සීතල වැලිමඩ ගොවියෙක් හදපු අරුම පුදුම දයියා අයිස් ක්‍රීම්

ජූලි 8, 2024

අතීතයේ අපට පැවතියේ දියුණු තාක්ෂණයකි. එය අදට ද වලංගුය. එදා අපේ මුතුන් මිත්තන් වැලි මිරිකා වතුර ගන්න තරම් දක්ෂ යැයි කියමනක් තිබේ. මේ කියමන අද ද ඔප්පු කළ හැකි දක්ෂයන් අප අතර වෙසෙති. වැලිමඩ, දරගල පදිංචි ලසන්ත රුවන් ලංකාතිලක ද එවැනි දක්ෂයෙකි. ඔහු පැණිම පැණි රස අයිස් ක්‍රීම්වලට අමුතුම අගයක් එකතු කළේය. එය අප කවුරුත් නොසිතන මිරිස් යොදා ගනිමිනි. බීජ ලබා ගැනීමට යොදා ගන්නා වියළි මිරිස්වල පොත්ත යොදාගෙන ඔහු මේ අතුරු නිෂ්පාදනය කර තිබේ. මෙය විවිධ රසයේ අයිස් ක්‍රීම් ගැන උනන්දුවන සැමටම අලුත් ආරංචියකි.

සාමාන්‍යයෙන් අයිස් ක්‍රීම් කියු විට දරුවන් එයට වඩාත් කැමැති වෙයි. නමුත් මිරිස් රසැති අයිස් ක්‍රීම් ගැන කියූ විට ඒ ගැන දරුවන් පමණක් නොව වැඩිහිටියන් ද මවිතයට පත්වන මේ අයිස් ක්‍රීම් නිෂ්පාදනයට ලංකාතිලක යොමු වී ඇත්තේ ඉවතලන මිරිස් පොත්තෙන් ප්‍රයෝජනයක් ගැනීමේ අපේක්ෂාවෙනි.

ඒ ගැන අප කළ විමසීමේදී ඔහු තම අලුත්ම නිෂ්පාදනය ගැන සඳහන් කළේ මෙලෙසිනි. “කවුරුත් අයිස් ක්‍රීම් කන්නේ පැණි රසටනේ.... මම හිතුවා මේ රසය තරමක් වෙනස් කරන්න. එහෙම හිතලා තමයි මම බීජ ලබා ගැනීමට ගන්නා මිරිස්වල පොත්තෙන් ප්‍රයෝජනයක් අරගෙන අයිස් ක්‍රීම් නිෂ්පාදනය කරන්න හිතුවේ. ඒ අත්හදා බැලීම මම හිතනවාට වඩා හුඟාක් සාර්ථක වුණා. මේ අයිස් ක්‍රීම් එකේ තියෙන්නේ පැණි රස සහ මිරිස් රසයේ මිශ්‍රණයක්. ඒ කියන්නේ මේ අයිස් ක්‍රීම් එ‍ෙකන් අපි හැමදාම කන අයිස් ක්‍රීම් එකට වඩා වෙනත් නවමු රසයක් විඳගන්න අවස්ථාව ලැබෙනවා.

මගේ අලුත්ම සොයා ගැනීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ කෘෂි අංශ නවීකරණ වැඩසටහන යටතේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය හිමි වුණා. ඒ අනුව ලංකාවේ පළමු වරට මිරිස්වලින් නිෂ්පාදනය කළ මේ අයිස් ක්‍රීම් එක මට හදන්න අවස්ථාව ලැබුණා. මේ අයිස් ක්‍රීම් එක ගැන ඌව විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා තාක්ෂණ පීඨයේ මාර්ගෝපදේශකත්වය යටතේ පර්යේෂණ සිදු කළා. ඒ පර්යේෂණයෙන් මගේ නිෂ්පාදනය සාර්ථක බව තහවුරු වුණා. ඒ නිසා මගේ මේ අලුත් නිෂ්පාදනය ඉදිරියේදී වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේ අයිස්ක්‍රීම් එක දරුවන්ට එක් වර්ගයකුත් වැඩිහිටියන්ට තවත් වර්ගයකුත් ලෙසින් වර්ග දෙකකින් මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනවා. මම හිතනවා ඉදිරියේදී ලංකාව පුරාම සිටින අයිස් ක්‍රීම් ලෝලීන්ට මේ මිරිස් අයිස් ක්‍රීම් එක රස බලන්න අවස්ථාව උදා වේවි.”