පුංචි දරුවන්ට කබ, කඳුළු ගලන්නට පටන් අරන් ද?

අප්‍රේල් 10, 2023

පුංචි දරුවන්ගේ ඇස්වලින් කබ, කඳුළු ගලන අක්ෂි රෝගයක් පිළිබඳව මේ දිනවල කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ඇසෙන්නට පටන් අරන්. ඇත්තටම මේ අක්ෂි රෝගයක් ද? එහෙමත් නැත්නම් වෙනත් රෝගයක රෝග ලක්ෂණක් ද?

ඉන්ෆුලුවන්සා රෝගයේ සහ ඇඩිනෝ වයිරසයේ එක්තරා රෝග ලක්ෂණයක් ලෙස ඇස්වලින් කබ, කඳුළු ගලන බවයි වෛද්‍යවරු පවසන්නේ. එයත් ඉන්ෆුලුවන්සා රෝග ලක්ෂණවලට බෙහෙවින්ම සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන වයිරසයකි.

ඉන්ෆුලුවන්සා තත්ත්වය පසුගිය දිනවල දරුවන් අතර විශේෂයෙන්ම පැතිර යන්නට විය. එය වැඩිහිටියන් අතරත් දක්නට ලැබේ.

 

රෝග ලක්ෂණ

 

* තද උණ සමඟ

* ඇස්වලින් කබ ගැලීම

* කඳුළු ගැලීම

* හිසරදය

* කැස්ස

* සෙම්ප්‍රතිශ්‍යාව තත්ත්වය

* ඇඟ රිදීම

 

ස්වසන රෝගයක් නිසා එය පහසුවෙන්ම දරුවන් අතර පැතිරෙන්නට වුණා. මේ රෝගීන් පරීක්ෂාවට ලක් කරද්දි ඉන්ෆුලුවන්සා A හෝ ඉන්ෆුලුවන්සා B ශරීරගත වූ අය. ඉන්ෆුලුවන්සා මෙන්ම ඇඩිනෝ වයිරසයත් ඉහළ ස්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක්. ඉන්ෆුලුවන්සා රෝග ලක්ෂණවලට බෙහෙවින්ම සමාන

පහසුවෙන්ම බෝවන රෝගී තත්ත්වයක් නිසා පාසල් දරුවන්, ළදරු පාසල් යන දරුවන්, දිවා සුරැකුම් මධ්‍යස්ථානවල රැ⁣ඳෙන දරුවන් අතර වැඩිපුර දක්නට ලැබෙන රෝගී තත්ත්වයක් වූවා.

මීට මාස දෙක තුනකට පෙරදී ඉන්ෆුලුවන්සා රෝගී තත්ත්වයෙන් පෙළි සිටි දරුවන් මේ වනතුරුත් කැස්ස නිසා පීඩාවට පත්ව සිටින අන්දම පවා දැක ගන්නට පුළුවනි. මේ පසු වයිරස් කැස්ස තත්ත්වයයි. බොල් බොල් කැස්ස නිසා මේ දරුවන් පීඩා විඳිද්දි තවත් සමහර දරුවන් ළමා හතිය නිසා පීඩා විඳින්නට වෙලා.

ඉන්ෆුලුවන්සා යනු සීතල කාලයේ සීත දේශගුණය ඇති රටවල ඇති රෝගයකි. මේ රෝගී තත්ත්වය සඳහා දීර්ඝකාලීන ප්‍රතිශක්තියක් සාමාන්‍යයෙන් සිරුර තුළ නොසෑදේ. වසරක් පමණ ගතවද්දී එම වයිරසය නැවත පැමිණෙන්නේ තරමක් වෙනස් මුහුණුවරක් ගෙනයි. මේ සඳහා වසරක් පාසා වෙනස් මුහුණුවරක් ගත් වයිරසයට ගැලපෙන අන්දමින් සැකසුණූ ප්‍රතිශක්තිකරණ එන්නතක් පැමිණෙයි. අපේ රටේ තවමත් එවැන්නක් සිදු නොවන නිසා විශේෂයෙන් දරුවන් පහසුවෙන්ම ඊට ගොදුරුව ද්විතියික බැක්ටීරියා ආසාදන ඇති වීමට පුළුවනි. මෙහිදී ප්‍රතිජීවක ඖෂධ ලබා දෙන්නට වේවි, ඔක්සිජන් ලබා දෙන්නට වේවි, ඇතැම් දරුවන්ට දැඩි සත්කාර ඒකකවල පවා ඉන්නට සිදු වේවි.

මින් වැළකී සිටීමට නම් රෝග ලක්ෂණ ඇති අය සමාජයේ ගැවසීම සීමා කරන්නට වේවි. තම දරුවන් රෝග ලක්ෂණවලින් පීඩා විඳියි නම් ඔවුන් සමාජයේ ගැවසීමට ඇති ඉඩකඩ අහුරා දැමිය යුතුයි. එවැනි දරුවන්ට නිවෙසේ දී ඇඳ විවේකය මනාව ලබා දිය යුතුයි. පැරසිටමෝල් මාත්‍රාව නියමිත පරිදි ලබා දිය යුතුයි. ස්වභාවික දියර ආහාර ලබාදී⁣මෙන් ඉක්මන් සුවය කරා ළඟාවීමට පුළුවනි. අලුත් අවුරුදු ඇරැඹි නිසා දැන් මේ තත්ත්වය ක්‍රමයෙන් පහව යන්නටත් පුළුවනි.

අදහස් දැක්වීම :

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය

ජී. විජේසූරිය

මහතා සහ ළමා රෝග

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා