පාත්තියම පණුවෝ කෑවම මං හිතු‍ෙව අපේ ජීවිතේම ඉවරයි කියලා

අපේ බිම්මල්වලින් ලංකාවටම සොසේජස් හදන වැලිමඩ මනෝජා
ජූලි 22, 2024

 

දහසක් කැපකිරීම් වෙනුවෙන්, රෑ දවල් දකින හීන බලාපොරොත්තු වෙනුවෙන්, මෙතෙක් නොලැබුණු වටිනාකම් වෙනුවෙන්, දවසක සොබාදහම හොඳම දේ දෙනවා. සත්‍යවාදී මිනිස්සුන්ට. ඔව්, ජීවිත ඇතුළේ ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා හදවත් සුන්දර මිනිස්සුන්ට. මේ කියන්න යන ඇයත් ඒ වගේම සුන්දර හදවතක් තියෙන හිත හයිය ගැහැනියක්. වැලිමඩ පදිංචි ඇය මනෝජා මාරසිංහ. ලිට්ල් ෆාම්හි හිමිකාරිණිය. බිම්මල්වලින් සොසේජස් හදලා ජීවිතය විතරක් නෙවෙයි පවුලම ගොඩ දාපූ ඇගේ කතාවයි මේ. ඇය ව්‍යවසායිකාවක්, ගුරුවරියක්, බිරියක්, මවක්, ගෘහිණියක්. මේ හැම භූමිකාවක්ම කිසි අඩුවක් නැතුව හරි අපූරුවට පවත්වාගෙන යන්න ඇයට තියෙන්නේ හරි පුදුම හැකියාවක්.

 

ඇය කතාව පටන් ගත්තේ මේ විදිහට...

මම බිම්මල් ව්‍යාපාරය පටන් ගත්තේ 2017 අවුරුද්දේ. නමුත් ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කළේ 2018 අවුරුද්දේ. එහෙම කරගෙන යද්දි තමයි බිම්මල්වලින් සොසේජස් හදන්න පටන් ගත්තේ. අද වෙද්දි බිම්වල්වලට වගේම මම නිෂ්පාදනය කරන බිම්මල් සොසේජස්වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා.

 

ඇයි මෙවැනි ව්‍යාපාරයක් කරන්න හිතුවේ?

මගේ මහත්තයා පෞද්ගලික අංශයේ රැකියාවක් කළේ. හිටපු ගමන් මහත්තයට රැකියාව අහිමි වුණා. මම උසස් පෙළ විභාගයත් හොඳින් සමත් වෙලා හිටපු කෙනෙක්. මම ජොබ් එකක් කළේ නැහැ. මහත්තයා බලාපොරොත්තු වුණේ මම ගෙදර වැඩ සහ දරුවන්ගේ වැඩ ගැන බලමින් එයාට සවියක් වෙන එක. අපි හුරුවෙලා තිබුණේ පවුලක් විදිහට එකට ඉන්න. මමයි, දුවයි, පුතයි, මහත්තයයි අපේ පවුලේ ඉන්නේ. අපේ බැඳීම හරි ලොකු එකක්. මහත්තයගෙ ජොබ් එක නැති වුණාම එයා වෙන කොහෙට හරි යයි කියලා මට බයක් දැනුණා. ඉතින් මට ඕනෙ වුණා හැමෝටම එකට ඉඳලා කරන්න පුළුවන් ගෙදර ඉඳලා මොනවා හරි පටන් ගන්න.

 

දැනුමක් එක්ක යන ගමන සාර්ථකයි කියලා හිතපු නිසාද බිම්මල් වගාව ගැන තවත් ඉගෙන ගන්න හිතුවේ?

මොකක් හරි දෙයකින් ඉස්සරහට යන්න නම් හැකියාව විතරක් තිබිලා මදි. දැනුමත් තියෙන්නම ඕනේ. ඉතින් මට ඕනෙ වුණා ඒ ගැන ඉගෙන ගන්න. ඉතින් මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පන්නල මාකඳුරේ පුහුණු මධ්‍යස්ථානයට ඇතුළුවී නේවාසික පුහුණුවක් ලබා ගත්තා. ඉන්පසුව බණ්ඩාරවෙල බිඳුණු වැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයෙන් බිම්මල් වගාව පිළිබඳව පුළුල් දැනුමක් ලබා ගත්තා.

