කඩන් වැටුණු හැමතැනකදීම අඬන්නේ නැතුව මම නැඟිට්ටා

දකුණම කුකීස් රසයෙන් පිනවන රසාරාගේ කතාව
මාර්තු 18, 2024

 

'when one door closes, another door, opens ඔබට එක දොරක් වැසෙන විට තවත් දොරක් නිරායාසයෙන්ම විවෘත වනු ඇත.‘ මේ කියමන අපට වඩාත් හුරු පෙරවදනකි. පසුගිය කාලය පුරා බොහෝ දෙනකුගේ ව්‍යාපාර හා රැකියා කඩා වැටීම හා අහිමි වීම සිදුවූයේ නොසිතූ ලෙසිනි. කොරෝනා ව්‍යසනය හමුවේ බොහෝ සාර්ථක ව්‍යාපාර නොසිතූ ලෙසින් කඩා වැටුණේ නොපැතූ මොහොතකය.

 

මෙලෙසින් බිඳවැටුණු ව්‍යාපාර හා ආයතන බොහෝ ප්‍රමාණයක් නැවත වරක් ආරම්භ කිරීමට නොහැකි මට්ටමටම පත්වූයේ සාර්ථක ව්‍යාපාර පදනමක් එම ආයතනවලට නොතිබීම හේතුවෙනි. නමුත් ඇතැම් ව්‍යාපාර ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටෙන විට ඒ වෙනුවෙන් විකල්ප සොයාගැනීමට තරම් දක්ෂ ව්‍යවසායකයන් අනන්තවත් මේ ලක් දෙරණ මත බිහි විය. මාගාල්ලේ - බටුදූවේ Milkyway කූකීස් ව්‍යාපාරය නිර්මාණ වන්නේ ද මෙවැනි පසුබිම් කතාවක් සමඟිනි. අලුත්ම සංකල්පයක් අනුව බිහිවන මේ කුකීස් ව්‍යාපාරය ඉතාම සාර්කත්වයට පත්වීමට හේතුව බවට පත්වන්නට මූලික පදනම නිර්මාණය කරන්නේ පාලි රසාරා ලොකුසූරියයි. ඇය යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියකි. ඇයගේ ආදරණීය සැමියාවන ඩිල්ෂාන් චාමික සිරිසේන ද උපාධිධාරියෙකි.

 

තම උපාධි පත්වීම පසෙක තබා තමුන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම වෙනුවෙන් සිහින මැවූ මේ දෙදෙනාගේ සිිහිනය බවට පත්වන්නේ තමුන්ගේම ව්‍යාපාරයකින් ලෝකය ජය ගැනීමය. මේ ස්වාධීන සංකල්පය සිහිනයක් බවට පත් නොවී සැබෑවක් ලෙසින් මල්ඵල දරන්නේ පාලි රසාරාගේ උත්සාහයක ප්‍රතිඵලියක් ලෙසින්, තම දිරියෙන් නැඟී සිටීමට ඇය ගත් උත්සාහය සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයකි. තම දිරිය ශක්තියෙන් රසාරා දෙපයින් නැඟී සිටීමට ගත් උත්සාහය තුළ වූ පණිවුඩය තම උත්සාහයෙන් නැඟී සිටීමට වෙර දරන යුවතියන්ට විශාල ශක්තියකි. ඒ ශක්තිමත් ගමනේ පදනම වැටුණු අයුරු පාලි රසාරා හෙළි කළේ මෙලෙසිනි.

 

‘මගේ ජීවිතයේ ලොකුම හීනයක් වෙලා තිබුණේ මගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම. ඒ නිසා තමයි මම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් කරන්න තෝරා ගත්තේ. මම උපාධිය අවසන් කරන විටම විවාහ වුණා. අපේ ව්‍යාපාරයට පදනම වැටෙන්නේ විවාහයෙන් පසුවයි. ඩිල්ෂාන්ගේ පවුලේ අය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෝ.

 

Milkyway කියන්නේ දකුණු පළාතේ අවුරුදු 40ක් විතර පැරැණි රසකැවිලි ව්‍යාපාරයක්. යෝගට්, ජුජුබ්ස්, මස්කට්, ටොෆි වැනි දේ නිෂ්පාදනය කිරීම තමයි ඔවුන් කරගෙන ගියේ. අැත්තටම මේ ව්‍යාපාරය හොඳ සාර්ථක ව්‍යාපාරයක්. ඒ නිසා මගේ සැමියා මම රැකියාවක් කරනවාට ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ. මටත් පැය අටක රැකියාවකට කොටුවෙලා රජයේ රැකියාවක් කරන්න ආසාවක් තිබුණේ නැහැ. ඒ නිසා මම ඒ පවුලේ ව්‍යාපාරයට උදව් කළා.

නමුත් නොසිතපු ආකාරයට කොරෝනා වසංගතය නිසා අපේ ව්‍යාපාරය කඩා වැටුණා. සැමියාගේ සංචාරක හෝටලය වසා දමන්න සිද්ධ වුණා. රසකැවිලි නිෂ්පාදනයට වෙළෙඳපොළක් නැතුව ගියා. මේ කාලේ නිකමට වගේ මම ගෙදර කුකීස් වර්ග කිහිපයක් හැදුවා. ඒකට අවශ්‍ය උපකරණ අමුද්‍රව්‍ය සියල්ලම චාමිකගේ බේකරියේ තිබුණා. මුලින්ම අපි මේ හදපු කුකීස් වර්ග අපේ හෝටලයේ Outlet එකේ සවසට විකුණන්න ගත්තා. ඒක නොසිතපු ආකාරයට සාර්ථක වුණා. අපට හිතාගන්නවත් බැරි ඉල්ලුමක් එන්න පටන් ගත්තා. චාමිකගේ කඩා වැටුණු ව්‍යාපාරයට නව පණක් දෙන්න මගේ කුකීස් නිෂ්පාදනවලට හැකිවුණා. ගැනුම්කරුවෝ අපේ Outlet එකටම ඇවිත් මිල දී ගන්නවා. ඒ නිසා අපට බෙදා හැරීම සඳහා වියදමක් යන්නෙත් නැහැ.

 

දැන් අපේ ව්‍යාපාරය තිබුණටත් වඩා සාර්ථකයි. බිස්කට්, ඥාන කතා, බටර් කුකීස්, වයිට් බිස්කට්, ක්‍රීම් බනිස්, චොකලට් චිප්ස්, සව්බර, රුලං බොරාවා, බටර් රස්ක්, පීනට් කුකීස් වැනි නිෂ්පාදන රාශියක් අපි දැන් නිෂ්පාදනය කරනවා. දැනට අපේ මේ ව්‍යාපාරයේ සේවකයෝ තුන්දෙනෙක් රැකියා කරනවා. ඇත්තටම මේ ව්‍යාපාරය හරිම නිදහස්. ඒ වගේම හොඳ ලාභයක් උපයගන්නත් පුළුවන්.‘

 

පාලි රසාරා තමන් නිවෙසේ කළ අත්හදා බැලීමකින් සාර්ථක ව්‍යාපාරයක් ආරම්භකර ඇත්තේ තමා ලැබූ අධ්‍යාපනික දැනුම ද එයට භාවිත කරමිනි. ඇය සෑම විටම ස්වාධීනව ව්‍යාපාරයක් කිරීම වෙනුවෙන් මැවූ සිහිනය සැබෑ කරගෙන ඇත්තේ තවත් කිහිප දෙනෙකුට රැකියා අවස්ථා බිහිකර දෙමිනි. එසේම ඇය තම පවුල් ජීවිතය ද ඉතාම සාර්ථක ලෙසින් කළමනාකරණයකර ගැනීමට හැකි වී ඇත්තේ තම සැමියාගෙන් ලැබෙන සහයෝගයෙනි. මෙවැනි සාර්ථක වූ පදනමක් මත ජීවිතය ජය ගන්නට සිහින මවන යුවතියන්ට රසාරා සැබෑම පූර්වාදර්ශයකි. ඇය තමා ලැබූ එම දැනුම හා අත්දැකීම් සියල්ල ඕනෑම අයෙකුට ලබාදීමට නිබඳවම කැමැත්තෙන් සිටියි. ඔබත් මෙවැනි ව්‍යාපාරයක් සඳහා උනන්දුවක් දක්වන්නේ නම්, ඒ සඳහා සහයෝගය හා උපදෙස් ලබා ගැනීමට රසාරා සම්බන්ධකර දීමට ‘තරුණී‘ අපි කැමැත්තෙන් සිටිමු. ඒ සඳහා 011 2429592 අපගේ දුරකථන අංකයට අමතන්න.