් පූසාගේ මුවට අවශ්‍ය කොටස් දෙකත් අලවාගන්න. එයට ඉහළින් පූසාගෙ ඇස් සහ නාසය සේ ත්‍රිකෝණ හැඩැති පබළුව අලවාගන්න.

 

ඉන්පසු බයින්ඩින් කම්බිය ගෙන අඟල් 2 ප්‍රමාණයේ කොටස් 6ක් වන සේ කපා එයට ගෝණි නූල් ඔතාගන්න. පූසාගේ මුවේ දෙපසින් විහිදෙන කෙඳි සේ මේවා හොඳින් සමාන්තරව අලවාගන්න.

 

දැන් කම්බි කොකු සතර රූපයේ පරිදි පූසාගේ අත් දෙකෙහි හොඳින් සවිවන සේ අලවාගන්න.

 

මීයා සාදන ආකාරය 

 

ටිෂූ සහ ගම් භාවිතකර පතරොමේ ප්‍රමාණයට මීයාගෙ හිස  ඕවලාකාර හැඩයට සාදාගන්න. දැන් එයට ගෝණි නූල් ඔතන්න. මුලින් ත්‍රිමාණ ලෙස සකසාගත් මීයාගේ ඇඟ කොටසට මෙම හිස කොටස අලවාගන්න.

 

අඟල් 3 ප්‍රමාණයේ කම්බි කැබැල්ලක් ගෙන එය වටා ගෝණි නූල් ඔතා මීයාගෙ වලිගය හැඩයට සකසා අලවාගන්න.

 

අඟල් 7×7 ප්‍රමාණයේ ගෝණි රෙදි කැබැල්ල ගෙන පතරොම් ප්‍රමාණයට කන් කොටස් 2ක් කපාගන්න. එය අලවන විට රූපයේ පරිදි කන හැඩකර අලවාගන්න.

 

මීයාගේ මුහුණට ඇස් සහ නාසය අලවාගන්න. නාසය දෙපසට අඟලකින් යුතු ගෝණි නූල් කොටස් 6ක් කපා මුවේ කෙඳි සේ අලවාගන්න.

 

ඉතින් අද අපි අරන් ආවේ ඔයාටම තනියම හදාගන්න පුළුවන් ලස්සන බිත්ති සැරසිල්ලක්. මේකේ ඔයාට යතුරු, අත්පිස්නා, හැඳි වගේ දේවල් එල්ලන්න පාවිච්චි කරන්න පුළුවන්.

 

උපදෙස්:-

අත්කම් නිර්මාණ ශිල්පිනී

සුලෝචනා සෙව්වන්දි