වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මේ පුංචි කූඩුව ඇතුළේ තියෙන නිදහස පැය අටේ රස්සාවක නැහැ
අපට ලස්සන මනුස්ස ජීවිතයක් ලැබිලා තිෙයනවා. ඒ ජීවිතය නිකම් ගෙවා දැමීමට වඩා කාටවත් යටත් නොවී මේ කරන රැකියාව හරිම නිදහස්.
ගිනිගහන මද්දහන මහ පොළොව ගිනියම් කරයි. බොරැල්ල වට රවුම වටා හතර අතට ඇදී යන වාහන පෙළට විරාමයක් දෙන්නේ විනාඩි කිහිපයක සිග්නල් එකක් පමණකි. වට රවුම මැද වු බෝ මළුවට වැටෙන ගිනියම් අව්වට ළා දළු බෝපත් සෙමෙන් සැලෙයි.... දෙනෝ දාහක් එහා මෙහා යන බොරැල්ල මංසන්ධියේ ඇත්තේ නොනවතින අරගලයකි. මේ වට රවුම අසල වූ බස් නැවතුම තරමක් නිසලයි.
තලවතුගොඩ රාජගිරිය මාළඹේ දෙසට හෝ කොට්ටාව දෙසට යන්නට එන මගියෙකු මෙහි මොහොතක් රැඳෙන්නේ රථයක් එනතුරු පමණකි.
දහසක් දෙනා එහා මෙහා යන මේ ජනාකීර්ණ වූ බස් නැවතුම ඉදිරිපිට වූ ලොතරැයි කූඩුව වෙත මගේ නෙත් යොමු වුණේ අහම්බෙනි. එහි සිටි ලොතරැයි විකුණමින් සිටින යුවතිය අසල නතර වෙන කාටත් ඇය ඉතාමත් හෘදයාංගමව ලොතරැයියක් අතට දෙන්නේ ප්‍රියමනාප ලෙසිනි. අැයට අවට ලෝකය දෙස බලන්නට කාලයක් නොවෙයි. තවත් කා සමඟ හෝ දොඩමළු වෙන්නට ද විරාමයක් නොවෙයි. උඩහමුල්ලේ බි.ජී. රුවනි... වසර දහයක කාලයක් දහසක් දෙනාගේ වාසනාව වෙනුවෙන් තම ජීවිත අරගලය සමඟ පොරබදන දිරිය කාන්තාවකි. අව්ව, වැස්ස සමඟ නොනවතින සටනක යෙදෙමින් තම ජීවිතයට වාරු දෙන්නට ඇය ගන්නා උත්සාහය බෙහෙවින්ම අර්ථාන්විතය. ඒ අර්ථවත් වූ දිවියේ ලොතරැයි විකිණීමට ගත් උත්සාහය ගැන මොහොතක් හෝ පසුතැවිලි නොවන්නේ වසර දහසකට වැඩි කාලයක් තුළ ඇය ලැබූ ජීවිත
අත්දැකීම් ගොන්න විශ්වවිද්‍යාලයකින් ලබන උපාධියකටත් වඩා වැඩි බව ඔප්පු කරමිනි.
අප අැයගේ ඒ ගමන ගැන පවසන්න මොහොතක් වෙන්කර ගත්තේ ඉතාම අසීරුවෙනි.
“මිනිස්සු හුඟ දෙනෙක් තමුන්ට උරුම වුණු ඉරණම ගැන සිත සිත පසුතැවෙනවා. නමුත් මිනිස් ආත්මයක් ලබපු අපට කොයි තරම් නම් දුර ගමනක් යන්න පුළුවන් ද? මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලැබුවේ කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ. මට හිතුණා සාමාන්‍ය පෙළ කළාට පස්සේ ගෙදරට බරක් නොවී කුමක් හෝ ස්වාධීන රස්සාවක් කරන්න. හැබැයි මම කිසිම දවසක උදේ 9.00ට ගිහින් හවස 5.00ට එන රස්සාවකට ආසා කළේ නැහැ. එහෙමත් නැත්නම් ගාමන්ට් රස්සාවක මැෂිමක මගේ නිදහස හිර කරන්න කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. මට ආසාව තිබුණේ මිනිස්සුත් සමඟ ගැටෙන රැකියාවක් කරන්න. ඒ නිසා මම මේ ලොතරැයි විකුණන රැකියාව තෝරාගත්තා.“
රුවනි වයස 37ක ආදරණීය මවකි. ඇයගේ සැමියා ද රියැදුරු රැකියාවක නිරත වෙයි. මේ වනවිට ඇයගේ දියණිය සාමාන්‍ය පෙළ හදාරයි. ඉතාම වැදගත් වූ මනසකින් යුතුව නිදහසේ තම රැකියාව කරන ඇයට තම රැකියාව තුළින් ලැබෙන ආත්ම තෘප්තිය රුපියල් සතවලින් මිල කළ නොහැකි වෙයි. මඟ තොට යන දහසක් දෙනා සමඟ ඉතාම සුහදශීලිව සිනහමුසු මුහුණින් යුතුව රුවනි තම රැකියාව තුළින් ලබන අත්දැකීම් ගැන ද සඳහන් කළේ හැඟුම්බර ලෙසිනි.
