වර්ණ සංකලනය නිවැරදිව දැනගනිමු

පෙබරවාරි 12, 2024

අලුත් බලාපොරොත්තුත් එක්ක පටන් ගත්තු මේ අවුරුද්දේ දවස් තිස් එකකුත් සතියකුත් ගෙවිල ගිහින්. ඉතින් මේ අවුරුද්දේ බලාපොරොත්තුවෙන් හිටපු ඔයාගේ වැඩ පටන් ගන්න පුළුවන් වුණාද? පටන් ගත්ත වැඩ සාර්ථක වුණාද?

මේ අවුරුද්ද ඔයාගේ ජීවිතේ වෙනස් කරන අවුරුද්දක් බවට පත් කරගන්න. තවම ඔයා පරක්කු නැහැ. ගෙවිලා ගියේ එක මාසයයි. ඔයාට තවත් මාස 11ක්ම ඉතුරුයි. දැන්ම අපි එක්ක එකතු වෙන්න. වියළි මල් කලාවෙන් ජීවිතය විකසිත කරගන්න.

ඇත්තෙන්ම ජීවිතේ කවදාවත්ම ඔයා පරක්කුයි කියලා එක තැන නතර වෙන්න එපා. ඔයාට දේවල් මඟහැරුණයි කියලා. ඒ දේවල් ගැන දුක් වෙන්නත් එපා. මේ ලස්සන ජීවිතේ වියළි මලින් ලස්සනට හැඩ කරගන්න ඔයාට පුළුවන්. ගෙවුණ මාසය ඉදිරි මාස එකොළහට හොඳ පන්නරයක් කරගෙන අලුත් මාසය ඔයාගේ ජීවිතේ ලස්සන කරන ආරම්භයක පටන් ගැන්ම කරගන්න සුදානම් වෙන්න.

ආඩම්බර වෙන්න! මෙච්චර කාලයක් ආපු දුර ගැන. තනියම මුහුණ දීපු කරදර ටික ගැන. කොච්චර ප්‍රශ්න ආවත් අත් නොහැර ජීවත් වෙන එක ගැන. කරදර හමුවේ ඔයා සටන් කරපු විදිය ගැන. ඔබේ දරාගැනීම ප්‍රබල වීම ගැන. කාර්, සල්ලි, මිනිස්සු තුළින් සාර්ථකත්වය මනිනවාට වඩා, ලොකුම සාර්ථකත්වය දකින්නේ කරදර දහස් ගණනක් දරාගෙන ඉස්සරහට යන ශක්තිමත් මිනිස්සු තුළ. එයාලා ආඩම්බර විය යුතුමයි. ඉතිං මේ ධනාත්මක සිතුවිලි කියමින් සතියෙන් සතිය අපි ඔබව ගෙන යන්නේ හිතේ හැටියට අතමිට සරුකර ගත හැකි කලාවටකයි.

ඔව්! වියළි මල් කලාව

අපේ රටට තවමත් ආගන්තුකයි. එහෙත් මේක බටහිර ලෝකය සල්ලි මවන ෙට්‍රන්ඩ් එකක්. වත්ත පහළ ඒ මේ අත විසිරුණු ඉතුරු බිතුරු කැබලි සල්ලි කරන ක්‍රමය ඉගෙන ගන්න. ඔබ තුළ නිද්‍රාශීලීව සිටින නිර්මාණකරුවා අවදි කරවන්න. මේ ආදරණීය පෙබරවාරිය එයට හොඳම කාලයයි.

අද ඔයාලට කියලා දෙන්නේ ගෙදරක ඉඳන් ලෙහෙසියෙන්. පහසුවෙන් මුදලක් වැය නොකරම හදන්න පුළුවන් මල් බඳුනක් ගැන. බොහෝ දුරට මේ සඳහා යොදාගත් අමුද්‍රව්‍ය පෙළ අවට පරිසරයෙන්ම සොයාගත හැකියි. ඇළේ දොළේ කොනක රැඳිලා තියෙන එහෙමත් නැතිනම් මඩ වගුරක රැඳිලා තියෙන පුංචි ලී කොට කැබැල්ලක් මේ සඳහා හරිම ප්‍රයෝජනවත්. මුලින්ම එය තවත් ලී පතුරකට සම්බන්ධකර ගන්න. මෙහිදී තමන්ටම හරියන හැඩයක් තබා ගන්න.

දැන් තමන් කැමැති වර්ණයක් ආලේප කරගන්න. ඔබ මෙය ව්‍යාපාරයක් ලෙස විකිණීම සඳහා නිර්මාණය කරගන්නේ නම් ස්ප්‍රේ කළ හැකියි. එයින් කාලය ඉතිරි කරගැනීමෙන් නිර්මාණය සිදුකර ගත හැකියි. මෙය ඔබ කැමැති සතෙක් හෝ පුංචි ස්මාරකයක් වගේ කැමැති ලස්සන ආකෘති හැඩයකට ගන්න. දැන් ස්වභාවික කෘත්‍රිම මල් රඳවා ගැනීම ආරම්භ කරන්න. ඒ සඳහා මුලින්ම ඩ්‍රයි ෆෝම් කැබැල්ලක් හෝ වෙට් ෆෝම් කැබැල්ලක් තබා ගන්න. ඩ්‍රයි ෆෝම් භාවිත කරනවා නම් රැඳවීමට කම්බි කැබැල්ලක් තබා ගත යුතුයි. නිකම්ම ඩ්‍රයිවල තියෙන කොටසින්ම මෙය සම්බන්ධ කරන්න එපා. එහිදී ඩ්‍රයි කොටස තවත් ඩ්‍රයි (වියළි) වේ. එවිට කොටස් බුරුල් වී ගැළ වී යයි. හරියාකාරව ඩ්‍රයි වූ විට සිදුවන්නේ නිර්මාණ කොටස් සිහින් වීමයි.

ඔබ තෝරාගත් කොට කැබැල්ල තමයි මේ නිර්මාණයේ ප්‍රධාන කොටස. එයට හානියක් නොවන පරිදි නිර්මාණය විය යුතුයි.

අනෙක් කාරණාව තමයි මෙම නිර්මාණය සිදු කිරීමේදී වර්ණ සංකලනයේ ප්‍රභේද ගැන සැලකිලිමත් වන්න. එම ප්‍රභේද ලෙස,

1.අාසන්න වර්ණ

2.විරුද්ධ වර්ණ

3.සම වර්ණ හැඳින්විය හැකියි.

එබැවින් සිල්වර් සහ දම්, ළා, නිල්, සුදු වර්ණ සංකලනය මෙහිදී යොදා ගෙන තිබේ.

ගුරු මේසයට, කොෆි ටේබල් එකට කාර්යාල මේසයේ හැඩට මෙය කදිමයි. මෙවැනි නිර්මාණ වෙළෙඳපොළේ නැති තරම්. තිබේ නම් සීමිත ප්‍රමාණයකි. එබැවින් හරි ඉක්මනට ඔබේ හැකියාව මුදල් කළ හැකියි.

උපදෙස්:-

ධනංජය ෆ්ලෝරා අධිපති ප්‍රවීණ මල් සැකසුම් ශිල්පී

සමන් ජයලත්

 

ඡායාරූප - ශාන් රූපස්සර