මන බඳින රූපලාවණ්‍යාගාරයක් ඔබටත් හිමි ද?

සැප්තැම්බර් 2, 2024

රූපලාවණ්‍යාගාරයක් පවත්වා ගෙන යන ඔබ එය සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කර ගත යුතුයි. NVQ 4 රූපලාවණ්‍ය පාඨමාලාව ඔබට ඒ සඳහා ද උදව්වක් ලබාදෙයි.

ධනවාදී ආර්ථිකයන්හි ව්‍යාපාරවලට ප්‍රමුඛ ස්ථානයක් හිමිවන අතර බොහොමයක් පෞද්ගලික අංශය විසින් අයිතිකරුවන්ගේ ධනය වැඩි කිරීම සඳහා ලාභ අපේක්ෂාවෙන් පවත්වාගෙන යයි.

මෙය එක් පුද්ගලයෙකුට පමණක් හිමි තනි පුද්ගල ව්‍යාපාරයක් විය හැකියි. එසේත් නැත්නම් පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් ඇති හවුල් ව්‍යාපාරයක් විය හැකියි.

රූපලාවණ්‍යාගාරයක කළමනාකාරීත්වය

රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යාමේදී නියමිත කාලය කළමනාකරණය කර ගනිමින්, භාණ්ඩ හා උපකරණ නියමිත ස්ථානයන්හි ස්ථානගත කරමින්, සේවා දායකයා හට ප්‍රියමනාප පරිසරයක් සකසමින්, ඔවුන්ගේ සේවා අවශ්‍යතාව තෘප්තිමත් අන්දමින් කරන, ආදායමක් උපයන ස්ථානයයි.

 

පිළිගැනීමේ ස්ථානය (Reception)

* රූපලාවණ්‍යාගාරයකට සේවා දායකයෙක් පැමිණි විට සුහදව පිළිගෙන අවස්ථාව හඳුනා ගැනීම.

* සෑම විටම සේවාදායකයාට විශ්වාසය තහවුරු වන අයුරින් කටයුතු කිරීම.

* කාර්ය කිරීමට කාලය ගතවන්නේ නම් ඒ බව සේවාදායකයාට දන්වා සුවපහසු ලෙස වාඩිවීමට සැලැස්වීම.

* සුහදව දුරකතනය අමතා කාර්යන් ඇමතුම් පොතක සටහන් කිරීම.

* ඇමතුම් පොතක් භාවිතයෙන් සේවාදායකයාට අපහසුවක් නොවන පරිදි කාලය කළමනාකරණය කරගත හැකිවීම.

* කවුන්ටර් මත ඇමතුම් දින පොත, පැමිණීමේ ලේඛන, දින දර්ශනයක්,, ලදුපත්, පෑන්, පැන්සල්, විසිටින් කාඩ් තැබීම.

* සෑම දිනකම පිළිගැනීමේ කවුන්ටරය මත නැවුම් මල් සැකසුමක් තැබීම.

* අලෙවිය සඳහා ආලේපන කවුන්ටරයේ තිබීම.

* සේවාදායකයාට ආරක්ෂාකාරී ක්‍රමවත් සේවයක් සලසා දීමට යොමු කිරීම.

* සෑම විටම සේවාදායකයාට කරන කාර්යය පිළිබඳ දැනුම්වත් කර ඒ සඳහා අය කිරීම් පිළිබඳ දැනුම්වත් කිරීම.

* සේවාදායකයා පිටවී යන විට ස්තුති කර නැවත එන දිනය දැනුම් දීම.

රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන විට

 

දැනගත යුතු නීති රීති

* රූපලාවණ්‍යාගාරයක් ලියාපදිංචි කිරීම

* ග්‍රාමසේවක සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ අධීක්ෂණයෙන් පසුව ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය ලබා ගත යුතුයි.

* නාගරිකව නම් නගර සභාවේ අනුමැතිය ලබාගත යුතුයි.