“ඇත්තටම මගෙන් ලොතරැයි ගන්න එන 95%ක් මිනිස්සු හරිම හොඳයි. ඒ අය මාව අගය කරනවා. කාටවත් අත නොපා කාලය නිකරුණේ ගත කිරීමට වඩා මම කරන රස්සාව ඒ අය අගය කරනවා. ඒත් මේ සමාජය විෂමයි. සමහර මිනිස්සු මෙතනට එන්නේ වෙනත් අරමුණු ඇතිව. සමහර අය ලොතරැයි අංක වෙනස් කරලා ගේනවා. එහෙම ගෙනත් අපි දවසට හොයන මේ කොමිස් මුදලත් නැති කරනවා. අපට එක ලොතරැයියකින් ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. මේකෙන් කොටසක් ලොතරැයි අලෙවි නියෝජිතයාට ඉතුරු මුදල තමයි මට ලැබෙන්නේ.
හැබැයි සමහරු නම් හොඳ මිනිස්සු ඉන්නවා. ඒ අයට රුපියල් දස දහසක්, පන්දහසක් ලැබුණොත් මට බත් පැකට් එකක්, බිස්කට් පෙට්ටියක් ගෙනත් දීලා යනවා. නමුත් ලොකු මුදලක් ලැබුණොත් නම් කවදාවත් මේ පැත්තටවත් එන්නේ නැහැ. ඒක තමයි මේ සමාජයේ හැටි. මේකට අපි කම්පා වෙලා වැඩක් නැහැ. මම හිතන්නේ විවිධ සමාජ තරාතිරම්වල මිනිස්සු ඉන්න මේ සමාජය තුළ සාධාරණ රුපියල වුණත් රුපියල් දාහකට වඩා වටිනවා කියලා.
අපට ලස්සන මනුස්ස ජීවිතයක් ලැබිලා තියනවා. ඒ ජීවිතය නිකම් ගෙවා දැමීමට වඩා කාටවත් යටත් නොවී මේ කරන රැකියාව හරිම නිදහස්. හෙට මට එන්න බැරි වුණොත් මේ ලොතරැයි කූඩුව වහනවා. නිවාඩුවක් ගන්න ඕනේ වුණොත් ගන්නවා. කාටවත් මම බැඳිලා නැහැ. මම හැමදාම සෙව්වේ සල්ලිවලට වඩා නිදහස. ඒ නිදහස මේ
පුංචි කූඩුව ඇතුළේ තියෙනවා. ඒකට කාගෙන්වත් තහංචි නැහැ. මගේ සැමියා කිසිම දවසක එපා කියන්නේ නැහැ. අම්මා ඔය රස්සාව නිසා මට ලැජ්ජයි කියලා දරුවා කියන්නේ නැහැ. පවුලක් ලෙස අපි සතුටින් ජීවත් වෙනවා. ඒක තමයි මේ රැකියාවෙන් මම ලබන ලොකුම වත්කම. මිනිස්සු හැම දෙයක්ම කරන්නේ ජීවිතේ සතුටින් ඉන්න. හැබැයි එහෙම කියලා කාටවත් ගින්දර දීලා, හොර මගඩි වැඩ කරලා සල්ලි හොයලා වැඩක් නැහැ. දවසක මගේ දුව කියයි අපේ අම්මා අපිව ලොකු මහත් කරන්න ලොතරැයි වික්කා කියලා. හැබැයි ඒක මට විශාල ආඩම්බරයක්.“ රුවනිි මේ මහ පොළොව සමඟ ගැටෙන තවත් එක් දිරිය මවක් පමණකි. ඇය ලොතරැයියක් අලෙවිකර ජීවිතයට වාරු දෙන්නට ගන්න උත්සාහය කිසිවක් නොකර හිස් අහස දෙස බලා අනුන්ගෙන් යැපෙනවාට වඩා බොෙහා් ගැඹුරුය. ඇයට ඒ වෙනුවෙන් එක් දිනයකින් අගය කිරීම ප්‍රමාණවත් නොවේ. සෑම දිනක්ම ඇය වෙනුවෙන්ය. ඔබ මේ මඟ පසුකර යන දිනයක අැයගෙන් ලොතරැයියක් මිල දී ගන්න පුංචි සිනහවකින් ඇයට සංග්‍රහ කරන්න. එය ඇයට මහා මෙරක් තරමටම වටියි.