අම්මගෙයි බබාගෙයි සතුටයි කඳුළයි එකතු වුණු සොබා දහමේ අසිරිමත් මොහොත

ජනවාරි 15, 2020

අම්මා කෙනකුට දරුවකුගේ ජීවිතේ අමතක නොවෙන මතක සටහන් මෙච්චරයි කියලා සීමා කරන්න බැහැ. ඒත් මවු කුසෙන් මෙලොවට බිහිවී හඬන පළමු හැඬුම ඒ මතක අතර සුවිශේෂී මතකයක්. මගේ පැටියා “ පරෙස්සමට මේ ලෝකෙට ආවා“ කියන ආරක්ෂාකාරී හැඟීම ඇති වෙන්නේ එතකොටයි.

වෛද්‍යවරයාටත් මෙය සතුටු දායක මොහොතක්. මවු කුසෙන් එළිය දුටු කිරිකැටියා හොඳින් හුස්ම ගන්නා බවට ඇති හොඳම සාක්ෂිය එයයි. හැඬීමත් සමඟ දරුවාගේ පෙණහලු දෙක ක්‍රියාත්මක වෙන්න ගන්නවා. දරුවගේ කුළුඳුල් හුස්ම පොද වාතයට මුසු වෙනවා. මේ

පළමුවැනි හැඬීමත් සමඟ කලලාවාරික තරලය, ශ්ලේෂ්මල ඉතුරුවෙලා තියෙනවා නම් ඒවාත් පිට වෙනවා. ඒත් සමහර දරුවන්ගේ ශ්ලේෂ්මල, තරල එසේ පිට නොවෙන නිසා වෛද්‍යවරුන්ට ඒවා ඉවත්කර ස්වසන මාර්ගය පාදන්න සිද්ධ වෙන වෙලාවලුත් තියෙනවා. මේ අම්මලා පොඩ්ඩක්වත් හිත කරදරකර ගත යුතු තත්ත්වයක් නම් නෙවෙයි. මවු කුසේදි මුළු ගර්භණී කාලය පුරාම වැදෑමහ හරහා කෙළින්ම දරුවාට ඔක්සිජන් ලැබෙනවා. දරුවාගේ අවයව අතරින් පෙණහලු අවසන් වරට පරිණත වන අවයවය වී ඇත්තේ ඒ නිසයි.

දරුවා සාමාන්‍ය විදියට බිහිකළත් සිසේරියන් සැත්කමකින් බිහිකළත් අම්මගේ උණුසුම් මවුකුසේ සිට දොරට වඩින දරුපැටියා මූණ දෙන ලොකුම ගැටලුව පරිසරයේ සීතලයි. දරුවාට සුපුරුදු උණුසුම වහාම ලබා දීමට වෛද්‍යවරු පියවර ගන්නවා. නැත්නම් දරුවා බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ පානවා. වහා වහාම දරුවාට අවශ්‍ය උණුසුම පිරිසුදු රෙද්දකින් ඔතා හෝ යන්ත්‍ර මඟින් ලබා දීමට ක්‍රියාත්මක වෙනවා.

අලුත උපදින දරු පැටවුන්ගේ සම යට ඇත්තේ අඩු මේද තට්ටුවක්. මවු කුසෙහි උණුසුම වගේම තුනී සමක් තිබීමත් නිසා වැඩි උණුසුමක් අවශ්‍ය වෙනවා.

සෑම දරුවකුටම හා හා පුරා කියලා ලබා දෙන එන්නතක් තිබෙනවා. ඒ විටමින් ‘ කේ ‘ එන්නත. මේ එන්නත දෙන්නේ රුධිරය කැටි ගැහෙන්නයි. නැත්නම් රුධිර වහනය වීමෙන් දරුවාගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙනවා. විටමින් ‘ කේ ‘ නිපදවෙන්නේ අක්මාවෙන්. ඉපදුණු ගමන් ළදරු අක්මාව විටම්න් ‘ කේ ’ නිපදවන්න තරම් පරිණත නැහැ.

 

2020/01/15 තරුණි බලන්න