 

ඕනෙම දෙයක් පවත්වාගෙන යනවාට වඩා ආරම්භ කිරීමයි අමාරු. ඉතින් ඔබේ පටන් ගැන්ම කොහොම ද? මම ඉගෙන ගත් දේවල් එක්ක 2017 වසරේදී බිම්මල් වගා මලු 300න් බිමිමල් වගාවට පිවිසුණා. වගා මලු ප්‍රමාණය 1500ක් දක්වා වැඩිකරන විට බිම්මල් වගාවට පණු උවදුරක් ඇතිවී විනාශ වෙන්න පටන් ගත්තා. මෙම වගාව පිළිබඳ දැනුමක් ඇති අයගෙන් මෙයට විසඳුමක් ඉල්ලා සිටියා. ඒ හැමදෙනාම කිව්වේ පණුවන් සිටින වගා මලු වහාම ඉවත්කර විනාශ කරන්න කියලයි.

එහෙම උපදෙස් ලැබුණත් මම සැමියා සමඟ බිම්මල් වගා මලු තබා තිබෙන කාමරයට කොහොඹ කොළ, සුදුලූනු පොතු හා සාම්බ්‍රාණි කුඩු මිශ්‍ර දුමාරයක් ඇල්ලුවා. ටික දිනක් ගත වනවිට බිම්මල් වගා මලුවල සිටි පණුවන් නැතිව ගියා. පමණක් නෙවෙයි සරුසාර බිම්මල් පලදාවක්ද ලැබුණා.

 

ස්වයං රැකියා අරඹන ගොඩ දෙනෙක් අතරමඟ නවතින්නේ වෙළෙඳපොළක් සොයා ගත නොහැකියි කියලයි. ඔබ මේ ගැටලුවට මුහුණ දුන්නේ කොහොම ද?

හැමදේම ප්‍රමිතියකට කරනවා නම් සහ වෙ‍ෙළඳපොළ සොයා යෑමේ ආශාවක් තියෙනවනම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මම ප්‍රමිතියෙන් යුතු බිම්මල් වගාවක් පවත්වාගෙන යන නිසාම කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් බිම්මල් වගා අධ්‍යයනයට මගේ බිම්මල් වගාව තෝරා ගත්තා. අපි බිම්මල් වගා බඳුන් 3000න් නිෂ්පාදන අලෙවිය ආරම්භ කළා. අද වනවිට වගාමලු 10000ක් ද බිම්මල් 7500ක් පමණ ඉතාමත් පහසුවෙන් අලෙවිකර ගන්නවා. අපේ බිම්මල් වගාබිම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුහුණු ආයතනයක් හැටියටත් ලියාපදිංචිකර තිබෙනවා. එම නිසා අපේ ආයතනයෙන් වගා පුහුණුව ලබාගන්න අයට හොඳ පුහුණු සහතිකයක්ද ලබා දෙනවා.

 

බිම්මල් වගා බඳුන් අලෙවි කිරීමත් ඔබේ අතින් සිදු වෙනවා නේද?

බිම්මල් වගා බඳුනක් හදලා මාස තුනක් යද්දි අපිට අස්වැන්න ගන්න පුළුවන්. ඉතින් ඒ මාස තුන ඇතුළත දී කරන්න වෙනත් වැඩක් නැහැ. ඉතින් කාලේ අපරාදේ නිසා මම හිතුවා මේ කාලයේදී වගා බඳුන් ටිකක් හදලා විකුණුවොත් කාටහරි උදව්වක් වෙයි කියලා. ඉතින් වගා බඳුන් හදලා විකුණන්න ගද්දි හිතපු නැති විදිහට ඉල්ලුම වැඩි වුණා. ඉතින් ගොඩක් අය අපෙන් වගා බඳුන් අරගෙන ව්‍යාපාරයක් කරන්න ඒ අයත් පටන් ගත්තා. වගා බඳුන් 1000න් හදන්න පටන් ගත්තේ. පස්සේ මැෂින් අරගෙන බොයිලේරු අරගෙන ප්‍රමාණය තව වැඩි කරා.

