වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නිරෝගී දිවියකට මඟ පාදන අපේ ආහාර කලාව ගැන දැන ගනිමු
ප්‍රවීණ සූපවේදී ආචාර්ය
පබ්ලිස් සිල්වාගෙන්
කෑම බීමෙන් අපට ලැබෙන්නේ පෝෂණය පමණක් ම නොවේ. අපේ ආහාර රටාවෙන් උරුම වූ වැදගත් ම දෙයක් වන්නේ ආහාර මඟින් අපේ සෞඛ්‍යය ද සුරැකීමයි.
ජාතියක නිරෝගී බවට ආහාර සංස්කෘතිය ද නොමඳ පිටිවහලක් සපයන බව අතීතයේ දී මෙන්ම අද ද හොඳින් ම පෙනෙන්නට තිබෙන්නකි.
එහෙත් අද වන විට අපේ ඇත්තන් අපේ දේ ඉවතට විසිකොට, අපේ දේ හරය නොදැන එය කිරීම නිසා ආහාර මඟින් පෝෂණය, සුවය ලැබෙනවාට වඩා ආහාර නිසාම රෝගී වන බවක් දකින්නට ලැබේ. කුස්සිය, මුළුතැන්ගෙය, උයනගෙය ලෙස හඳුන්වන ස්ථානය අපි ඔසුකුටිය නමින් හඳුන්වන්නට යෙදුණේ විසල් අරුතක් ඇතිවයි. ආහාර නිසා අප රෝගී වනවා සේම, ආහාර නිසා අප නීරෝගී වේ. ආහාර අපේ සිරුරට අවශ්‍ය ප්‍රතිශක්තිය ලබා දෙයි. මේ නිසා පවුලේ වෙදැදුරු ලෙස ඔසුකුටියට පිවිස ආහාර පිළියෙල කරන අම්මා, බිරිය, සොයුරිය, තාත්තා, සොයුරා වුවද අපට හඳුන්වා දිය හැකියි.
බෝ නොවන රෝග බොහොමයකට ප්‍රධාන ම හේතුව වන්නේ ආහාර රටාවයි. ආහාර සඳහා යොදන කෘත්‍රිම රස කාරක සිරුරට අහිතකර වන්නා සේ ම, ආහාර සඳහා යොදන ස්වභාවික රස කාරක ආහාරය රසවත් කරන අතර එහි පෝෂණීය ගුණය ද ඉහළ නංවයි. එමෙන්ම මේ ස්වභාවික රස කාරක සෑම එකක් ම පාහේ ඖෂධීය ගුණයෙන් ද ඉහළ ය. ආහාර රස ගැන්වීමට යොදන ප්‍රධාන ම ස්වභාවික රස කාරක වන්නේ තුනපහයි. අපේ රටේම උඩරට පළාත්වල ඉන්දියානු ආභාසය ඇති බැවින් ඔවුන් මෙය සරක්කු ලෙසින් හඳුන්වනවා. අපේ රටේ අවසන් රජතුමා ඉන්දියානු සම්භවයක් ඇති අයකු වීම හා ඉන්දියානු පිරිස් ලංකාවට පැමිණීමේ බලපෑම නිසා මෙසේ වූ බව සිතන්නට පුළුවන්. උඩරට හැර අනෙකුත් පළාත්වල, දකුණු පළාතේ මෙය තුනපහ ලෙසින් හැඳින් වූ අතර මේ තුන සහ පහ මොනවාදැයි සොයා බලමු.
අපේ ගෙවල්වල අම්මලා ඉස්සර මිරිස්ගල ළඟ පොල් කට්ටක්, තසිමක්, මැටි අඬුකෝප්පයක් වැනි බඳුනක් තබා එහි ගලේ අඹරා ගත් ගුලි පහක් තබයි. මේ ගුලි පහ වන්නේ සූදුරු, මාදුරු(මහ දුරු), කොත්තමල්ලි, එකට අඹරා ගත් ගුලියක්, කහ ගුලියක්, මිරිස් ගුලියක්, ගම්මිරිස් ගුලියක්, අබ ගුලියක්. මෙහි තුන යැයි පැවසුවේ සූදුරු, මාදුරු, කොත්තමල්ලි තුනයි. අනෙකුත් ගුලිත් සමඟින් පහ සැකසේ. තුනපහ ලෙසින් හැඳින්වූයේ මේ සියල්ලයි.
පොත් පත්වල සඳහන් නොවූවද පෙර රජ දවස සිට ම අපට හොඳ ආහාර සංස්කෘතියක් තිබූ බවට සාක්ෂි ඇත. එමනිසා බොහෝ විට රෝගපීඩාදියෙන් මිදී සිටීමටත් මනා ශක්ති සම්පන්න සිරුරු තිබීමත් මේ ආහාරවල බලය කියාපාන සාධක විය.
