රටටම රස බෙදා ගම පිටින් ගොඩ ගිය අම්පාගල ගැමියෝ

අගෝස්තු 5, 2024

අප උපන් මේ ලක් දෙරණ ඉතා සරුසාරය. මේ සරුසාර පොළොවේ වැවෙන බොහෝ දෑ මුදල් උපයන උල්පතකි. පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා වැවෙන මේ බව භෝගවල ගුණය හා එහි අගය මිල කළ නොහැකි වෙයි. එනසාල්, කරාබුනැටි, ගම්මිරිස්, සාදික්කා, ගොරකා, කහ, ඉඟුරු, කුරුඳු වැනි කුළුබඩු රාශියක් ලබාගන්නා භෝග වර්ග මේ පුණ්‍ය භූමියේ විවිධ ප්‍රදේශවල ඉතාම හොඳින් වැවේ.

මෙලෙසින් කුළුබඩු සඳහා ගන්නා භෝග වර්ග වලට මේ වන විට දේශීය වෙ‍ෙළඳපොළේ මෙන්ම විදේශීය වෙ‍ෙළඳපොළේ ද විශාල ඉල්ලුමක් පවතී. කරාබු නැටි, එනසාල්, සාදික්කා වැනි භෝග සඳහා දේශීය වෙ‍ෙළඳපොළට වඩා වැඩි ඉල්ලුමක් පවතින්නේ විදේශීය වෙ‍ෙළඳපොළේය. මේ ඉල්ලුමට සරිලන ලෙසින් අපට වෙ‍ෙළඳපොළට සැපයීම කුළුබඩු වර්ග සපයා ගැනීම ද මේ වනවිට විශාල අභියෝගයක් බවට පත් වී තිබේ. මෙවැනි භෝග සඳහා කොයි තරම් හොඳ ඉල්ලුමක් පැවතියත් ඒවා සැපයීම සඳහා ක්‍රමවත් වූ වැඩ පිළිවෙළක් සහ සැලැස්මක් පිළිබඳ අපට අසන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකි.

ගෘහස්ත කර්මාන්තයක් ලෙස දේශීය කුළුබඩු ඇසුරුම්කර වෙළෙඳපොළට සැපයීම සාර්ථක ස්වයං රැකියාවකි. මෙවැනි සේවයට රැකියාවක් විශේෂයෙන්ම කාන්තාවන්ට හොඳින්ම ගැළපෙන සාර්ථක ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමට පහසු කර්මාන්තයකි.

මේ සාර්ථක වූ ව්‍යාපාරය නිවැරැදි ලෙසට හඳුනාගත් ගම්මානයක් පිළිබඳ අපට අසන්නට ලැබුණේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ප්‍රදේශයෙනි. පන්නල උතුර, අම්පාගල නම් ගම්මානය මෙවන් අපූරු ස්වයං රැකියාවන් කරන පවුල් රැසක්ම සිටින පුංචි ගම් පියසකි. කුරුඳු, තේ, කරාබුනැටි, ගම්මිරිස්, එනසාල් වැනි භෝග රාශියක් වැවෙන මේ ගම්මානයේ පවුල් රාශියක මුදල් උපයන කර්මාන්තය බවට පත්ව ඇත්තේ කුළුබඩු පැකට්කර ඒවා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමයි. එසේම මෙම කුළුබඩු නිෂ්පාදනයට අමතරව විවිධ වර්ගයේ ආහාර වර්ග ඇසුරුම් කිරීමට ද මේ ගම්මානයේ ගෘහිණියන් යොමු වී ඇත්තේ එහි සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව මෙම කුළුබඩු වර්ග පැකට් කිරීමට අමතරව ආහාරයට ගන්නා බොහෝ දෑ ඔවුන් පැකට් කරනු ලබයි. කරවල, පොල්තෙල්, ලුණුදෙහි, බයිට්, කුකුළු සායම් හා විවිධ රස කැවිලි වර්ග රැසක්ම මේ ගමේ කාන්තාවන් විසින් පැකට්කර වෙළෙඳපොළට ඉදිරිපත් කරන්නේ ඉතාමත් ආකර්ෂණීය ලෙසිනි.

මෙලෙස දේශීය ආර්ථිකයට ශක්තියක් වෙමින් ස්වයං රැකියාවක් ලෙස ආහාර වර්ග හා කුළුබඩු ඇසුරුම් කරන මේ ගම්මානය සොයා අප ගියේ එම ව්‍යාපාරයේ සාර්ථකත්වය දැකගැනීමේ අපේක්ෂාවෙනි. මෙහිදී අපට මේ ගම්මානය පිළිබඳ මඟපෙන්වීමක් කළේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා තේජා ජයසුරිය මහත්මියයි. ඇය මේ ගම්මානය බිහි වූ ආකාරය පැහැදිලි කළේ මෙලෙසිනි.

