ඔෆිස් යන්න සාරියට ගැළපෙනම කටුව මෙන්න

මැයි 27, 2024

 

රතු, කහ, නිල් වර්ණ රිබන් හරි අපූරුවට මලක් ලෙස හැඩ වී ඇති අරුමයයි මේ. කාර්යාලයට හැඩට යන්න සාරිය සරසන්න කදිම සාරි කටු නිර්මාණයකි. හැඩ වැඩ ඇති මල රිබන්වලින් මෙලෙස සකසා ගන්න. කාර්යාලයේ මිතුරියන් අතර ඔබ ජනප්‍රිය වේවි.

ස්වයං රැකියාවක් ඇරඹීමට කදිම මඟකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය :

 

සෙන්ටි මීටර් 2.5  ප්‍රමාණයේ රිබන්

මිලි මීටර් 6 පබළු 24ක්

මිලි මීටර් 4 පබළු 24ක්

මිලි මීටර් 3 පබළු 24ක්

මැද අලංකාර කිරීම සඳහා භාග පබළුවක් හෝ කැමති බොත්තමක්

කුඩා ෆෝම් ෂීට් රවුමක් හෝ ෆෙල්ට් ෂීට් රවුමක්

ඉදිකටුව සහ නූල

හොට් ග්ලූ ගන්

සාරි පින් එකක්

කතුරක්

ලයිටරයක්

සාදන අයුරු:

 

පළමුව රිබන් එකේ කොණක් ගෙන රූපයේ පරිදි ත්‍රිකෝණයක් ආකාරයට ඇතුළට නවා ගන්න. ඉන්පසු අනෙක් පසිනුත් ඇතුළට ත්‍රිකෝණයක්වන සේ නවාගන්න.

මෙසේ සාදාගත් ත්‍රිකෝණ දෙක එකට වෙන සේ දෙකට නවා මල් පෙත්තක් සාදා ගන්න.

 

මෙසේ සකසාගත් මල් පෙත්ත දිග නොහැරෙන විදිහට නවන කොටසේ අවසාන තුඩ සහිත ස්ථානය ඉදිකටුවෙන් නූලක් දමා ගන්න.  මෙවැනි මල් පෙති 24ක් වන සේ පිළිවෙළට මුල් ආකාරයෙන්ම සකසා ගන්න.

 

ඉන්පසු වැඩි රිබන් කොටස කපා ඉවත්කර ගන්න. කැපූ කොටස අවසානය ලයිටර් එකක් භාවිතයෙන් යන්තම් පුලුස්සා ගන්න.

 

මෙම පෙති 24ම එකට එක්කර මලක් සේ සැකසීමට රිබන් එකේ ඇතුළු පැත්තට ඉදිකටුව යවා මල් පෙති දෙක එක්වන තැන පෙති වෙනස් නොවන සේ මසාගන්න. මලේ ඇතුළු පෙත්තේ තුඩ කොටසට මිලි මීටර් 5 ප්‍රමාණයෙන් උඩට වෙන්න ඉදිකටුවට නූලක් දමා ගැට‍යක් ගසා මිලි මීටර් 6 පබළුව පෙත්තේ ඇතුල් පැත්තටවන සේ දමා එම පෙත්තට සහ අනෙක් පෙත්තට ඉදිකටුව යවා පබළුව හොඳින් නූල නොපෙනෙන ආකාරයට අල්වාගන්න. මේ ආකාරයට පිළිවෙළට සමාන්තරව පෙති 24ටම මිලි මීටර් 6 ප්‍රමාණයේ පබළු අල්වාගන්න. ඒ ආකාරයටම පබළු 24 ඇතුළෙන්ම නූල් වට දෙකක් හෝ යවා හොඳින් සවිමත්වන සේ නූල යවා මසා ගන්න.

 

මිලි මීටර් 6 පබළු අල්වාගත් පෙති දෙක අතර ලංවී ඇති පෙති කොටස ටිකක් ඈත්කර දෙවැනි වටයේ මිලි මීටර් 4 පබළු ද මිලි මීටර් 6 පබළුවට ළංවන සේම ඒ ආකාරයට අල්වාගන්න.

 

කුඩාම පබළුවක්වූ මිලි මීටර් 3  ප්‍රමාණයේ පබළු ද කලින් පබළු අල්වාගත් ආකාරයටම පිළිවෙළින් තුන්වැනි වටයට අල්වාගන්න.

 

දැන් සාදාගත් නිර්මාණයේ ඇතුළු පැත්තේ සිදුරෙන් දබර ඇඟිල්ල ඇතුළට යවා කරකවමින් රිබන් එකේ පෙති එකම දිශාවකටවන සේ හැඩකර ගන්න. ඉන්පසු අනෙක් පස හරවා ඇඟිල්ලෙන් ඇතුළට තදකර ගන්න.

 

ෆෙල්ට් රවුමගෙන පොඩි කැපුමක් යොදා සාරි පින් එක එයට ඇතුළුකර ගන්න. ඉන්පසු ග්ලූගන් තවරා සාදාගත් රිබන් මලේ පිටුපස පැත්තෙන් අලවාගන්න.

 

ගම් වියළීමට පෙර නිර්මාණය අනෙක් පස හරවා මල් පෙතිවල මධ්‍යස්ථ තුඩ කොටස ඇතුළටවන සේ ඇඟිල්ලෙන් තදකර අලවාගන්න.  අවසාන ලෙස එහි මැදට භාග පබළුවක් හෝ අලංකාර බොත්තමක් අලවා හැඩකර ගන්න.

 

මෙම නිර්මාණය සාරි කටුවක් ලෙස හෝ කුඩා දරුවන්ගේ කොණ්ඩ කටුවක් සේ වුව ද සකසා භාවිත කළ හැකියි.

 

 

 අත්කම් නිර්මාණ ශිල්පිනී සුලෝචනා සෙව්වන්දි