වර්ෂ 2024 ක්වූ December 23 වැනිදා Monday
ව්‍යාපාරික වගාවට සේම ගෙවත්ත සරසන්නත් කදිම ප්‍රභේද
හිමිදිරි උදෑසනක පිනි සිසිලක පහස ලැබූ උඩවැඩියා මල් කුමාරියන් කොයිතරම් නම් අපූරුද? මල් ලෝකයේ ආඩම්බරියගේ මේ චමත්කාරය රිසි ලෙස විඳගන්නට නම් පාට පාට මල් කොමලියන් කිහිපදෙනෙක්ම ගෙවත්තට කැඳවාගන්නට අපට සිදු වෙනවා.
හැබැයි මේ අපූරු හැඩකාරියන් ඔබ සතු කර ගන්නට කලින් ඔවුන්ගේ වතගොත දැන සිටීමත් හරිම වැදගත්. ඒ කියන්නෙ බඳුන්ගත වගාවට සුදුසු වර්ග, ගෙමිදුලට ඔබින වර්ග වාගේම ව්‍යාපාරික මල් වගාවකට සුදුසු වර්ග මොනවාදැයි අපි නිවැරැදිව හඳුනා ගත යුතුයි. ඒ අනුව අපි පසුගිය සතියේ ඩෙන්ඩ්‍රෝබියම් සහ වැන්ඩා ප්‍රභේද හඳුනාගත් නිසා අද කැටලියා, පැලනොප්සිස් සහ ඔන්සීඩියම් ප්‍රභේද හඳුනා ගනිමු.
කැටලියා
කැටලියා ඕකිඩ් ප්‍රභේදය යනු බහුපාදී වර්ග විලාසයක් සහිත අපිශාකයකි.මෙය වැඩෙන්නේ තරමක් සෙමෙනි. විචිත්‍ර වර්ණයන්ගෙන් යුත් ඉතාමත් ආකර්ෂණීය කැටලියා මල විශාලය. එබැවින් මල් කිනිත්තක හටගන්නා මල් කිනිති ප්‍රමාණය ද අඩුය. වටිනාකමින් වැඩි මේ කැටලියා වඩාත් සුදුසු වන්නේ බඳුන්ගත පැළෑටියක් වශයෙන් වගා කිරීමටයි.
ඔන්සීඩියම්
බහුපාදී වර්ධන විලාසයන් දරන ඔන්සීඩියම් ප්‍රභේදයේ භෞමික සහ අපිශාක යන ආකාර දෙකම දක්නට ලැබේ. මේ උඩවැඩියා කුමාරිය සතු විශේෂත්වය නම් ඒවා අලංකාර නැට්ටුවකුගේ හැඩයක් ගැනීමයි. එබැවින් මෙරට බොහෝදෙනකු ඔන්සීඩියම් ප්‍රභේදය හඳුන්වන්නේ ‘කැන්ඩියන් ඩාන්සර්‘ යන ආදරණීය නාමයෙනි. එලෙස ඔබ හොඳින් දන්නා හඳුනන කැන්ඩියන් ඩාන්සර් එහෙමත් නැතිනම් ඔන්සීඩියම් කැපුම් මල් වශයෙන් මෙන්ම බඳුන්ගත පැළ වශයෙන් ද වගා කෙරේ.
පැලනොප්සිස්
මනාලියන්ගේ අතරැඳි සොඳුරු මල් කළඹ හැඩ කරනා මේ ඒකපාදී වර්ධන විලාසයක් සහිත පැලනොප්සිස් ප්‍රභේදය අපිශාකයකි. කෙටි කඳක් සහිත මෙහි මාංසල පත්‍ර දැකිය හැකියි. කල් පැවැත්මෙන් වැඩි පැලනොප්සිස් මල සලබයකුගේ අපූරු පෙනුමට සමානය. මිල අධිකතම උඩවැඩියා විශේෂය වූ මෙය බඳුන්ගත පැළෑටි වශයෙන් මෙන්ම කැපුම් මල් ලෙසින් වගා කෙරේ.
මෙරටට ආවේණික ප්‍රෙභ්ද
ව්‍යාපාරික, බඳුන්ගත ආදී වශයෙන් වූ විවිධාකාරයේ ඕකිඩ් ප්‍රභේද අතර ශ්‍රී ලංකාවට ආවේණික වූ වර්ග කිහිපයක් ද දක්නට ලැබේ. ඒවායේ මල්වල හැඩය, වර්ණය හේතු කරගෙන නම් ලැබී ඇති අතර මේවා ලංකාව තුළ පමණක් දක්නට ලැබීමත් විශේෂයි.
* පරෙව් ඕකිඩ්
* වෙසක් ඕකිඩ්
* ගුරුළුරාජ ඕකිඩ්
* වැන්ඩා ටෙසලාටා
එයින් කිහිපයකි. මේවා තරමක් කැලෑබද හෝ ගම්බද ප්‍රදේශ ආශ්‍රිතව වැඩෙන අතර ගෙවත්ත සරසන්නට මිස ව්‍යාපාරික වගාවක් ලෙස දැකිය නොහැක.