ඉතුරු බිතුරු වියළි මලින් සැමට මිතුරු මල් බඳුනක්

ජනවාරි 15, 2024

‘ජීවිතේ රෝස මල් මාවතක් නොවේ.‘ කියලා කියමන ඔබ අහලා තියෙනවානේ. ඇත්තෙන්ම හැමෝටම ලැබිලා තියෙන ජීවිතය සුමට ලස්සන මාවතක් නම් නොවෙයි. ඔබට ලැබුණ මාවත සමහරවිට එළිපෙහෙළි කරගෙන යන්න වෙලා ඇති. ඒ නිසාම ඔයාගෙ ගමන හරිම හෙමින් යන ගමනක් විය හැකියි. කඩතොලු පිරුණු මාවතක ඔයාගෙ ගමන හරිම වෙහෙසයි නේද? ඒ මාවතේ ඔයාව පහු කරගෙන දිනුම් කණුවට ගිය අය හමුවෙලා තියෙනවා නේද?

මොනතරම් වෙහෙසකාරී වුණත් මේ විදිහට නොසැලී ඉන්නවා කියන්නෙම ඔබ ශක්තිමත් කෙනෙක්.

ඔබේ පවුල වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ඒ දේවල්වලින් තෘප්තිමත් වෙමින් ජීවත්වීමට අගය කළ යුත්තක්. අහක දාන වියළි මලින් ලක්ෂ ගණන් සල්ලි උපයන මාවත මේ විදිහට පෙන්වා දෙන්නෙත් ඔබේ ඒ හිතේ රැඳි අසීමිත ජවයම වෙනුවෙනුයි.

දන්නවාද? හෙට දවසේ අලුතින්ම ඉර පායන්නෙ ඔයාට. ඔයා වගේ උත්සාහවන්ත, ශක්තිමත් අයට.

දේශීය නිෂ්පාදනවලට නව අරුතක් එකතු කරමින් ඉවත දමන දඬු කැබැලි, වියළි මල්, බට ආදී විවිධ අමුද්‍රව්‍යවලින් සකසා ගත් සුන්දර මල් බඳුනකි මේ. මෙවැනි මල් සැකසුම් ඔබේ නිවෙසට, ව්‍යාපාර ස්ථානයට හිතවතුන්ට තිළිණ කරන්න කදිමයි. ඔබේම ස්වයං නිර්මාණයක් බැවින් ඔබට කැමැති පරිදි කපා කොටා හැඩකර එකතු කරගන්නත් පුළුවන්.

වියළි මලින් ජීවිතයම ලස්සන කරමු පාඩම් මාලාව ඔස්සේ අද පටන් අපූරුතම සැකසුම් කීපයක් ඔබට තිළිණ කරන්නට සූදානම්. මේ මඟ පෙන්වීමෙන් ඔබේ ජිවිතය මලක් මෙන් හැඩ කරගන්න අපි ආරාධනා කරන්නෙමු.

වියළි මල් කලාව පළමුව ගෙදර ඉතුරු බිතුරු අහකදාන දෙයින් පටන් ගනිමු.

විවේකී වෙලාවක වත්ත පහළට යන්න. බලන්න කොච්චර නම් ලී කෝටු ගස් යට වැටිලා තියෙනවාද? මේවා ටිකක් එකතුකර ගන්න.

කුස්සියේ දොරමුල්ලට අතුගාලා දාපු කාඩ්බෝඩ් කෑලිත් ඇති. එහෙ මෙහෙ වීසි කරපු බට ඕනෙ තරම්. ගෙදර බිඳී ගිය වළංවලින් දර මැස්සත් පිරිලා නේද? මුලින්ම ඔන්න ඔය ටික එකතුකර ගන්න.

ඉන්පසුව ඔබ තෝරාගත් කාඩ්බෝඩ් බටය ගෙන එය සිරස් අතට තබාගන්න. දැන් මැටි වළං ටික, පරණ කෝප්පයක් වැනි දෑ ඔබට හැකි පරිදි පිළිසකර කරගන්න. මල් බඳුන ලෙස ගන්නා බටය ඔබ කැමැති වර්ණයකින් වර්ණ ගන්වා ගන්න. එම වර්ණයට ගැළපෙන පරිදි වියළි මල් කොටස් වෙන්කර පසෙකින් තබා ගන්න. ඉන්පසුව පිළිවෙළකට ඩ්‍රයි ෆෝම් කැබැල්ලක් ගෙන අවශ්‍ය තැනට තබා අලවා ගන්න. දැන් කම්බි කීපයක් ගෙන කැමැති තැන්වල රඳවා ඒ මත මල් සැකසුම සිදු කරන්න. වියළි මල්, කොළ, අතු කැබැලි, ගෙඩි මෙලෙසින් රඳවා ගත හැකියි. මෙම සැරසිල්ල ඔබට කල් තබා ගැනීමට අවශ්‍ය නම් එයට වාර්නිෂ් ස්ප්‍රේ කරගත හැකියි.

මෙය ඕනෑම කෙනෙක්ට ඉතා පහසුවෙන් සුළු වේලාවකදී නිර්මාණයකර ගත හැකියි. අපි මෙවැනි සරල නිර්මාණයක් ඔබට මුලින්ම ගෙන ආවේ වියළි මල් නිර්මාණ කලාවට ඔබ අවතීර්ණකර ගැනීමේ අදිටනිනි. ඉදිරි සතියේදී මේ නිර්මාණ වඩාත් සූක්ෂමව සහ ක්‍රමවත්ව සිදුකරගන්නේ කෙසේ දැයි බලමු.

 

ඡායාරූප - ශාන් රූපස්සර

 

උපදෙස්:-

ධනංජය ෆ්ලෝරා අධිපති ප්‍රවීණ මල් සැකසුම් ශිල්පී

සමන් ජයලත්