වර්ෂ 2025 ක්වූ January 13 වැනිදා Monday
ඕකිඩ් කියන්නෙම සල්ලි ආකරයක්
සිනාකැන් විහිදුවමින් විකසිත වන උඩවැඩියා කුමාරියන් කොයිතරම් නම් සුන්දරද? ගෙවත්තට වාගේම ගෘහ අභ්‍යන්තරයටත් කදිම කලඑළියක් එකතු කරනා මේ හැඩකාරියන් සරුසාරව හදා ගන්නේ නම්, ඔබේ පසුම්බියටත් එය අපූරු ඉතිරියක් වේවි.
සරුසාර ඕකිඩ් වගාවකට මනා දේශගුණික තත්ත්වයක් මෙන්ම ජලය, පොහොර, සෙවණ ආදියත් නිසි ප්‍රමිතියකින් යුතුව කලට වේලාවට ලැබිය යුතුමයි. අද අපි ඒ පිළිබඳ සොයා බලමු.
සෙවණ ගෘහයක් සැකසීම
සාමාන්‍යයෙන් ගෙමිදුලේ හැඩ වැඩට උඩවැඩියා ශාකයක් දෙකක් වගා කළද ඔබ ව්‍යාපාරික ඕකිඩ් වගාවක් පවත්වාගෙන යන්නේ නම් සෙවණ ගෘහයක් සැකසීම අත්‍යවශ්‍ය වෙයි. ඒ අනුව පළමුව වගාව සඳහා සුදුසු ස්ථානයක් තෝරාගෙන පසුව එහි ප්‍රමිතියෙන් යුත් සෙවණ ගෘහයක් සකසා ගත යුතු වේ. මෙහිදී ඔබ වගා කරනා උඩවැඩියා ප්‍රභේදයට අවශ්‍ය සෙවණ ප්‍රතිශතය සලකා බලා ඒ අනුව ගැළපෙන සෙවණ දැල් තෝරාගන්න. ඔබට සෙවණ ගෘහය සෑදීමට GI බට හෝ එල් යකඩ කණු එහෙමත් නැතිනම් කොන්ක්‍රීට් කණු භාවිත කළ හැකිය. සෙවණ දැල් රැඳවීම පොළොව මට්ටමේ සිට අඩි 10 - 12 ත් අතර උසකින් තිරස්ව සිදුකළ හැකියි.
පැළ රැඳවීමට මේස සැකසීම
ඕකිඩ් පැළ රැඳවීම සඳහා පොළොව මට්ටමේ සිට අඩි
2 - 5ත් අතර උසින් යුත් මේස සකස් කර ගත යුතුයි. ඒවා ජලය බැස යන ආකාරයට සැකසිය යුතු අතර ඒ සඳහා කොන්ක්‍රීට් පටි හෝ යකඩ කණු, කම්බි දැල් භාවිත කළ හැකියි. මේසයක පළල අඩි 4ක් 5ක් වන ලෙස සකසා ගත යුතු අතර ඔබේ වගාවට ගැළපෙන ලෙස මේසයේ දිග සකසා ගන්න.
පැළ බඳුන්ගත කිරීම
පැළ බඳුන්ගත කිරීමේ දී ඔබට වගා මාධ්‍යය ලෙස දැව අඟුරු යොදාගත හැකියි. එහිදී අඟුරු සකසා ගැනීමට තරමක් මේරූ දැව වර්ග යොදා ගැනීමට වග බලා ගන්න. ඊට අමතරව අඟුරු සමඟ උළුකැට කැබලි හෝ හොඳින් වියළාගත් පොල්ලෙලි කැබලි කොටස් 4:4 අනුපාතයට මිශ්‍ර කර භාවිත කරන්න.
ඔබ උඩවැඩියා ශාක සඳහා සෙවණ දැලට අමතරව විශේෂයෙන් සකසාගත් පොලිතීන් හෝ වීදුරු වහලක් සකසා ඒ යටතේ වගා කළ හැකිය. මෙලෙස පොලිතීන් හෝ වීදුරු වහලක් යටතේ වගා කරන්නේ නම් මේ වගා මාධ්‍යය භාවිත කරන්න.
* අඟුරු කොටස් 01ක්
* චිප් ගල් කැබලි
කොටස් 01ක්
* කොහුබත්
කොටස් 01ක්
* සෙන්ටිමීටර් 1 x 1
ඝනකම පොල් ලෙලි කැබැලි කොටස් 01ක්
ආදිය මිශ්‍ර කරමින් සාදා ගන්නා වගා මාධ්‍යයට සෙමෙන් මාධ්‍යයට එකතුවන (SR) කැට පොහොරක් එකතු කළ හැකියි. වගා බඳුන් ලෙස මැටි හෝ සිමෙන්ති, ප්ලාස්ටික් බඳුන් භාවිත කළ හැකියි. මෙම බඳුන්වල පාර්ශ්වීය වශයෙන් සිදුරු පවතින ආකාරයට සැකසිය යුතු අතර ඒවා මඟින් ශාකවල මූල පද්ධතියට වාතාශ්‍රය ලැබීම සිදුවේ.
සාමාන්‍යයෙන් තවාන් ආරම්භයේදී පැළ 25ක් පමණ අඩංගු වන සාමූහික බඳුන් යොදා ගැනීම වාසිදායකය. මෙම සාමූහික බඳුනක වැඩෙන කුඩා ඕකිඩ් පැළ අඟල් 2 - 3ක් අතර ප්‍රමාණයට වැඩුණු පසු බඳුනෙන් ඉවත් කර වෙනත් බඳුනකට ගත යුතුය. එය අඟල් 2ක විෂ්කම්භයෙන් යුත් අඟල් 2ක පළලින් යුත් බඳුනක් වීම ප්රමාණවත්ය. අනතුරුව එම පැළය අඟල් 6ක් පමණ උසකට වැඩුණු පසුව තවත් බඳුනකට මාරු කළ යුතු අතර එම බඳුන අඟල් 5ක උසකින් සහ විෂ්කම්භයකින් යුක්ත විය යුතුය. එතැන් සිට මල් හටගන්නා අවධිය දක්වාම ශාකය වර්ධනය වන්නේ මෙම අඟල් 05 බඳුන තුළයි.
උපදෙස් - කෘෂි විද්‍යාඥ, කථිකාචාර්ය
ඩබ්.යූ.එල්. අඹගස්පිටිය
චම්පා වරුසප්පෙරුම