වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හෙරලි පෙරළිවලින් හසරැලි නැංවූ බඩල්කුඹුරේ දිරිය දියණී
කොස් ගස ‘බත් ගස’ ලෙසින් හැඳින්වීමට අපේ මුතුන් මිත්තන් පෙළැඹී ඇත්තේ වේලක් පිරිමසා ගැනීමට සාමාන්‍ය පවුලකට කොස් ගෙඩියක් ඕනෑතරම් ප්‍රමාණවත් වූ බව නිසාම වන්නට ඇත.
නිකම් ලැබෙන දේ අගයක් නැහැ කියන්නා වගේ නිකම් ලැබෙන කොස් ගෙඩිය හැමදාමත් ගස් පල්ලේ වැටිලා කුණු වෙලා ගියා. හැබැයි ගස් පල්ලේ වැටිලා යන කොස් ගෙඩියට වටිනාකමක් දුන් දිරිය දියණියක් ගැනයි අද කියන්න යන්නේ. ඇය කොස් ඇටවලින් හෙරළි පෝෂ නමින් පෝෂණීය පිටි වර්ගයක් සහ කොස් මඳුළුවලින් හෙරලි බයිට් නමින් නිෂ්පාදනයක් සකසා රටේම අවධානය දිනාගත් ව්‍යවසායිකාවකි. ඇය නිශාධි රුවන්තිකා. පස්සර, බඩල්කුඹුර, ගමේවෙල ඇගේ ගම් පියස්සයි. සුන්දර කඳු පන්තියකින් වටවූ මේ ගම්මානයට නම් හෙරළි කියන්නේ හැමතැනම තියෙන හැම ගෙදරකම දකින සුලබ ගහක්. ගස් පල්ලේ වැටිලා යන හෙරළිවලින් පෙරළියක් කරපු මේ දිරිය කතගෙන් ඉගෙන ගත හැකි දේ බොහොමයි.
හැමෝම කතා කරන හෙරලි පෝෂ ගැන ඇය කතාව පටන් ගත්තේ මේ විදිහට.
හෙරලි පෝෂ දරුවන්ගේ පෝෂණ ගුණය වෙනුවෙන් හදපු නිෂ්පාදනයක්. මිලෙන් අඩු මේ පෝෂණීය පිටි වර්ගයට කිසිම රසකාරකයක් එකතු කරගෙන නැහැ. කොස් ඇටවලින් සකසන මේ පෝෂණීය පිටි වර්ගය හරිම පිරිසුදුවටයි සකසන්නේ. යන්ත්‍රානුසාරයෙන් සකසන හෙරළි පෝෂවලට එකතු කරන්නෙත් හොඳම කොස් ඇට විතරයි. පොල් ස්වල්පයක් එකතු කරගෙන බොහෝ ප්‍රමාණයක් හදන්නත් පුළුවන්. ඉතින් ග්‍රෑම් 400 පැකට් එකක් කියන්නේ දින කිහිපයකටම ප්‍රමාණවත්. කොස් මඳුළුවලින් හදන හෙරළි බයිට්වලටත් මේ හා සමානව ඉල්ලුමක් තියෙනවා. දැන් දැන් හැමෝම මගේ නිෂ්පාදනය ගැන කතා කරනවා.
සමාජ මාධ්‍යයේ හැමෝම වගේ කතා කරපු මේ හෙරලි නිෂ්පාදනය පටන් ගන්න අඩිතාලම වුණේ...?
හැමෝම මගේ නිෂ්පාදන ගැන කතා කරන්න ගත්තේ සඳගිරි සෑයේ හාමුදුරුවෝ මගේ නිෂ්පාදනය ගැන වීඩියෝ එකක් සමාජ මාධ්‍යයට දැම්මට පස්සේ. එතෙක් කවුරුත් මේ නිෂ්පාදන ගැන කතා කළේ නැහැ. විඩියෝ එක දාලා මාසෙකින් ගොඩක් අය මාව හොයාගෙන එන්න ගත්තා. ඒ ප්‍රසිද්ධිය ලැබුණේ මාසෙකින් වුණාට.. එතැනට එන්න මට සෑහෙන ලොකු කාලයක් ගියා.
ව්‍යාපාරය පටන් ගත්තේ කොහොම ද?
මේ ව්‍යාපාරයේ ආරම්භකයා වෙන්නේ නැන්දම්මා. ඒ කියන්නේ මගේ මහත්තයගේ අම්මා. එයා මට මගෙම අම්මා වගේ. සැමියගේ අම්මා තමයි ඒ ව්‍යාපාරය කරගෙන ගියේ. ගුණසිරි නිෂ්පාදන නමින් එයා දිගටම ඒක කරගෙන ගියා. බයිට් වර්ග, රස කැවිලි වර්ග හැදුවා.