" පන්නල, උතුර අම්පාගල ගම්මානය කියන්නේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුඩා ගමක්. මේ ගමේ පවුල් 170ක් පමණ සංඛ්‍යාවක් ජීවත් වෙනවා. මේ ගමේ බොහෝ දෙනෙක් තේ වගාව ඇතුළු විවිධ භෝග වගා කරනවා. ගම්මිරිස්, කුරුඳු, එනසාල්, කරාබුනැටි වැනි භෝග තමයි වගා කරන්නේ. ඒ පසුබිමත් සමඟ කාලයක පටන්ම මේ ගමේ පවුල්වල ගෘහස්ත කර්මාන්තයක් ලෙස කුළුබඩු නිෂ්පාදනය හා ඇසුරුම් කිරීම කරනවා. මේ පවුල්වල සාමාජිකයින් විසි එක් දෙනෙකුගේ එකතුවෙන් ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කිරීමේ සමිතියක් පිහිටුවාගෙන තිබුණා. අපි මේ සමිතියට අත දීමක් ලෙසින් 2021 වසරේදී සෞභාග්‍ය ආහාර, කුළුබඩු නිෂ්පාදනය හා ඇසුරුම් කිරීමේ ගම්මානයක් ආරම්භ කළා. මේ ගම්මානයේ ව්‍යවසායකයෝ පනස් දෙනෙක් ඉන්නවා. අපි සෞභාග්‍යා කාර්යාලය මඟින් එම ව්‍යවසායකයන්ට තිබුණු පැරණි ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථාන‍ෙය් ගොඩනැඟිලි රුපියල් ලක්ෂ19ක වියදමින් ප්‍රතිසංස්කරණය කළා.

ඊට අමතරව ඔවුන්ට නාම පුවරු ඇතුළු විවිධ උපකරණ රාශියක් ලබා දීමට කටයුතු කළා. මුලින්ම අපි මේ අයට කුඩා සීලර් 40ක් සහ තරාදි විස්සක් ලබා දුන්නා. මේවා ඔවුන්ට ලබා දෙන්නේ මෙම උපකරණවල වටිනාකමින් සියයට පනහක් පමණ ව්‍යවසායකයින් දැරීමේ පදනම මතයි. ඒ ආකාරයටම 2023 වසරේදී විශාල සීලර් හතරක් බ්ලෙන්ඩර් හයක් ලබා දෙමින් විශාල දිරිගැන්වීමක් කළා. මේ උපකරණ ලබාදීමට අමතරව අප රජයේ වියදමින් කාන්තාවන් සඳහා පුහුණු වැඩසටහන් රාශියක් පවත්වා තිබෙනවා. එසේ ඔවුන්ට ලැබුණු පුහුණු වෙන්න ඉතා සාර්ථක ලෙස තම ව්‍යාපාර දියුණු කරගත් කාන්තාවන් විශාල පිරිසක් සිටිනවා. ඔවුන් ඒ තත්ත්වයට පැමිණීම අපටත් විශාල සතුටක්. ගෘහිණියක් ලෙස මේ ආකාරයට තමුන්ගේ නි‍ෙවසේ කටයුතු අතර ආර්ථික වශයෙන් ශක්තිමත් වීම හොඳ ප්‍රවණතාවක්.

ඔවුන්ගේ මේ උත්සාහය හා උනන්දුව අපේ රටේ සෑම කාන්තාවකටම තිබෙනවා. අපේ මේ සෞභාග්‍යා ගම්මානයේ සිටින දිරිය කාන්තාවන් වගේ ඕනෑම කාන්තාවකට දියුණු වෙන්න පුළුවන්. අපි ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා උපරිම සහයෝගය ලබා දෙන්න අපගේ සංවර්ධනය නිලධාරීන් හා අනෙකුත් නිලධාරින් සෑම විටම කැමැත්තෙන් සිටිනවා.

