මනස සුවපත් කරවන සුවබර ජීවිතය දිගු කරගන්න දවසට පැයක් වෙන් කරගන්න

පෙබරවාරි 5, 2024

අධිවේගයෙන් වෙනස්වන ලොවක ජීවත්වන අපට නිරෝගී දිවියක් ගත කිරීම සිහිනයක්ව ඇත. එනිසා ඔබට අවශ්‍ය නිරෝගී ජීවිතය ලබා ගන්නට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා සහාය වන්නට කායික මානසික සුවතා විධියක් වූ යෝගාවලට හැකියාව ඇත.

ශාරීරිකව වගේම මානසිකවත් ප්‍රතිලාභ රැසක් ගෙනෙන ව්‍යායාම විශේෂයක් තමයි යෝගා ව්‍යායාම කියන්නෙ. ඕනෑම පුද්ගලයෙකුට නියැළිය හැකි ඉරියව් එනම්, ආසන වර්ග මෙම යෝගා සතුව තියෙනවා. ඉතාමත් පහසු, සරල මෙම ඉරියව් ඔබට ගෙනෙන ප්‍රතිඵල නම් සරල ඒවා නොවේ. එනම් කාලයත් සමඟ යෝගා ව්‍යායාමයන්හි නියැළිීමේදී ඔබට දැනෙන පහසුව කිසිසේත්ම සුළුපටු එකක් නම් නෙවෙයි. භාවනාවට සමීප නිසාම මෙතුළින් ලැබෙන මානසික සුවය, සහනය ඉතාමත් සුවිශේෂීයි.

යෝගා පුහුණුවීම් අරඹන ඔබට, පළමුව සමහර ව්‍යායාම පුරුදු වීම අමාරු විය හැකිය. නමුත් ඒවා ඔබට හැකි ප්‍රමාණයෙන් කරන්නට පටන් ගන්න. දිනපතා ප්‍රගුණ කිරීම අපහසු යැයි හැඟුණ යෝග අභ්‍යාස පහසුවෙන්ම කළ හැකි වේ.

ඉගෙනීම, රැකියාව ආදී ඕනෑම වැඩක යෙදෙනා අයෙකුට වුවද යෝගා ව්‍යායාම් කිරීමට කිසිදු අපහසුවක් නොමැත. පහසු වේලාවක් යොදා ගැනීමත්, උත්සාහය, ඉවසීම, අවංකකම හා ආසාව ඇතිකර ගැනීම පමණයි කළ යුතු වන්නේ.

අපගේ සුන්දරත්වය පවත්වාගෙන යාමටත්, එය වැඩි දියුණුකර ගැනීමටත්, කායික හා මානසික සමබරතාව ඉතාමත්ම වැදගත් වේ. එළැඹුණු මේ නව වසරේදී සොඳුරු යුවතියන‍්ගේ රූ සපුව ‍ මෙන්ම, මානසික ශක්තිය දියුණු කරන වෘක්ෂාසනය පුහුණු කිරීම මඟින් ඔබටත් මහඟු ප්‍රතිඵල අත්විඳිය හැකිය. මේ ආසනය වෘක්ෂයක, නැත්නම් ගසක ස්වරූපය දක්වන බැවින් ‘වෘක්ෂාසනය’ නම් වේ. ඉතා සුවදායක මේ යෝග ආසනය ද පුහුණු කළ යුත්තේ උදෑසන හෝ සවස කුස හිස්ව තබාගෙනයි.

 

වෘක්ෂාසනය අරඹමු

මුලින්ම 1 රූපයේ පරිදි තදාසන ඉරියව්වට පැමිණ සිටිය යුතුයි. එනම් දෑත් හා දෙපා ළංකර, කඳ ඍජුව, පාද පතුල් දෙකට සිරුරේ බර සමබරව යන සේ, උදරය ඇතුළට හකුළුවා, දණහිස් ඉහළට තදකොට, පපුව ඉදිරියට යොමු කොට, ඉදිරිය බලා සිටගත යුතු වේ. එය තදාසනය යනුවෙන් හඳුන්වයි.

දැන් 2 රූපයේ ආකාරයට වෘක්ෂාසනය අරඹමු.