 

ගුරුමුෂ්ටියක් නැතුව තමා සතු දැනුම ලබාදෙන ගුරුවරියක් විදිහටත් මනෝජාව හඳුන්වනවා.

 

ව්‍යාපාරයේ දියුණුවත් සමඟ අපහසුතා ති‍ෙයන අය එයාලට නැඟී සිටින්න මේ ව්‍යාපාරය ආදායම් මාර්ගයක් කරගන්නේ කොහොමද කියලා මගෙන් අහන්න ගත්තා. මම අවුරුදු දෙකක් යනකම් කිසිම මුදලක් අය කරන්නේ නැතුව එයාලට කන්න බොන්න දීලා මේක ඉගැන්නුවා. ගොළු, බිහිරි දරුවන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් සහ විශ්‍රාම ගිය හමුදා සෙබළුන්ට, දියතලාව යුද හමුදා සංඥා බළකායේ සෙබළුන්ට පුහුණු වීම් කරනවා. ඒ වෙනුවෙන් 2022 සිරස මාධ්‍ය අනුග්‍රහයෙන් කරපු වනිතාභිමානි තරගයෙන් පළමුතැන ලැබුණා.

එතකොට බිම්මල්වලින් සොසේජස් හදන්න අදහස ආවේ කොහොම ද?

මට නිකමට වගේ අදහසක් ආවා. පස්සේ බිම්මල්වලින් මොනවා හරි නිෂ්පාදනයක් කරන්න තිබුණොත් හොඳයි කියලා. ඊට පස්සේ අපේම රෙසිපි එකකට බිම්මල් සොසේජස් හදන්න පටන් ගත්තා. ඒ වෙනුවෙන් විශාල මැෂින් ප්‍රමාණයක් ගන්න වුණා. අර්ධ පිසූ ආහාරයක් නිසා වගකීමක් ඇතුව වෙළෙඳපොළට දාන්න අවශ්‍ය වුණා. මුලින්ම අපි ඉල්ලන අයට පමණක් නිෂ්පාදනය කරලා දෙන්න පුරුදු වෙලා හිටියා. අද වෙද්දි බොහෝ ප්‍රදේශවලට බෙදා හරිනවා. මේ නිසාම 2023 වසරේ ඌව පළාතේ පැවති ව්‍යවසායකයින් තෝරා ගැනීමේ තරගයේදි මම ඌව පළාතේ හොඳම ව්‍යවසායිකා අභිමානි. සම්මානය හිමිකර ගත්තා. . අපගේ බිම්මල් සොසේජස්වලට ජාතික ප්‍රමිති ආයතනය විසින් ලියාපදිංචිකර සහතිකයක් ලබාදී තිබෙනවා. මේ වනවිටත් අපගේ බිම්මල් සොසේජස් මිලට ගැනීමට දිවයිනේ කීර්තිමත් වෙ‍ෙළද ආයතන ඉදිරිපත්ව සිටිනවා.

 

අද ඉන්න තැන ගැන මොකද හිතන්නේ...

 

මේ තැනට ආවේ පවුලේ හැමෝගෙම සහයෝගයෙන්. වැටුණු තැන් බොහොමයි. හැබැයි මම හැමතැනදිම නැඟිට්ටා. අපි හරිම ආදරණීය පවුලක්. බිරියක්, මවක්, ගෘහිණියක් සහ ව්‍යවසායිකාවක් විදිහට මම මගේ වගකීම් පැහැර හැරලා නැහැ. ඉතින් අද ඉන්න තැන ගැන ලොකු සතුටක් තියෙනවා. පවුලක් විදිහට අපි ලොකු ගමනක් ඇවිත් තියෙනවා. සැමියා වසන්ත පණ්ඩිතරත්න. එයා මට හැමදේටම හෙවනැල්ල වගේ හිටියා. දුව රුහුණු විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබනවා. දුව නිත්‍යා නවංජනී. පුතා උසස් පෙළ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා. පුතා හිරුණ නිම්සර. එතකොට මම ගමේ අයට රැකියා අවසථා සලසා දී තිබෙනවා.

 

වැලිමඩ සමූහ - ආර්. රාජමන්ත්‍රී