දැන් අම්මා වයසයි. ඉතින් අම්මා කිව්වා එයාගේ සහයෝගයත් ඇතුව මට මේක දිගටම කරගෙන යන්න කියලා. අපේ නිෂ්පාදනවලට දාලා තිබුණ ගුණසිරි කියන නම අපි සුනෙර නිෂ්පාදන කියලා වෙනස් කළා. ඊට පස්සේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් දැනුම සහ උදවු අරගෙන මැෂින් අරගෙන ඉස්සරහට ආවා. ආහාර නිෂ්පාදනය සම්බන්ධ ප්‍රදර්ශනවලටත් මම සම්බන්ධ වුණා.
තමන්ගේ නිෂ්පාදනවලට වෙළෙඳපොළ සොයා ගැනීම තමයි හැමෝටම තියෙන ගැටලුව. ඔබ කොහොමද මේ මේ ගැටලුවට මුහුණ දුන්නේ?
අපි ගුණසිරි නමින් නිෂ්පාදනය කරන කාලේ මඤ්ඤොක්කා බයිට් එක කම්පැනියකට හදලා දුන්නා. ඒක මහා පරිමාණයෙන් කළා. ඒ කාලේ අපිත් මඤ්ඤොක්කා වගා කරලා තිබුණා. නමුත් ඒ ප්‍රමාණය මදි. ඉතින් අපි ලක්ෂ ගාණක් වියදම් කරලා මඤ්ඤොක්කා අරගෙන නිෂ්පාදනයට අවශ්‍ය විදිහට සකසලා බැදලා සූදානම් කළා. එතකොටම කොරෝනා ආවා. ඒ ලක්ෂ ගාණක මඤ්ඤොක්කා නිෂ්පාදනය දෙන්න කෙනෙක් හිටියේ නැහැ.
අන්තිමට ඔක්කොම වළකට දාලා ගිනි තිබ්බා.
මේ වැටිච්ච එකෙන් ගොඩඑන්න නම් අපිට නැති වුණු ඒ සල්ලි ටික ආයේ හොයාගන්න ඕනේ. ඒකට මොකද කරන්නේ කියලා හිත හිත ඉද්දි දවසක් අම්මා කොස් ගෙඩියක් කඩලා. මදුලු ගලවලා බැද්දා. අපි ඒ ටික බයිට් එකක් විදිහට හදලා සාම්පලයක් අර ආයතනයටම ගිහින් දුන්නා. ඊට පස්සේ අපි දිගටම එයාලට මේ නිෂ්පාදනය ගිහින් දුන්නා.
මේ වැඩේ පටන් ගත්තේ කෝටි ගාණක් යට කරලා. ලෝන් අරගෙන, මැෂින් අරගෙන ඒ හැමදේම කළේ අපේම වියදමින්. බැංකුවේ කළමනාකාරතුමාත් අපිට ලොකු හයියක් වුණා.
ඔබේ නිෂ්පාදන නිසා තවත් අයටත් රැකියා අවස්ථා ලැබිලා තියෙනවා..?
මැෂින් ගන්න කලින් අපි හැමදේම කළේ අතින්. රෑ එළිවෙනකම් කොස් කපලා බඳිනවා. සමහර දවසට පාන්දර 1 - 2 වගේ වෙලා. වෙලාව යනවාවත් දන්නේ නැහැ. සේවකයින් හතර දෙනෙක් අපිත් එක්ක දැන් වැඩ කරනවා. මේ නිෂ්පාදන ඔක්කොම හදන්නේ අපේ ගෙදරමයි. සෞඛ්‍යාරක්ෂිතව හරි ප්‍රමිතියට මේ දේවල් හදන්නේ. මේ ව්‍යාපාරයට වෙනම තැනක් සූදානම් කරගන්න තරම් තවම අපට වත්කමක් නැහැ. හැබැයි ගෙදර ඉඩකඩ මදියි.. අපහසුයි කියලා අපි මේක කවදාවත් අතහැරියේ නැහැ. ගමේ අය කොස් ගෙනැල්ලා අපිට මුදලට දෙනවා.
මේ ව්‍යාපාරය තුළ හැරවුම් ලක්ෂ්‍යය වුණේ..?
