පොල්කට්ටත් එක්ක පාරට නොවැටී පොල්කට්ටෙන් ගොඩගිය පියුමි

ජුනි 24, 2024

පොල්කටු හූරලා වැඩක් තියෙනවාද? ජොබ් එකක් කරන්නකො. මාසෙට අතට කීයක් හරි ලැබෙනවා. ඔහොම ඒවායින් මේ කාලේ ගොඩයන්න බෑ.

හැමෝම කිවුවෙ එහෙම, ඒත් මේක අලුත් ගමනක්. හිත හයිය කෙල්ලෙක් ජීවිතය ජීවත් කරවන්න ගත්ත ප්‍රවේශයක්. හීන පොදි බැඳගෙන ඒ හීන අතරින්

ගොඩඑන්න ගන්න උත්සාහයක්. ජීවිතේ හැම අමාරු කාර්තුවකදීම හරි වටිනා දේවල් ටිකෙන් ටික ඉගෙන ගන්න. ඒ අත්දැකීම් තුළින් අනාගතේ හැමදේකටම ශක්තිමත්ව මූණ දෙන්න ඔයාට පුළුවන්. උදව්වක් ඕනෙම අවස්ථාවල මිනිස්සු ඔයාව මඟහරින්න ඇති.

ඇත්තටම ඔයාව ඕනෙ, ළඟ ඉන්නේ කවුද කියලා ඔයාට ඒකෙන් දැනගන්න පුළුවන්. ජීවිතේ මහා ලොකු කඩා වැටීම් එක්ක කාගේවත් උදව්වක් නැතිව හිත හයිය කරගෙන යෝධ ශක්තියකින් තමන්ව දිනවන්න තමන්ම ඉදිරිපත් වෙන්න ඕනේ. තව කෙනෙක් හිටියත් නැතත් මේ ගමන යන්නම ඕනේ. මෙන්න මෙහෙම හිතලා පොල්කටුව අතට අරන් අපි නොදුටු රටා මවන ඇය අතුරුගිරිය, ඔරුවල පදිංචි පියුමි චතුරිකා පෙරේරායි. තමන්ගෙ වටිනාකම වටහාගෙන ගෙවුණ දුෂ්කර කාල මොහොතකට අමතක කරලා ගෙවන්න තියෙන කාලය ගැන හිතලා වර්තමානයේ ඵලදායී වැඩක් කරන ඇය තරුණීට තමන්ගේ දිරිය කතාව කීවේ මෙලෙසිනි.

පොල්කටුව අතට ගන්න හිතට ශක්තියක් ආවේ කොහොමද කියලා මුලින්ම කියලා ඉඳිමු.

ඔව්. කෙනෙක් පොල්කටුව අතට ගන්නවා කියන්නෙ ඉතින් හිඟා නොකා හිඟා කනවා වගේ. ඇත්තෙන්ම මට මගේ ජීවිතයේ ගොඩයන්න වෙන මඟක් තිබුණෙ නැහැ. මට හිතුණා මගේම කියලා යමක් කරන්න. අද සමාජය බොහොම විෂමයි. ලේසියෙන් කවුරුත් කාටවත් ගොඩයන්න උදව් කරන්නෙ නැහැ. ඒ නිසාමයි මම තීරණය කළේ මොනම දෙයකින් හරි මමම තනිව නැඟිටිනවා කියලා. උත්සාහ කීපයක් දැරුවා. අන්තිමේදි තමයි පොල්කටුව අතට ගත්තේ. ඒ ප්‍රයත්නය මල්ඵල දැරුවා.

මොනවද ඔබේ නිර්මාණ?

පොල්කටුව කපලා මම මගේම අනන්‍යතාව ඇති නිර්මාණ ගණනාවක්ම කරනවා. ඒ අතර කී ටැග්, පෙන්ඩන්ට්, බ්‍රේස්ලට්, සන්නාම (Logo), ඩිසයින්, ලයිට් හෝල්ඩර්, ඉටිපන්දම් රැඳවුම් කරනවා. මේ නිර්මාණ ඉතා සියුම්ව කළ යුතු ඒවා. එබැවින් මේ නිර්මාණකරණයට මනා ඉවසීමක් සහ සංයමයක් තිබිය යුුතුයි. ඉතින් මට ඉවසීම ප්‍රගුණ කරන්නත් මේ නිර්මාණ ඉවහල් වෙනවා. ජීවිතයේ මෙතෙක් මා මුහුණ දුන් දුක් කරදර කම්කටොළු මඟහරින්න පොල්කටුවෙන් කරන සියුම් නිර්මාණවලට හැකිවුණා.