* භාවිත කරන ආලේපන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහතික කරන ලද ආලේපන පමණක් භාවිතයට ගත යුතුයි.

* සේවකයින් සඳහා සේවක අර්ථසාධක අරමුදල් ගෙවිය යුතුයි.

* ආදායම් බදු ගෙවිය යුතුයි.

සේවා ආයතනයක් පවත්වාගෙන යාමේදී පහත සඳහන් කරුණු ද සලකා බැලිය යුතුයි.

* අසල්වැසියන්ගේ තත්ත්වයට සුදුසු වටපිටාවක් ආයතනය සතු විය යුතුයි.

* ආයතනයට පැමිණීම සඳහා පහසුකම් තිබිය යුතුයි.

* වාහන නැවැත්වීමේ පහසුකම් තිබීම

* වැඩ කිරීමට ප්‍රමාණවත් ඉඩකඩ තිබීම

* අනාගතයේ දිනෙක රූපලාවණ්‍යාගාරය විශාල කිරීමට ඉඩ පහසුකම් තිබීම

* අය කරන ගාස්තු සාධාරණ වීම

* ව්‍යාපාරය සැලසුම් කිරීමට සහ වියදම් කිරීමට ප්‍රමාණවත් මුදල් තිබීම.

* රූපලාවණ්‍යාගාරයක පුහුණු නුපුහුණු සේවකයන් දෙවර්ගයම සිටිය හැකියි.

හැම විටම පුහුණු සේවකයන් යටතේ නුපුහුණු සේවකයන් සිටිය යුතුයි.

* හැකි හැම විටම රූපලාවණ්‍යාගාරයක් තුළ නවීන තාක්ෂණයෙන් හෙබි යන්ත්‍ර උපකරණ භාවිත කිරීමෙන් පාරිභෝගිකයින් විශ්වාසයෙන් යුතුව ඒ කරා ඇදී ඒවී.

* විවිධ මිල ගණන් යටතේ වන සන්නාම නාමයන්ගෙන් යුතු උපකරණ භාවිත කළ යුතුයි. ඒ අනුව පාරිභෝගික ඉල්ලුම අනුව ඒ ඒ සන්නාමයන් භාවිත කළ හැකියි. මේ සියල්ල ගුණාත්මක ඒවා වීම අතිශය වැදගත් වේ.

 

නවීන උපකරණ

ආයතනයට අවශ්‍ය උපකරණ සහ උපාංග සවිකිරීම වර්තමානයට ගැළපෙන අයුරින් කළ යුතුයි. බිත්තියට සවි කළ කණ්ණාඩි, පුටු, මේස, හිස සෝදන Shampoo Uits, Facial Bed ආදී සියල්ල එකම වර්ණයෙන් සහ හැඩයෙන් සුදුසු ලෙස ගළපා ගත යුතුයි. මේ තුළින් රූපලාවණ්‍යාගාරයට ඉහළ වටිනාකමක් ලැබේ.

 

විදුලිය සහ ආලෝකය

ස්වභාවික හෝ කෘත්‍රිම ආලෝකය අවශ්‍ය පරිදි උපයෝගී කරගෙන ආයතනයට නැවුම් පෙනුමක් ගෙනදිය හැකියි. සෑම කාර්යකදීම විදුලිය අවශ්‍ය වන නිසා ඒවා සැලසුම් සහගතව ආරක්ෂිතව සවිකළ යුතුයි. A/C සහ විදුලි පංකා අදාළ තැන්වල සවිකළ යුතුයි. අක්‍රමවත් විදුලි පරිපථ උපකරණ පිලිස්සීමට හා සේවාදායකයාට හානිකර විය හැකි බැවින් ඒවා සවි කරවීමේදී සැලකිලිමත් විය යුතුයි.

