පමණට වඩා ලේවල සීනි අඩුවීම අසාමාන්‍ය තත්ත්වයක්

ජුනි 5, 2019

රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවීම රෝග තත්ත්වයක් බව අප කවුරුත් හොඳින්ම දන්නා නිසා රුධිරයේ සීනි සාන්ද්‍රණය අඩුවීම ගැන බියට පත්වන්නේ නැත. එහෙත් එය ද රෝග තත්ත්වයක් නම් ඒ ගැන දැනුවත් වීමෙන් එම රෝගයට ගොදුරු නොවී ඉන්න ඔබට හැකියාව තිබේ. ඒ නිසාම කැනඩාවේ සේවය කරන ආයුර්වේද වෛද්‍යාචාරිනී “ධම්මිකා කුමාරිහාමි” මහත්මිය ඒ ගැන මෙලෙස ඔබ දැනුවත් කරයි.

“සාමාන්‍යයෙන් කෙනකුගේ රුධිරයේ යම්කිසි සීනි ප්‍රමාණයක් පැවතිය යුතුයි. නිරාහාරව ඉන්න වෙලාවක දී නම් එය 75-115 පමණ වෙනවා.Fasting Blood Suger - FBS) ) සාමාන්‍ය ආහාර රටාව තුළ නම් එය 80-130 පමණ වෙනවා. (Randam Blood Sugar - RBS)  ආයුර්වේදයේ “උපමධුමයතාව“ යනුවෙන් හඳුන්වන්නේ රුධිරයේ ශර්කරා හෙවත් සීනි සාන්ද්‍රණය මේ අගයන්ට වඩා පහත වැටීමයි. මේ විදියට රුධිරයේ සීනි සාන්ද්‍රණය අඩුවෙන්න බලපාන ප්‍රධාන හේතුව මධුමේහය නොහොත් දියවැඩියාවට වගකීමෙන් තොරව ප්‍රතිකාර ගැනීමයි. මේවා උවමනාවෙන්ම නැත්නම් නොසැලකිල්ල නිසා හදාගන්න රෝගී තත්ත්වයන් මිස සාමාන්‍ය අසනීප තත්ත්වයන් නොවන බව මම පැහැදිලිව කියනවා. ඇත්තෙන්ම මේවා කැඳවා ගන්නා අසනීප.

ඒකෙන් අදහස් කරන්නේ දියවැඩියාවට ප්‍රතිකාර ලබන සමහර රෝගීන් වෛද්‍යවරයෙක් හෝ සායනයෙන් වරක් දෙන බෙහෙත් නැවත පරීක්ෂණවලට යොමු වීමකින් තොරව දිගින් දිගටම ෆාමසිවලින් අරගෙන පාවිච්චි කිරිම පුරුද්දක් කරගෙන ඉන්නවා. කාලයක් ඖෂධ ලබද්දී ලේවල සීනි ප්‍රමාණය අඩුවුණත් රෝගියා ඒ ගැන නොදැන තවත් කාලයක් ඒ පෙති පාවිච්චි කරනවා. නියමිත පරීක්ෂණවලට යොමු නොවීම නිසා ඒ බව වෛද්‍යවරයාට හෝ රෝගියාට දැනගන්න ක්‍රමයක් නැහැ. පමණට වඩා ලේවල සීනි ප්‍රමාණය අඩුවීම අසාමාන්‍ය තත්ත්වයක්. දහඩිය දැමීම, අධික වෙහෙසක් දැනීම, ඇඟ වෙව්ලීම, සිරුරේ අප්‍රාණික බව නිසා ක්ලාන්තවීම සහ මොහොතකින් රෝගියා විසඥතාවයට ((Coma) පත්වී සිහිසුන්වීම, උපමධුමයතාවය වැලඳුණු රෝගියකුගේ රෝග ලක්ෂණයි. වහාම සීනි ප්‍රමාණය සමතුලිත නොකළහොත් රෝගියා මිය යන්නත් ඉඩ තියෙනවා. එවැනි අවස්ථාවක දී වෛද්‍යවරයකු වෙත රෝගියා රැගෙන යනතෙක් ක්ෂණිකව කළයුතු ප්‍රතිකාර වගේම ප්‍රථමාධාර ගැන ද මං ඔබට අවබෝධයක් ලබා දෙන්නම්.

“වහාම ග්ලූකෝස් තේ හැඳි 2-3 ක් කෑමට හෝ බීමට දෙන්න. නැතහොත් සීනි තේ හැඳි දෙකක් වතුරට දියකර බීමට දෙන්න.

“දොඩම්, පැෂන්, අඹ වැනි පලතුරු බීමක් වහාම පානයට දෙන්න. එසේ නැත්නම් බෝතල් කළ පැණි බීමක් පානයට දෙන්න.

“තැඹිලි ගෙඩියකට ග්ලුකෝස් දියකර පානයට දෙන්න. මෙයින් එක් වර්ගයක් හෝ දෙකක් බීමට දීම ප්‍රමාණවත්.

“ටොෆී, චොකලට්, සීනිබෝල වැනි අධික සීනි සහිත රසකැවිල්ලක් කෑමට දෙන්න.

“ඉතා හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක තද ඇඳුම් ලිහිල්කර විවේක ගැනීමට සලස්වන්න.

 

2019/06/05 තරුණි බලන්න