වියළි මලේ රටාවලින් ජීවිතයම පාට කරමු

සැප්තැම්බර් 11, 2023

මල්වලට ඇති ඉල්ලුමත් සමඟ එහි අලුත්ම ට්‍රෙන්ඩ් එක වී ඇත්තේ වියළි මල් කලාවයි.

හැමදාමත් ඔබට ළෙන්ගතු තරුණී වියළි මල් කලාව පිළිබඳ අද පටන් ඔබව දැනුවත් කරන්නෙමු. එහි නවමු පියවරක් ලෙසින් ලංකාවේ පළමුවරට වියළි මල් කලාව පිළිබඳ තරුණී youtube නාළිකාව ඔස්සේ ද දැන් ඔබට මේ පාඩම් මාලාව නැරඹිය හැකියි.

 

වියළි මල් කලාව ගැන කතා කරද්දී අපේ රටේ සහ ලෝකයේ මේ සඳහා හොඳ ආදායම් මාර්ග ගණනාවක්ම මේ වන විටත් බිහිවී ඇති බව කිව යුතුමයි. එබැවින් ඉහළ වෙළෙඳපොළක් ඇති මෙය ඔබටත් අතමිට සරු කරන ස්වයං රැකියාවක් බවට පත්කර ගත හැකියි.

මෙම වියළි මල් කලාව පිළිබඳ අප ඉගෙන ගත යුතු වන්නේ මල් වියළා ගැනීම, වර්ණ ගැන්වීම සහ කල් පවත්වා ගැනීම ආදිය පිළිබඳවයි.

 

මොකක්ද මේ වියළි මල් කලාව කියන්නේ?

වියළි මල් කලාව ලෙසින් හඳුන්වන්නේ අප අවට පරිසරයේ ඇති ස්වාභාවික මල් වර්ග වියළා නිර්මාණ බිහිකිරීමයි. ඒ ආශ්‍රිත ස්වාභාවික කොළ, ගෙඩි, අතු වියළා නිර්මාණ සඳහා එකතුකර ගැනීමෙන් නිර්මාණයට වටිනාකමක් ලැබේ. රෝස, කානේෂන්, බේබි ස්ප්‍රෙත්, එවර්ලාස්ටින් වැනි මල් වර්ග මේ සඳහා පහසුවෙන්ම ගත හැකියි. ඒ වගේම මාන වර්ග, පැම්පස් තුත්තිරි, ෆයිනස් ගෙඩි, නෙළුම් මල් කෙමිය, කොක්මොට සහ විවිධ ලස්සන මල්, අතු, කොළ, ගෙඩි ආදී නොයෙකුත් දෑ භාවිත කරන්නට පුළුවන්.

 

වියළා ගන්නා ක්‍රම

මල් වර්ග වියළා ගන්නා විට පොඩි කිනිති එකතු කර ගැට ගසා ගත හැකියි. හිරු එළිය නොවැටෙන ස්ථානයක මෙය ක්‍රමානුකූලව අසුරා තැබිය යුතුයි. මෙය darkroom ක්‍රමය ලෙස හඳුන්වයි. මල් වර්ග ගැටගසා උඩු අතට එල්ලෙන සේ වේළා ගත හැකියි. තවත් මල්,කොළ, ගෙඩි වර්ග තම්බා වියළා ගැනීමත් සිදුකර ගන්නට පුළුවන්. එසේම නවීන තාක්ෂණය භාවිත කරමින් කෙමිකල් යොදාගෙන ද වර්ණය වෙනස් කරගත හැකියි. දුර්ලභ ගණයේ වටිනා මල් වර්ග සිලිකන් ජෙල් භාවිතකර වියළා ගන්න පුළුවන්.

 

බලන්න අද අපි ඔබට වියළි මල් කලාව යොදා ගනිමින් සාදාගත් මල් බඳුනක් ගෙන ආවෙමු. ඒ සඳහා මුලින්ම වියළා ගත් කුමන හෝ මල්, කොළ ඉති වැනි අමුද්‍රව්‍යයක් කම්බිය මත රඳවා ගැනීම කළ යුතුයි. මේ සඳහා අවශ්‍ය කම්බි වෙ‍ෙළඳපොළෙන් ලබාගත හැකිය. එම කම්බිය කොටස් කිහිපයකට බෙදා ගන්න. තමන්ගෙ නිර්මාණශීලීත්වය උපයෝගී කරගනිමින් මල් සහ කොළ එහි රඳවා ගන්න. අවසානයට තමන්ට කැමති මල් බඳුනක බහාලන්න. අවශ්‍ය නම් මෙයට ගැළපෙන කෘත්‍රිම මල් කිහිපයක් ද අතරින් පතර රඳවාගත හැකියි. දැන් බලන්නකො මල් බඳුනේ ඇති අපූර්වත්වය.

 

ඡායාරූප - ශාන් රූපස්සර