අපි හැසිරුණේ අනෙක් රෝහල්වලට ආදර්ශයක්වන ලෙසයි

විශේෂඥ වෛද්‍ය දමයන්ති ඉඩම්පිටිය
මැයි 20, 2020

කොරෝනා තත්ත්වය හමුවේ සුවසම්පත සාදා දෙමින් අභීත සටනක නියැළෙන ජාතික බෝවන රෝග විද්‍යායතනය නොහොත් ධ්ච්ඩ් රෝහල කිසිදා අපේ මතකයෙන් ගිලිහී නොයාවි.

එහි සිටින කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් අතර සිටින එකම කාන්තාව මැයයි. අද අපේ කතාබහට මුල පුරන ඇය කායික රෝග විශේෂඥ වෛද්‍ය දමයන්ති ඉඩම්පිටිය මහත්මියයි. තරුණී පුවත්පත සමඟින් ඇය මෙලෙස එක්වන්නේ ප්‍රථම වතාවටයි.

වෛද්‍ය වෘත්තියේ යෙදුණත් ගැහැනු සිතක් කොහොමටත් හැඟුම්බර ය. ළයාන්විත ය. බෙහෙවින් ම සංවේදීය. ශීඝ්‍රයෙන් බෝවන වෛරස් රෝගයක් ලෙසින් අප අතරට ආ කොරෝනා වෛරසය නොහොත් කොවිඩ් 19 රෝගයට කිසිවෙක් බිය නැතැයි පැවසීම මුසාවකි. ඇයට ද එය යම් අවස්ථාවකදී චකිතයක් ගෙන දෙන්නට ඇති. අපි ඒ ගැන ඇගේම වචනයෙන් දැනගනිමු.

වෛද්‍යතුමියනි, මේ දිනවල ධ්ච්ඩ් රෝහලේ තත්ත්වය කෙබඳු ද?

අපිට දැන් ඉන්නේ කොරෝනා රෝගීන් පමණයි. මෙහි සිටින සියලුම කොරෝනා රෝගීන් උදේ සවස විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවධානයට යොමු වෙනවා. මේ දිනවල ඉන්නේ බොහොම සාමාන්‍ය තත්ත්වයේ කොරෝනා රෝගීන් පිරිසක්. දැඩි සත්කාර ඒකකයේ දැනට නම් කවුරුත් නැහැ. මෙහි විවිධ වයස් කාණ්ඩවල රෝගීන් ඉන්නවා. නාවික හමුදාවේ පිරිස 60කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ර්‍ථඛ්අ පරීක්ෂණය පොසිටිව් වීමත් සමගින් ඔවුන් රෝහල්ගත කෙරෙන නිසා, අවම රෝග ලක්ෂණ පෙන්වන්නේ.

මේ ගතවන්නේ ධ්ච්ඩ් රෝහලේ සිටින කීවැනි වසර ද?

වසර හතක සිට මම මෙහේ.

ඔබේ වෛද්‍ය ජීවිතයේ ඛේදවාචකයක් බඳු මෙවැනි වසංගත රෝග තත්ත්වයක් සඳහා මින් පෙර මුහුණ දී නැතිව ඇති.

කොහෙත්ම නැහැ. සාර්ස් එහෙම ආව කාලේ මම මේ රෝහලේ ⁣නෙවෙයි හිටියේ. මේ රෝහලට බහුතරයක් එන්නේ බෝවන රෝග වැලඳුණු පිරිස්. කුරුලු උණ, සූකර උණ, පැපොල ආදී බෝවන රෝග සෑදුණු පිරිස් කාලෙන් කාලයට එනවා.සාමාන්‍යයෙන් මේ රෝහල පිරිතිරී යන්නේ ඩෙංගු රෝගීන්ගෙන්.

කො⁣රෝනා රෝගීන් හමුවේ වෛද්‍යවරියක් ලෙස ඔබත් සංවේදී වුණු අවස්ථා ඇති.

මේක බැරෑරැම් අවස්ථාවක්. වෙනම ම වසංගත තත්ත්වයක්. අපි කවදාවත් මුහුණ නොදුන් කාරණයක්. ප්‍රශ්න එන එන විදිහ බලලා විශේෂඥ වෛද්‍යවරු විදිහට මමයි, එරංග නාරංගොඩයි, ආනන්ද විජේවික්‍රමයි මේ සඳහා මුහුණ දුන්නා. මේ තත්ත්වය නිවෙසේ අයගෙන් එහෙම පිටින්ම රෝගියා වෙන්වුණු අවස්ථාවක්. ඔවුන්ට ඉන්නේ රෝහලේ පිරිස් පමණයි. රෝගියෙක් මිය ගියාම සීමිත ඥාති පිරිසකට පමණයි ඒ අවස්ථාව දැක බලා ගන්න පුළුවන්. මෙවැනි අවස්ථා ඇත්තටම සංවේදජනකයි.

අතිශයින් ම බෝවන රෝග තත්ත්වයක් නිසා රෝගය බෝවීම සම්බන්ධ යම් චකිතයක් තිබුණ ද?

කාන්තාවක් ලෙසට යම් චකිතයක් ඇති නොවුණාමත් නෙවෙයි.කිසිදා නොදැක්ක ව්‍යසනයකුයි අත්දකින්න වුණේ.

ඉබෝලා මීට වඩා ඉතාම භයානක අවස්ථාවක්. ජාතික බෝවන රෝග විද්‍යයතනය ඉබෝලා සඳහා පෙර සූදානමක හිටියේ. ආරක්ෂිත උපකරණ කට්ටල පවා මේ රෝහලට ලැබිලයි තිබුණේ. ඒ පිළිබඳ සැලසුම් සකස් කරමින්, සාකච්ඡා කරමින් සිටියේ. ගිලන් රථයකින් රෝගියකු ගෙන ඒමේ සිට රෝගියාට ප්‍රතිකාර කරන අන්දම පිළිබඳ පෙර පුහුණුවක් (රිහසල්) පවා කළා. කොවිඩ් 19 සඳහා සාර්ථකව මුහුණ දීමට මේ පෙර සූදානම මහඟු අත්වැලක් වුණා.

ආරක්ෂිත ඇඳුම් ඇඳීිම, ගැලවීම පවා යම් පුහුණුවක් නැතිව කරන්න බැහැ. රෝගියෙක් ළඟට යන්නේ කොහොමද, ඒ කෙනාට කෑම ටික දෙන්නේ කොහොමද, සත්කාර කරන්නෙ කොහොමද ... ආදී සියලු දේවල් පිළිබඳ රෝහලක් ලෙස යම් සූදානමක් ලැබුවා.

මෙහිදී වෛද්‍යවරුන් විදිහට අපිත් රෝහල් කාර්යමණ්ඩලයත් රෝගය බෝ කරනොගෙන අවශ්‍ය ප්‍රතිකාර සියල්ල කිරීමට වග බලා ගත යුතුයි. අපි කාට හරි රෝගය බෝ වුණොත් මුළු රෝහලේම සිටින පිරිසගේ මානසිකත්වය බිඳ වැටෙනවා. ඒ පිළිබඳ අපි වගකීමෙන් කටයුතු කරන්න ඕන. රෝගීන් අපි කවුද කියලාවත් දන්නෙ නැතිව ඇති. අපිව දැකලම නැතිව ඇති. නමුත් ඒ අය අපේ කටහඬ අඳුනනවා. නමුත් රෝගීන්ගේ සිත්වල මොනවගේ හැඟීමක් තියෙනවද දන්නේ නැහැ. අපිත් දකින්නේ මාස්ක් එකක් පැලඳ ගත්ත රෝගියෙක්. සිනහවකින් සංග්‍රහ කළත් ඒ බව අපි දෙගොල්ලන්ටම පේන්නෙ නැහැ. වෙනදා මෙන් රෝගියෙක් සමඟ සමීප සම්බන්ධතාවක් ඇති කරගැනීමට කොවිඩ් 19 දී ඉඩහසර නැහැ.නමුත් අපි ඒ අයටත් ඒ අය අපටත් හෘදයාංගමයි. සමහර රෝගීන්ට දින ගණනාවක්ම ර්‍ථඛ්අ නෙගටිව් වෙනකම් රෝහලේ ම රැඳී සිටින්න සිදු වෙනවා.

සම්පූර්ණ ආරක්ෂිත ඇඳුම් කට්ටලය පැය කිහිපයක් එක දිගට ඇඳ සිටීම අපහසු කරුණක්

මේ ආරක්ෂක ඇඳුම් කට්ටලය ඇඳගෙන යන්නේ වරකට එක වාට්ටුවකට පමණයි. ඒ වාට්ටුවෙන් පිටතට එන්නේ ඇඳ සිටි සියලුම ආරක්ෂිත ඇඳුම් ඉවත්කරලා. තවත් වාට්ටුවකට යද්දි තවත් අලුත් කට්ටලයක් තමිය අඳීන්නේ. වාට්ටුවක සිට තවත් වාට්ටුවකට යන්නේ කොරිඩෝවක් දිගේ. එය සාමාන්‍ය පරිසරයක්. එවැනි තැනකදී අපිත් සාමාන්‍යයයි. නැතිනම් ආරක්ෂිත ඇඳුම් කට්ටලවල තැවරුණු විසබීජ සාමාන්‍ය පරිසරයට මුදා හැරෙනවා.ඒත් අසාධ්‍ය රෝගීන් සමඟ වැඩි වේලාවක් රැඳෙන්න වෙනවා. සාමාන්‍ය ඇඳුමකින් හිටියත් දහඩිය දමන මේ කාලේ අපි හැමෝම ආරක්ෂිත ඇඳුම් ඇඳ සිටින්නේ අපහසුවෙන්. එහෙත් අපේම ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් සියල්ල අනුගමනය කරන්න වෙනවා.

නිවෙසට ඒමට කලින් රෝහලෙන්ම නාගෙනයි අපේ ඇඳුම් ඇඳගන්නේ. නිවෙසට ඇවිල්ලත් නැවත නාගන්නවා.

2020/05/20 තරුණි පුවත්පත බලන්න