වර්ෂ 2024 ක්වූ December 09 වැනිදා Monday
ජීවිතය මල් කරගන්න මල් වවන්න හරියට ඉගෙන ගන්න
හරියටම ඕකිඩ් මෙහෙම වවමු
පිනි සිසිලෙන් නැහැවෙමින් මඳ සුළඟට සිනාසලන සොඳුරු මල් කුමාරියන් ගෙවත්තට ගෙන එන්නේ පුදුමාකාර සුන්දරත්වයකි. මේ අපූරු මල් කුමාරියන් අතරේ අාඩම්බරයෙන් හිනැහෙන කුසුම් රාජිනිය තමයි ඕකිඩ්. ඒ නිසාමදෝ මන්දා ඕකිඩ් කුමාරියන් දෙතුන් දෙනෙක් තමන්ගේ මල් උයනට කැඳවාගන්නට අපි කවුරුත් දැඩි කැමැත්තක් දක්වන්නෙමු.
ඉතින් එහෙමනම් එන්න හැඩකාර, ආඩම්බරකාර ඕකිඩ් කුමාරියන්ගේ වතගොත දැන හඳුනාගෙනම අපි ඔවුන් ගෙමිදුලට කැඳවා ගනිමු.
ඕකිඩ් එහෙමත් නැතිනම් උඩවැඩියා කියල කියන්නෙ ඔකිඩේසියේ (Orchidaceae) ශාක කුලයට අයත් ඒක බීජ පත්‍රී බහු වාර්ෂික පැළෑටි ඛාණ්ඩයකි.
මේවා අලංකාර බඳුන්ගත පැළෑටි වශයෙන් මෙන්ම කැපුම් මල් ලෙසින් ගෙතුළ මෙන්ම ගෙමිදුල ද සරසනු ඇත.
සාමාන්‍යයෙන් මේ කුලයට අයත් උඩවැඩියා විශේෂ විසිදහසක් පමණ ඉක්මවන අතර දෙමුහුන් කර වැඩි දියුණු කළ, උඩවැඩියා විශාල ප්‍රමාණයක් පවතී.
එබැවින් විවිධත්වයකින් යුත් අලංකාර වර්ණ සහිත ඕකිඩ් වර්ග බොහොමයක සුන්දරත්වය අපට රිසිසේ විඳ ගැනීමට හැකියාව පවතී.
ඕකිඩ් ශාකයේ වගා මාධ්‍යය එහෙමත් නැතිනම් වැඩෙන ස්ථානය අනුව කොටස් දෙකකට බෙදේ. එනම්,
භෞමික ඕකිඩ් (Terrestrial Orchid)
ශාක අවට තෙතමනය ඇති ස්ථානවල දිරූ කොළ පොහොර සහිත, ජලය බැසයන කාබනික පස මත වැඩෙයි. ශාකයට අවශ්‍ය ජලය සහ පෝෂණය පසෙන් ලබාගනී. මෙම ශාකවල හටගන්නා මල්, කැපූ මලක් ලෙස වටිනාකමක් නොමැත.
අපිශාක ඕකිඩ් (Epiphytic Orchid)
තෙතමනය අධිකව ඇති ස්ථානවල පවතින ගස්මත හෝ එම ශාක අතුමත සවි වී වැඩේ. ශාකයට අවශ්‍ය ජලය, පෝෂණය වාතාශ්රයේ ඇති ජල වාෂ්ප මඟින් මෙන්ම වැසි ජලයේ ඇති ජල වාෂ්ප සහ වැසි ජලයේ අඩංගු ඛනිජ ලවණවලින් ලබාගනියි. කැපුම් මල් සඳහා වැඩි වශයෙන් භාවිත කරන්නේ නම් අපිශාක ඕකිඩ්ය.
මේ උඩවැඩියා ශාක වර්ධනය වන විලාසය අනුවත් කොටස් දෙකකට බෙදේ. ඒ ඒකපාදී වර්ධක සහ බහුපාදී වර්ධක වශයෙනි.
ඒකපාදී වර්ධක විලාසය (Monopodial Orchid)
මේ ශාකවල වර්ධක අග්‍රය කඳෙහි ඉහළින් පිහිටමින් සිරස්ව වර්ධනය වේ. තනි අංකුරයකින් සමන්විත මේ ඒකපාදී ඕකිඩ් ලෙස වැන්ඩා, ඇරැක්නීස් වැනි වර්ග උදාහරණ ලෙස දැක්විය හැකිය.
බහුපාදී වර්ධක විලාසය (Sympodial Orchid)
මේ ඕකිඩ් වර්ගවල වර්ධක අග්‍රය කඳෙහි පහළින් පිහිටන අතර තිරස්ව වර්ධනය වේ. මේවායේ අංකුර ව්‍යාජ බල්බ කිහිපයකින් සමන්විත වන අතර කඳ කොටස රෛසෝමයකි. ඩෙන්ඩ්‍රොබියම්, කැට්ලියා, ඔනිසිඩියම් වැනි උඩවැඩියා මේ බහුපාදී වර්ධක වර්ග ලෙස හැඳින්විය හැකිය.
ශ්‍රී ලංකාවේ බඳුන්ගත පැළ වගාවට මෙන්ම කැපුම් මල් සඳහා සුදුසු ඕකිඩ් වර්ග අපි ලබන සතියේ හඳුනා ගනිමු.
උපදෙස් -
කෘෂි විද්‍යාඥ, කථිකාචාර්ය
ඩබ්.යූ. එල්. අඹගස්පිටිය