 

මේ නිර්මාණකරණයට අඩිතාලම වැටුණේ කොහොමද?

මම ඔරුවල කනිෂ්ඨ විද්‍යාලයේ අ.පො.ස සාමන්‍ය පෙළත් අතුරුගිරිය මධ්‍ය මහා විද්‍යාලයෙන් අ.පො.ස. උසස් පෙළත් හැදෑරුවා. ඉගෙන ගැනීමට අමතරව පාසලේ කලා නිර්මාණ බොහොමයකට යොමුවුණා. ඒ අතර පාසලේ පැවැති විවිධ ප්‍රසංග ගණනාවක්ම මා හැඩ කළා. උසස් පෙළින් පසුව කඩුවෙල විදාතා සම්පත් මධ්‍යස්ථානයට යොමු වී මැහුම් පාඨමාලාවක් හැදෑරුවා. ඒ යන අතරමඟ 2012 වසරේදී ජනකලා කේන්ද්‍රයට සම්බන්ධ වුණා. කොහොම හරි මැහුම්වලට වඩා ජනකලා කේන්ද්‍රයේ පැවැති පොල්කටු වැඩමුළුවට හිත ගියා. මේක මට සහජයෙන් ආ දක්ෂතාවක් වන්නත් පුළුවන්. මගෙ තාත්තා වඩුබාස් කෙනෙක්. ගෙදරදී තාත්තාගෙ මේ රාජකාරියට උදවු කරලත් තියෙනවා.

 

මේ ආ ගමන් මඟේ අමතක නොවන මතක සටහන් ඇති නේද?

ඔව්. විදාතා එකෙන් කළ ප්‍රදර්ශනයකට මම ඉංග්‍රීසි අකුරු සහිත කී ටැග් කළා. එහෙත් මට එම ප්‍රදර්ශනයට ඉදිරිපත් වීමේ අවස්ථාව මඟ හැරුණා. ඇත්තටම මගේ ජීවිතයේ මට ලැබුණු දේට වඩා පෙනි පෙනී නොලැබුණු දේ වැඩියි. ඒ අවස්ථාව ගිලිහුණ එක ගැන මට ලොකු කලකිරීමක් ඇතිවුණා. කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ මැදිහත්වීම ඔස්සේ ඒ පැවැති ව්‍යවසායක ප්‍රදර්ශනයට සහභාගි වන්න මා වසරක පටන් සූදානම් වුණා. ඒ මහන්සිය එහෙම් පිටින්ම වතුරේ ගියා. ඒත් ඒ ප්‍රදර්ශනය බලන්න මම ගියා. එතැනදී තිබුණ ඒවා බලනකොට මට හිතුණා ඇයි මගේ නිර්මාණ මෙයට ඉදිරිපත් කරන්නට අපොහොසත් වුණේ කියලා. කොහොම හරි මම මගේ මනස යළිත් හදාගත්තා. මම කිිසි දිනෙක එවැනි ප්‍රදර්ශන සඳහා ඉදිරිපත් වෙන්නෙ නැහැ කියලත් හිතාගත්තා. මගේ සැමියා තරිඳු රංජකගේ හමුවීමත් එක්ක යළිත් නිර්මාණකරණයේ පිබිදීමක් ඇතිවුණා. ඔහු තමයි මේ සඳහා මාව දිරිගන්වන්නේ.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මම දැනට සරසි ක්‍රිෙය්ෂන් නමින් නිර්මාණ එකතුවක් කරගෙන යනවා. ඉදිරියේදී පසාරු කැටයම් කලාව ඉගෙන ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. දැනට ලොකුම පොල්කටු ඇණවුම ලෙස ඉතාලියට නිර්මාණ කිහිපයක් යවලා තියෙනවා. ඉදිරියේදී හොඳම ව්‍යවසායිකාව හෝ මේ නිර්මාණ අංශයෙන් ජනාධිපති සම්මානයක් ලබා ගැනීම තමයි ලොකුම බලාපොරොත්තුව.