ගෙදරම සරසන 3D මල්

මාර්තු 25, 2024

 

අතීත මතක අදටත් ලස්සනයි. ඉස්සර අපේ අත්තම්මලා වත්ත පහළට ගිහින් පුවක් එකතු කරගෙන එනවා. ඒවා අවශ්‍ය ප්‍රමාණයට කපලා අරගෙන වතුරෙ ඔබලා ටිකක් පෙඟෙන්න තියනවා. දවසක් විතර වතුරේ පෙඟුණම අවශ්‍ය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කුස්සියේ ලියන පලා ටික වැටෙන්න මේ පුවක් පීල්ල තමයි තියාගන්නෙ. මේකට කොළපත කියලත් කියනවා. ඒත් එක්කම මිරිස්ගල වහන්න වෙනම එකක් මේකෙන්ම හදාගන්නවා.

ඉඹුල් කිරිබත හදන්න ගත්තෙත් මේකම තමයි. කොහේ හරි ගමනක් යනකොට එන්න පරක්කු වෙනවා නම් උදේ උයන කෑම ටිකක් ලස්සනට ඔතා ගන්නත් පාවිච්චි කළේ මේ කොළපත. අව්වේ දාලා මොනවා හරි පොඩි දෙයක් වේළගන්න ඕනෙ වුණාමත් මේ කොළපත් වැඩට ගත්තා. ගොඩක් වෙලාවට ඉදිච්චි ගොරකා අහුලාගෙන ආවාම ඒවායේ තෙත ගතිය තියෙන නිසා වෙන භාජනවල දැම්මේ නැහැ. ඒවා වේළුවේ කොළපතේ දාලාමයි. ඉස්සර අද කාලේ වගේ කුස්සියේ දේවල් කල්තියාගන්න ශීතකරණ තිබුණේ නැහැ. වැඩිපුර තිබෙන රම්පේ, කරපිංචා, එළවළු ටික කල්තබා ගත්තෙත් මෙන්න මේ විදිහටයි. ඔය කල්තබාගන්න, වියළා ගන්න ක්‍රමය තමයි වැඩිදියුණු වෙලා වියළි මල් කලාවටත් යොදා ගන්නේ. නූතන තාක්ෂණික දැනුම එකතු වුණාම සල්ලි මවන ක්‍රමයක් ලෙස මේක වැඩිදියුණු කරගන්න පුළුවන්! අද අපි මේ කරන්නේ එයයි.

එබැවින් ජීවිතය මහන්සියි කියලා දැනෙන හැම මොහොතේම ඔයාගේ හීන මතක් කරගෙන විශ්වාසෙන් ඉදිරියට යන්න. ඒ ගමනේදීත් මේ වගේ අතීත මතක බොහොමයක් වැදගත්. දැන් ඔබ මල්, කොළ, අතු, ගෙඩි වගේ අවට පරිසරයේ දෑ වියළා ගැනීමේදීත් කොළපත් වියළීමේ කලාවත් මතකයට ගන්න. මේ ලෝකයේ ජීවත්වෙන හැම මනුස්සයාගේම ජීවිතය තුළ ඉහළ යෑම් වගේම පහළ වැටීම් ඕනෙතරම් සිද්ධ වෙනවා. ඒවට ඒ මනුස්සයෝ කවුද කියලා ඒ අභියෝගවලට අදාළම නෑ. ඒත් මිනිස්සු අභියෝගවලට මුහුණදෙන්නේ විවිධාකාර විදිහට. වියළි මල් කලාවේ හැම පාඩමකදීම අපි ඔබට ධනාත්මක ඔවදන්් ගෙන දුන්නේ අත නොහැර මේ ගමන යාමටය. අපි මේ ගත කරන්නේ කොයිකාටත් ආර්ථිකය අමාරුම කාල පරිච්ඡේදයකි. එබැවින් ඒ කුණාටු සමය ශක්තිමත් කරගන්න කිසිඳු මුදලක් වැය නොවන වියළි මල් කලාව හරිම වැදගත්.

අද අපි බලමු ඉවතලන පොටෝ ෆ්‍රේම් (රාමුව) එකක්, කැඩුණු ටයිල් කැටයක්, උළු කැටයක් එහෙමත් නැත්නම් ලෑලි කෑල්ලක් නැවත පිළිසකර කරගෙන නිවෙස හැඩකර ගන්නේ කෙසේද කියලා.

මුලින්ම ඔබ මේ කරන නිර්මාණය තැබීමට සුදුසු තැනක් තීරණය කරන්න. ඒ අනුව නිර්මාණයේ නිර්මාණාත්මකභාවයට විවිධත්වයක් එකතු කරගත හැකියි.

ඔබ ජායාරූප මඟින් දකින පැතලි, කෝටු හැඩයේ මෝස්තරයක්ම මේ සඳහා අවශ්‍ය නොවේ. ඒ සඳහා රවුම් හැඩය ද යොදාගත හැකියි. දැන් තෝරාගත් ලෑලි කෑල්ලේ, ටයිල් කැටයේ/උළු කැටයේ මතුපිට පෘෂ්ඨය වාර්නිෂ් කරගන්න. රඳවා ගැනීම සඳහා කෙටි ලී අඩි කිහිපයක් සවි කරගන්න. ඒවා L හැඩයට ඇති සිල්වර් පටියක් කපා ගැනීමෙන් සාදාගත හැකියි. නැතිනම් වෙළෙඳපොළෙන් මිලදී ගන්න පුළුවන්. බිත්තියට එල්ලීම, මේසයක රඳවා ගැනීම වශයෙන් ඔබ මෙය තබන ස්ථානය අනුව අඩිය සකස්කර ගන්න. මෙයට ද ඔබ කැමැති වර්ණය භාවිතකර වර්ණ ගන්නවා ගන්න.

දැන් ඔබ මීට ඉහත දී වියළා තබාගත් මල්, කොළ, අතු, ඉති කොටස් ඇති. ඒවා විහිදී යන ස්වරූපයෙන් මේ මත රඳවා ගන්න. කුඩා ඉතිවල සිට තරමක් දිගු ඉති රැඳවීම සිදුකරන්න. (මූලික රැඳවීමට) පෙර කුඩා ඩ්‍රයි ෆෝම් කොටසක් අලවා ගන්නත් අමතක කරන්න එපා. පියවරෙන් පියවර මල්, කොළ, ඉති අලවාගෙන නිර්මාණය කොටස් තුනකට වෙන්කර ගන්න. එනම් තට්ටු තුනකට ඉන් 3D පෙනුමක් ගෙන දේ. මෙලෙස කරගන්නා නිර්මාණය අවසානයේ නැවතත් වාර්නිෂ් කරගන්න. එමඟින් මෙහි කල්පැවැත්ම තහවුරු වෙයි. වියළි කොටස් සියල්ල නිර්මාණයට අලවා ගත් පසුව ඔබ වර්ණ සංකලනය ගැන සිතන්න. ඒ අනුව අවශ්‍ය වර්ණය ස්ප්‍රේකර ගන්න.