” තම උත්සාහයෙන් දිරියෙන් නැඟී සිටින මේ ගම්මානයේ ජනතාව මේ වනවිට අභියෝග රැසකට මුහුණ දී සිටියි. සෞභාග්‍යා සමිතිය මඟින් විවිධ අයුරින් සහයෝගය ලබා දුන්නත් තරගකාරී වෙළෙඳපොළ තුළ තම නිෂ්පාදන අලෙවිකර ගැනීම ඔවුන්ට විශාල අභියෝගයක් වී තිබේ. මහා පරිමාණයේ කුළුබඩු නිෂ්පාදන ආයතනය මඟින් සිදුකරන ප්‍රචාරය හා වෙළෙඳ ජාලය නිසා තමුන්ගේ නිෂ්පාදන පිළිබඳ පාරිභෝගිකයා තුළ විශ්වාසයක් ඇති කිරීම ඔවුන් ඇති ප්‍රබලතම ගැටලුවයි. එසේම ඔවුන්ගේ නිෂ්පාදන ගුණාත්මක බවත් ඉහළ මට්ටමින් පැවැතිය ඒවා ගැන පාරිභෝගිකයන් අතරට රැගෙන යන්නට ප්‍රචාරක ජාලයක් ඔවුන්ට නොපවතී.

මේ ගම්මානයේ නිෂ්පාදකයන් මුහුණ දෙන තවත් ගැටලුවක් වී ඇත්තේ එම නිෂ්පාදනය අලෙවිය සඳහා නිසි ප්‍රවාහන ජාලයක් නොතිබීමයි. තමුන්ගේ පෞද්ගලික ත්‍රි රෝද රථයක් හෝ පා පැදියකින් තම නිෂ්පාදනය අලෙවි කිරීම හැර නිසි අයුරින් එම නිෂ්පාදන බෙදා හැරීමේ ක්‍රමවේදයක් නිර්මාණය නොවීම ද විශාල අඩුපාඩුවක් හා ගැටලුවකි. මෙම ගැටලු දෙකට අමතරව මේ නිෂ්පාදනයන් වර්තමානයේ තවත් දැවැන්ත අභියෝගයකට මුහුණ දෙයි. ඒ ඔවුන්ගේ නිෂ්පාදන පැකැට් කිරීම සඳහා යොදා ගන්නා පොලිතින් හා කාඩ්බෝඩ් වැනි අමුද්‍රව්‍ය සඳහා දැරීමට සිදුවන අධික පිරිවැයයි. මෙසේ විවිධ වූ අභියෝග රාශියකට මුහුණ දෙන ඔවුන් දිරිය ශක්තියෙන් තම දෙපයින් නැඟී සිටීමට ගන්නා උත්සාහ රටටම ආදර්ශයකි. සෞභාග්‍යා සමිතිය මඟින් සිදුවන සේවාවට අමතරව ඔවුන්ගේ නිෂ්පාදන සඳහා නිසි වෙළෙඳපොළක් නිර්මාණයකර ගැනීමට හැකි නම් ඔවුන්ගේ මේ ව්‍යාපාරය තවත් සාර්ථක වනු නියතය. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ඔවුන් මෙම සමිතියට විවිධ අයුරින් සහයෝගය ලබාදුන්නත් මේ නිෂ්පාදන ගම්මානයේ ව්‍යවසායකයන් ප්‍රාෙයා්ගිකව අර්බුද රැසකට මුහුණ දී තිබෙයි.

නවීන තාක්ෂණයේ උපකරණ සමඟ වෙළෙඳපොළට එන මහා පරිමාණයේ ආයතනවල නිෂ්පාදන සමඟ තරග කිරීම සඳහා ඔවුන්ට එවැනි උපකරණ සපයා ගැනීමට දැරීමට සිදුවන ප්‍රාග්ධනය සොයා ගැනීම විශාල ගැටලුවකි. එසේම ගුණාත්මක බවින් ඉහළ කුළුබඩු සොයා ගැනීම ද මේ වනවිට ඔවුන්ට ගැටලුවක් පමණක් නොව හිඟයක් ද පවති. දැවැන්ත ව්‍යාපාරිකයන් විසින් කුළුබඩු ඉහළ මිළට තොග වශයෙන් මිලදී ගැනීමට යොමු වී තිබීම හමුවේ ගෘහස්තව නිවාසවල වගා කරන ගම්මිරිස්, කරුංකා, සාදික්කා, එනසාල්, කහ වැනි දෑ විජලනයකර කල්තබා ගනිමින් ඒවා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ඔවුන්ට නිසි උපකරණ නොවෙයි. මෙවැනි අභියෝග රැසකට තම ව්‍යාපාරය මුහුණ දුන්නත් තමුන්ගේ උත්සාහයෙන් කිසිවෙකුට දොස් පවරමින් නොසිට රජයෙන් සියල්ල ලැබෙන තුරු බලා නොසිට ඔවුන් ගන්නා උත්සාහ මෙවැනි ව්‍යාපාරයක් සඳහා යොමුවන්නට සිහින දකින සැමටම ආදර්ශයකි.