සඳගිරි සෑයේ හාමුදුරුවෝ නිසයි අද මේ ප්‍රසිද්ධිය ලැබිලා තියෙන්නේ. සඳගිරි සෑයේ වැඩසටහන ගිහින් මාසයයි. මේ ටික කාලෙට අපිව ගොඩ දෙනෙක් හොයාගෙන ආවා. ඒක හරි අහම්බයක්. හමුදුරුවෝ fb පෝස්ට් එකක් දාලා තිබුණා තරුණ ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් කියලා. මට ආහාර නිෂ්පාදනය සම්බන්ධව සම්මාන සහතික බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඒත් කඩා වැටීම් සහ අතහිත දෙන්න කවුරුත් නැති එකෙන් මම හිතුවා මම ආයෙත් මුකුත් කරන්නේ නැහැ කියලා. එහෙම වෙලාවක තමයි උන් වහන්සේගේ පෝස්ට් එක දැක්කේ. ඊට පස්සේ ගොඩක් අය හොයන් ආවා. වස විසෙන් තොර නිසා මගේ නිෂ්පාදන රසයෙන් ටිකක් අඩුයි. ඒ නිසා ලොකු මාකට් එකක් තිබුණේ නැහැ. දැන් ඒ මාකට් එක හැදිලා තියෙනවා.
රසයෙන් අඩු වුණත් වස විසෙන් තොර නිෂ්පාදනයක් කරන්න හිතුවේ...?
මම දවසක් නාගරික සංවර්ධන අධිකාරියේ ප්‍රදර්ශනයකට ගියා. එක්කෙනෙක් මගේ ළඟට ඇවිත් ඇහුවා ඔයාලා ළඟ වස විස නැති පලතුරු විකුණන්න තියෙනව ද? තියෙනවනම් පලතුරු ටිකක් ඉක්මනට හොයලා දෙන්න පුළුවන් ද කියලා. මම එයාගෙන් අැහුවා ඇයි හදිස්සියෙන් පලතුරු හොයන්නේ කියලා. එතකොට තමයි එයා කිව්වේ එයාගේ දරුවට පිළිකාවක් තියෙනවා. පොඩි කාලේ ඉඳලා එයාට දුන්නේ කන්න එයා කැමැති ටොෆි, චොකලට්, රසකාරක නූඩ්ල්ස්, ටිපිටිප් වර්ග කියලා. ඇත්තටම ඒක අහලා මගේ ඇස්වලට කඳුළු ආවා. මගේ දරුවට දෙන්න පලතුරක් කොහෙවත් හොයාගන්න නැහැ කියලා ඒ තාත්තත් ඇඬුවා. එවේලේ මට කරන්න පුළුවන් වුණේ කොස්වලින් කරන මගේ නිෂ්පාදන එයාලට දෙන එක. මගේ නිෂ්පාදනවලටත් කිසිම රසකාරකයක් භාවිත කරන්නේ නැහැ. ඒ වෙලාවේ මම හිතුවේ දරු පරපුර රැකගන්න සෞඛ්යාරක්ෂිත ආහාර නිෂ්පාදන තව තවත් සකසන්න ඕනේ කියන එක.
මේ ගමන එන්න පවුලේ අයගෙනුත් සහය ලැබෙන්න ඇති....?
මේ හැමදේටම නැන්දම්මා වගේම මගෙ මහත්තයත් මට ලොකු හයියක් වුණා. නැන්දම්මා ජී. එම්. චන්ද්‍රලතා. මගේ මහත්තයා. ආර්. එම් රොශාන්ත ශ්‍යාමන්. මම දරුවෝ තුන් දෙනෙක්ගේ මවක්. මේ ව්‍යාපාරයට මම මුල් තැන දුන්නට මවකගේ භූමිකාව.. බිරියකගේ භූමිකාව අමතක කළේ නැහැ. පවුල් ජීවිතයයි ව්‍යාපාරයයි දෙකම සමබරව පවත්වාගෙන යනවා. කොස් කිරි එක්ක බැහැ.. ළමයි එක්ක බැහැ.. ගෙදර වැඩත් එක්ක බැහැ කියලා මම කිසි දෙයක් අතහැරියේ නැහැ.
හෙරලි ආශ්රයෙන් තව තවත් නිෂ්පාදන වෙෙළඳපොළට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා ද?
මොනරාගල දිස්ත්‍රික්කයේ තියෙන්නේ පුදුම සම්පත් ගොඩක්. මඤ්ඤොක්කා, කෙසෙල්, කොස් වගේ ගස් හැම ගෙදරකම තියෙනවා. ගොඩක් අය කියනවා මේ වගේ පැකට්වල දාලා කිරිකොස් හදාගන්න පුළුවන් නිෂ්පාදනයක් හදන්න කියලා. ඒ වෙනුවෙන් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. පාසල් කිහිපයකින් ආරාධනා ලැබිලා තියෙනවා දරුවන්ගේ ව්‍යවසායකත්වය
වැඩිදියුණු කරන්න වැඩසටහන් කරන්න කියලා. මේ වෙද්දි අපතේ දමන අාහාරවලින් විවිධ නිෂ්පාදන සකසන හැටි මම එයාලට කියලා දෙනවා. මට ඕනේ මේ රටේ කෘත්‍රිම රසකාරක ආහාර අයින් කරලා වස විසෙන් තොර අාහාර වර්ග රටට හඳුන්වා දෙන්න.