 

සනීපාරක්ෂාව

වැසිකිළි සහ අපද්‍රව්‍ය බැහැර කිරීම ක්‍රමානුකූලව ස්ථානගත කළ යුතුයි. උදේ සවස විෂබීජ නාශක දමා පිරිසුදු කළ යුතු අතර සෑම භාවිතයකටම පසුව ක්‍රමානුකූලව ජලය බැහැර කිරීමට හැකි විය යුතුයි.

 

පරිපාලනය

රූපලාවණ්‍ය ආයතනයක් සාදා ගැනීමට වඩා පාලනය කිරීම වගකීම් සහතික වේ. ව්‍යාපාරයක් සඳහා අවංක භාවය, වගකීම නිසි පරිදි ඉටු කළ යුතුයි. මහන්සි වී වැඩ කිරීම, මුදල් පාලනය, කාර්ය මණ්ඩලය පාලනය කිරීම, සේවක සම්බන්ධතා සහ හැකියාව පවත්වාගෙන යෑම, නිතර කාර්ය මණ්ඩලය රැස්වීම, සාකච්ඡා කිරීම, ගැටලු, අඩුපාඩු, ඉදිරි සැලසුම් සහ ප්‍රගතිය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම තුළින් සේවාදායකයාට වඩ වඩාත් විශ්වසනීය සේවයක් ලබාදිය හැකියි.

 

පිරිසුදුකම ඇතිකර ගැනීම

තමන්ගේ තත්ත්වය මෙන්ම අන් අයගේ ආරක්ෂාව සඳහාත් ආයතනය ඉතාම පිරිසුදුව තබා ගත යුතුවේ. හිස කෙස් වියළීමට භාවිත කරන තුවා සහ අනිත් උපකරණ මෙන්ම ෆේෂල් කිරීමේ කාර්ය සඳහා යොදාගන්නා ඇඳුම් සහ තුවා ආදිය වෙන වෙනම නැමිය යුතු අතර දූවිලි පිස දැමීම සඳහා භාවිත කරන උපකරණ වෙනමද තැබීම අත්‍යවශ්‍ය වේ.

 

* දිනපතා උපකරණ පිසදා වතුර ඉවත් කළ යුතු වේ.

* කන්නාඩි දිනපතා ඇඟිලි සලකුණු නැති වන සේ පිස දැමීම.

* පනා බ්‍රෂ් ආදියෙහි කෙස් ඉවත් කර පිරිසුදු කිරීම.

* එක් සේවා දායකයකුට භාවිත කළ පසු සෑම උපකරණයක්ම සෝදා පිරිසුදු කිරීම.

* දිනපතා සින්ක්, බේසම් වල කුණු ඉවත් කර පිරිසුදු කිරීම

* වැසිකිළි දිනකට දෙවතාවක් සේදීම

* මල් බඳුන්, පින්තූර පිළිවෙළකට තැබීම

* පිළිගැනීමේ කවුන්ටරය පිළිවෙලකට හා පිරිසුදුව තැබීම

* උසස් මානසික මට්ටමකින් පවත්වාගෙන යාම, චාම් මේක් අප් රටාවක් පහසු ඇඳුම් හිස කෙස් විලාසිතා හැසිරීම් පිළිවෙළ නිවැරැදි ඉරියව් වැනි ගතිගුණ ද ඇහුම්කන් දීම, සැලකීම වැනි යහපත් පුරුදු පවත්වාගෙන යෑම වැදගත් වෙයි.

කොණ්ඩ මෝස්තර හා රූපලාවණ්‍ය ශිල්පීන් පිළිපැදිය යුතු නීති මාලාව

වෘත්තීය ශිල්පියකු ලෙස තම නීතිරීති අනුගමනය කරමින් සේවයේ යෙදීම හා යෙදවීම මෙන් බලාපොරොත්තු වෙයි. සේවකයා හා සේව්‍යා එකිනෙක සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.

 

 

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය පිළිබඳ ශිල්පිනී ඉෂාරා කෝරළගේ