මදුරු විකර්ශක හඳුන්කූරක් සාදා පවුලට හයියක් වුණු ගීතා

අගෝස්තු 14, 2023

ගීතා කරුණාසේකර.. ඇය ජීවිතයේ අභියෝග රැසකට මුහුණදුන් කාන්තාවකි. රජයේ හොඳ වැටුපක් ලැබෙන රැකියාවක් කළ ඇගේ සහ ඇයගේ සැමියා වූ ශාන්ත කරුණාසේකර දෙදෙනා හැමදාම සිහින මැවුවේ තමුන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටය. එහෙත් රාජකාරිය හා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසාම ඔවුන්ට එම සිහිනය සැබෑකර ගන්නට නොහැකිව බොහෝ කාලයක් ගත කිරීමට සිදු වූයේ ආර්ථික ප්‍රශ්න රැසක් මැදය. මේ ආර්ථික අභියෝග හා දුෂ්කරතා සියල්ල හමුවේ ගීතා ජීවිතයේ අභියෝගාත්මක තීරණයක් ගත්තේ තමා කළ රැකියාවට ස්වේච්ඡාවෙන් සමු දෙමිනි. රැකියාවෙන් සමු දුන් ඇය ජීවිතයේ ඊළඟ පියවර සඳහා අඩිතාලම දමන්නේ ‘විදාතා‘ මධ්‍යස්ථානයකින් හඳුන්කූරු නිෂ්පාදනය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබමිනි.

එලෙසින් ලැබූ පුහුණුව ගීතා ජීවිතයට ආශිර්වාදයක් බවට පරිවර්තනය කර ගන්නේ තම නිර්මාණාත්මක කුසලතාවයට තමුන් ලැබූ තාක්ෂණික දැනුම මුසුකර ගනිමිනි. ඇයට අවශ්‍ය වූයේ තමා ලැබූ දැනුමින් තවත් හඳුන්කූරක් නිෂ්පාදනය කිරීම පමණක්ම නොවේ. ඇය සිහින දැක්කේ සුවඳ හමන හඳුන්කූරෙන් නිවෙසට තවත් ප්‍රයෝජනයක් ගන්නටය. ගීතා ඒ සඳහා අන්තර්ජාලය හා පොත්පත්, විදේශීය වෙළෙඳ ව්‍යාපාර පිළිබඳ තොරතුරු බොහෝ රැස් කළාය. ඇය ලැබූ දැනුම හා නිර්මාණාත්මක කුසලතාවයට දේශීයත්වය මුසු කරමින් අලුත්ම වර්ගයේ හඳුන්කූරක් නිෂ්පාදනය කළාය. ඒ මදුරු විකර්ශක හඳුන්කූරකි.

මේ හඳුන්කූර නිෂ්පාදනය සඳහා ඇය යොදා ගත්තේ දේශීය ශාකසාරයන් පමණකි. මදුරුවන් විකර්ශනය කිරීමට දේශීය ශාකවලින් ලබා ගන්නා තෙල් වර්ගයක් නිෂ්පාදනය කළ ඇය කිසිම රසායනික අමුද්‍රව්‍යයක් නොමැතිව මෙම නිෂ්පාදනය වෙළෙඳපොළට හඳුන්වාදීමට හැකි වූයේ ‘නඳුන්’ මදුරු විකර්ශක හඳුන්කූරු ලෙසිනි.

පැය 2 ½ ක් පමණ දැල්වෙන මේ හඳුන්කූර සඳහා ඇය යොදා ගත් සුවඳ ඉතාම ආකර්ෂණීය එකකි. එසේම එයින් හුස්ම ගැනීමට ද කිසිම අපහසුවක් ඇති නොකරයි. මෙලෙසින් නිෂ්පාදනය කළ මේ හඳුන්කූර සඳහා ගීතා තම ආදරණීය පුතාගේ නම යොදා ගත්තේ අනාගතය පිළිබඳ මහත් බලාපොරොත්තු රැසක් මැදය.

නමුත් අනාගත බලාපොරොත්තු සියල්ල බිඳ වැටෙමින් හදිසියේම ඇයට ජීවිතයෙන් සමු දෙන්නට සිදු වූයේ වයස අවුරුදු 53ක් පමණ පසු කරන විටය. ගීතාගේ හදිසි වියෝව ඔහුගේ සැමියා, ආදරණීය පුතා සහ දුවට දරා ගත නොහැකි දුකක් විය. මහත් ධෛර්යයෙන් සහ වීර්යයෙන් ඇය ගොඩනඟා ගත් ව්‍යාපාරය ද බිඳ වැටුණේ සියලු ඇණවුම් නතර වෙමිනි. ජීවිතයේ අනියත බව පෙන්වමින් දැල්වූ පහන්කූරක් ලෙසින් නිවී ගිය දුක ඇයගේ සැමියාට මකා ගන්නට සෑහෙන කාලයක් ගත විය.

ගෙවී ගිය කාලය තුළ ශාන්ත කරුණාසේකර තමාව අහිමි වූ බිරිය ගැන ගැඹුරින් සිතන්නට විය. ඇය ආරම්භ කළ ව්‍යාපාරයට ද මිය යන්නට නොදී රැක ගැනීමට ඔහු අධිටන් කර ගත්තේ ඉන් පසුවය. ඔහු තම මිය ගිය බිරිය වෙනුවෙන් නැවතත් හඳුන්කූරු ව්‍යාපාරයට අත තැබීය. ඔහු ඇය ආරම්භ කළ ව්‍යාපාරය නිවී යන්නට ඉඩ නොතබා ඉදිරියට ගෙන යමින් දැන් වසර 10ක් ගත වී තිබේ. ප්‍රමිතියට අනුව කාර්මික තාක්ෂණ හා වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් නිර්දේශය ලබා ඇති නඳුන් හඳුන්කූරු වෙළෙඳපොළට එක් කරමින් සාර්ථක පියවරක් තබා තිබේ. ගීතා ආරම්භ කළ මේ ව්‍යාපාරයෙන් තවත් කිහිප දෙනකුට ද රැකියා අවස්ථා බිහි කරමින් මේ හඳුන්කූරු රට පුරා ඇති සුපිරි වෙළෙඳසැල් සහ කඩසාප්පුවලට අලෙවියට යොමු කර ඇත්තේ තම බිරියට කරන උපහාරයක් ලෙසිනි. ඇය ආරම්භ කළ මේ ව්‍යාපාරය තවත් ඉදිරියට තබමින් මදුරු විකර්ශක වේපරයිසරයක් හා මදුරු දඟරයක් නිෂ්පාදනය ඔහුගේ ඊළඟ ඉලක්කය වී තිබේ.