තදාසනයේ සිට ගැඹුරින් හුස්මක් ගෙන හුස්ම පිට කරමින් සිරුර ලිහිල් කරන්න. සිරුරේ සම්පූර්ණ බර වම් පාදය මත රඳවමින්, දකුණු පාදය සැහැල්ලු කොට ඔසොවා, දකුණු කලවයේ ඇතුල් පැත්තෙන් ඇඟිලි පහතට සිටින සේ කලවය මත රඳවා තබාගන්න.

ඉන්පසු හොඳ හුස්මක් ගනිමින්, දෑත් දෙපසට විහිදා, ඉඟ දෙපස, පපු ප්‍රදේශය හා උරහිස් හැකිතාක් ඉහළට අදිමින් දෑත් ඉහළට ඔසොවා, දෑත් එකිනෙක ළංකර තබාගන්න. දැන් 5 රූපයේ පරිදි ඔබ වෘක්ෂාසන ඉරියව්වේ සිටී. මෙහිදී ඔබ දෑස් මට්ටමින් ඉදිරියේ එක් ලක්ෂ්‍යයක් දෙස බලා සිටිමින් මනසේ අවධානය ආශ්වාසය හා ප්‍රාශ්වාසය කෙරෙහි යොමු කළ යුතු ය. එහිදී දෑත් රූපයේ පරිදි ඉහළට ඔසවා අත්ලට අත්ල සමාන්තරව තිබිය යුතුය.

ආධුනික ඔබ මෙසේ ගැඹුරු දීර්ඝ ශ්වසනයේ යෙදෙමින් අවම වශයෙන් තත්පර 30ක් වත් ආසනයේ රැඳීමට උත්සාහ ගන්න. පුහුණුවත් සමඟ රැඳෙන කාලය විනාඩියක් දක්වා වැඩි කරගන්න.

අවසානයේ හුස්ම ගෙන හුස්ම පිටකරමින් පිළිවෙළින් දෑත් හා පාදය පහළට ගෙන තදාසන ඉරියව්වට පැමිණ නිදහස් වන්න.

ඉහත දැක්වූ ආකාරයටම වම් පාදය ඉහළට ගෙන, වම් පාර්ශ්වයට ද මේ ආසනය පුහුණු කරන්න. දිනකට වාර කිහිපයක් අභ්‍යාසයේ යෙදෙන්න.

වෘක්ෂාසනයේ ප්‍රතිලාභ

සිරුර හා මනස සමබර කොට චිත්ත ඒකාග්‍රතාව වැඩි දියුණු කරයි. ඉඟ දෙපස, උදරයේ, කලවා ප්‍රදේශයේ, උරහිස් හා දෑත්වල අනවශ්‍ය මේද තැන්පතු දහනය කොට සිහින් , හැඩැති

සිරුරක් සිරුරක් ලබා දේ. පාද, සන්ධි හා කලවා ප්‍රදේශ ශක්තිමත් කරන අතර, උකුල් ප්‍රදේශය පුළුල් වී කාන්තා සිරුර හැඩගන්වයි.

දෑස්වල කාන්තිය හා පෙනීම වැඩි දියුණු කරයි. රුධිර සංසරණය යහපත් කොට ක්‍රියාශීලී කරයි.

මේ ආසනය නිතර පුරුදු පුහුණු කිරීමෙන් ගසක් මෙන් ශක්තිමත්ව නැඟී සිටිය හැකිය. පහසු ආසනයක් නිසා වයස් භේදයකින් තොරව පුරුදු පුහුණු වීමේ හැකියාව තිබේ.

නොමිලේ යෝග වැඩමුළුව

මහරගම සෙත්සඳ යෝග නිකේතනය විසින් වාර්ෂිකව නොමිලේ පවත්වනු ලබන යෝගා භාවනා වැඩමුළුව මෙවරත් පෙබරවාරි මස 23 වැනි පොහෝ දින මහරගම ජාතික තරුණ සේවා සභාවේදි උදෑසන 9.00 ට ආරම්භ වේ. 1500 දෙනකුට සහභාගී විය හැකි මෙම වැඩමුළුවේදී ආහාරපාන සියල්ල ද නොමිලයේ ලබා දෙයි.

ලියාපදිංචිය සඳහා විමසන්න.

076 7265240 / 077 9921316

 

 

උපදෙස් -

ආචාර්ය චාමින් වර්ණකුල

සෙත්සඳ යෝග නිකේතනය

 

 

ඡායාරූප - රංජිත් අසංක