බෝ නොවන රෝග අද අපේ සමාජයේ බරපතල ගැටලුවක් බවට පත්වෙලා. මේ රෝග සඳහා නිට්ටාවට සුව වීමට කිසිම සමාගමකින් ඖෂධ නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් රෝගය පාලනය කිරීමට පමණක් ඖෂධ නිපදවනවා. මේ නිසා බොහෝ රෝගීන්ට ජීවිතාන්තය දක්වාම ඖෂධ භාවිත කරන්නට සිදු වී ඇති බව අපි කාටත් නොරහසක්.
ඒත් මම මේ සඳහා යමක් කළ යුතු යැයි සිතුවා. මම වෛද්‍යවරයකු නොවුණත් මට හැකි ආකාරයෙන් මේ සඳහා දැනුවත් බවක් ලබා ගත්තා. මගේ එකම ඖෂධ වන්නේ සිංහල ආහාර වර්ගයි. මේ මහ පොළොවේ වැවෙන ශාකවලින් තමයි මේ සියල්ල සැකසෙන්නේ. අප ආහාරවලට රසකාරක ලෙස එකතු කරන්නේ එලෙස ලබා ගන්නා ශාකමය කොටස්.
මේ නිසා මේ ආහාර සැකසීම කලාවක්. එම කලාව නිසි සේ දැන ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වන්නක්. මම හිතන්නේ කවුරු මොන ක්ෂේත්රයකින් අධ්‍යාපනය ලැබූවත්, කුමනාකාරයේ රැකියාවක නියුතු වුවත් ආහාර කලාව ගැන දැනුවත් බවක් අනිවාර්යයෙන් තිබිය යුතු බවයි. එසේ වූ විට ලෙඩ රෝග අඩු නිරෝගී පරම්පරාවක් අනාගතයට දායාද කළ හැකියි. ඒ වගේම අපේ ආහාරවල ඇති විශේෂිත ගුණය නිසා ප්‍රතිශක්තිකරණය පවා වැඩි දියුණු වෙනබව සොයාගෙන තිබෙනවා. අපි ඔසුකුටියට පිවිසෙන විට ඉතාමත් පිරිසුදුව මෙන්ම නිරවුල් මනසින් එයට යා යුතුයි. අපි නිරවුල් මනසකින් සිටීම අප සකසන ආහාරයේ රසවත් බවට ඍජුවම බලපාන කරුණක්. ඇතැම් විට එය ඔබ අත්දැකීමෙන් ම ලබාගෙන ඇති.
උදාහරණයක් ලෙස ව්‍යාංජනයට ලුණු දැමුවාදැයි ඔබ කොපමණ වාර ගණනක් එහි රස බලනවාද? සිහියෙන් එම කාර්යය කරනවා නම් එය දෙතුන් විටක් රස බැලීමට අවශ්‍ය වන්නේ නැහැ.
අප ඉවුම් පිහුම් කරන විට සිහි තබා ගත යුතු තවත් කරුණක් වන්නේ අප සකසන ආහාරයේ අමුද්‍රව්‍යයේ එයට ආවේණික රස, එයට ආවේණික සුවඳ, එයට ආවේණික පැහැය යන තුන රැකිය යුතුය. එසේ නොවුණ විට එම ආහාරයේ පෝෂණීය බව වෙනස් වී අප ගන්නා ආහාරයේ ඇති ඖෂධීය ගුණය අහිමි වෙනවා. එවිට බෝනොවන රෝගවලින් ආරක්ෂා වීමට නොහැකි වේ.
ඔබ ආහාරයක් සකසන වේලාවට භාවනාවක් කරනවා සේ මම මේ හදන ආහාරය, මම මේ හදන තේ එක, මම හදන එළවළුව, මම මේ කපන පළතුර ආහාරයට ගන්නා සෑම කෙනාට ම එය දිව්‍ය ඖෂධයක් වේවා යැයි ප්‍රාර්ථනා කරන්න. එය ලෙඩරෝග වැළඳී රෝහල් ගානේ දුව යනවාට වඩා පහසුවෙන් රෝගයන්ගෙන් වැලකීම සඳහා සිදු කළ හැකි දෙයකි. මෙලෙසින් පහන් සිතින් සිතමින් ආහාර පිළියෙල කිරීමේ දී ඔබත් නොදැනීම ඔබේ අතින් සකසන ආහාර ඖෂධීය ගුණයෙන් යුතු වෙයි. මෙය තමාගේ මනසට මෙන්ම ඔබ සකසන ආහාර ලබා ගන්නා අයට ද නිරෝගී බව සඳහා උපකාරී වන ක්‍රියාවකි. හදවතින් කරන ප්‍රාර්ථනා ඉටුවන නිසා මොළයට වඩා මෙහිදී හදවත වැදගත් වේ.
දේවාලයක්, පන්සලක් මෙන් පිරිසුදුව, පිළිවෙළට තබා ගන්නා ඔසු කුටියකින් සකසන ආහාර ඖෂධීය ගුණයෙන් යුතුයි. තුනපහවලින් කෑම රසවත් වෙනවා සේ ම එය අපේ ආහාරවලට ලබා දෙන ඖෂධීය ගුණය මෙතෙකැයි කිව නොහැකි ය. ඒ පිළිබඳ අපි ඉදිරි ලිපියකින් කතාබහ කරමු.