මාපියන්ගේ වැරැදි ජීවන රටාවන් උපත් ආබාධවලට හේතු වෙනවා

මාර්තු 11, 2020

සැමියයි බිරියයි එක් වෙලා සාදාගත් කැදැල්ල කිරි සුවඳින් නැහැවෙන තුරු අඹු සැමියන්ට ඉවසීමක් නැහැ. දරුවා කුසට එන්නත් කලින් සුන්දර දරු පැටියකුගේ රුවකින් නිදන කාමරයේ බිත්තිය සරසන්නේ ඒ උතුම් ප්‍රාර්ථනයත් එක්කයි.

පුංචි සුරංගනාවක්, දෙව් රුවක් බඳු දරු පැටියකු පිළිබඳ සිහින මවමින් කාලය ගත කරද්දී ඒ සිහිනය සැබෑ වෙන්නේ උතුරා යන සතුටකින් හදවත් පුරවා ගනිමින්. නව මසක් ගැබිනි බවත් සමඟ ඇතිවන වෙනස්කම් පැමිණි දුක් පැණි රසයි කියා සිතමින් විඳගෙන අවසානයේදී මව දෝතට ගැනීමට බලාපොරොත්තු වෙන්නේ අංග සම්පූර්ණ, නීරෝගි දරු පැටියෙක්. ඒත් එලෙස දෝතට ගන්නා දරුවා කිසියම් උපත් ආබාධයකින් / උපත් ආබාධ ගණනාවකින් යුක්ත නම් . . . . .

දරුවා කොයි වගේ වුණත් අම්මලා තාත්තලා අහක බලා ගන්නේ නැහැ. ගහේ ගෙඩි ගහට බර නෑ වගේ. ඒත් එය හිත රවට්ටා ගැනීමක්. එවැනි දරුවකු සිටින මවකගේ පියකුගේ සිතේ ඇත්තේ මහ මෙරකටත් වැඩි බරක්.

අපේ රටේ සෑම වසරකම අම්මලා 360,000 ක් පමණ ගැබිනි බවට පත් වෙනවා. මේ අම්මලාගෙන් 326,000 ක් සජීවි දරු උපත්. මේ දරුවන්ගෙන් 5800 ක් විවිධ උපත් ආබාධ සහිතව මෙලොව එළිය දකිනවා ඉන් දරුවන් 650 කට ජීවිතයේ පළමුවැනි උපන් දිනය සමරන්නට ලැබෙන්නේ නැහැ. දෙසීයක් පමණ ඉතා දරුණු උපත් ආබාධවලින් ජිවිත කාලය පුරාම දුක් විඳිනවා.

ගැබට සති 28 (මාස 7) වීමට පෙර කුසේදීම මිය යන දරුවන්ගේ ගණන අවුරුද්දට 1900 ක් පමණ වෙනවා. මින් 35% කට හේතුව කලල ආබාධ හෝ විකෘතිතාවන්.

ගැබට සති 18 - 20 දී සිදු කරන ස්කෑන් පරික්ෂණයෙන් කලලයේ විකෘතිතා බොහොමයක් හඳුනා ගන්න පුළුවන්. වාසනාවකට වෛද්‍ය තාක්ෂණයේ බල මහිමයෙන් සමහර විකෘතිතා නිවැරැදි කිරීමේ හැකියාවත් තිබෙනවා. ඒත් තවමත් බොහොමයක් ගැටලු නිවැරැදි කිරීමට බැහැ.

* අපේ රටේ සුලබම උපත් ආබාධ

* හෘද රෝග - උපත් ආබාධ සහිත දරුවන්ගෙන් 24% ක් කිසියම් හෘද රෝගයකින් පීඩා විඳින අයයි. ළදරු හෘද රෝග අතර හදවතේ සිදුරක් තිබීම සුලබයි. මේ වගේ දරු සිඟිත්තන්ගේ ඇත්තේ අප්‍රාණික පෙනුමක්. වෙහෙසකින් සිටින බව දකින්න ලැබෙනවා.

දවසින් දවස උස් මහත් වන දරුවකු වෙනුවට වැඩීම බාල දරුවකු දකින්න ලැබෙනවා. දරුවා කිරි බොන විට, හඬන විට හුස්ම ගැනීමට අසීරු බව මවට දැනෙනවා. තොල්, සම නිල් පැහැයක් ගන්නවා.

හදවතේ සිදුරුවලට නිශ්චිත හේතුවක් තවමත් සොයා ගෙන නැති වුවත් ඒත් ජානමය හේතු සහ පාරිසරික හේතු මීට බලපාන බව සොයාගෙන තිබෙනවා.පළමු දරුවාගේ හදවතේ සිදුරක් තිබුණොත් දෙවැනි දරුවා පිළිසිඳ ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

ජාන හදවත් රෝගවලට 20% ක් බලපානවා. ඩවුන් සින්ඩ්‍රෝම් වැනි වෙනත් උපත් ආබාධ ඇති විට ද හදවතේ මෙවැනි ගැටලු දකින්න පුළුවන්. රුබෙල්ලා ද මෙයට බලපානවා. වාසනාවකට දැන් සෑම කාන්තාවක්ම ගර්භණී වීමට කලින් රුබෙල්ලා එන්නත ලබා ගන්නා නිසා ඒ තර්ජනය දක්නට නැහැ.

සමහර ඖෂධ ද මීට බලපානවා. ගැබිනි වියේදී වෛද්‍ය උපදෙස් පරිදිම ඖෂධ ගත යුත්තේ මේ නිසයි.

ගැබිනි මව මත්පැන් පානය කිරීම තවත් හේතුවක්. වාසනාවකට අපේ රටේ කාන්තාවන් මත්පැන් පානයට යොමු වෙලා නැහැ. ගර්භණී කාලයේදී දියවැඩියාව පාලනය නොකිරීම, සමබල පෝෂණයක් නොලැබීම ද මීට බලපානවා. වයස් ගත වී එනම් අවුරුදු 35 - 40 ට පසු ගැබ් ගැනීම මෙවැනි දරුවකු පිළිසිඳ ගැනීමේ අවදානම වැඩි කරන තවත් සාධකයක්.

ඔබ හදවතේ සිදුරු ගැන කියවන විට සිඟිති හදවත් දහස් ගණනක් බොහොම ආයාසයෙන් ස්පන්දනය වෙමින් ජීවිතය රැක ගැනීමට උත්සාහ ගන්නවා. දවසක් හරි ජීවත් වන්න මොන තරම් උත්සාහ ගත්තත් දවසින් දවස ඒ දරුවන්ගේ හදවත් දුර්වල වෙනවා.

අපේ රටේ අම්මලාට උපදින දරුවන් දහසකගෙන් දහයකට, පළමුවැනි උපන් දිනය සමරන වරම් අහිමි වෙන්නේ හදවතේ සිදුරු වැනි හදවත් සම්බන්ධ උපත් ආබාධයකින් පීඩා විඳින නිසයි. ලංකාවේ ළදරු මරණවලට ප්‍රධාන හේතුවක් වන්නේ හදවත් රෝග.

පොරොත්තු ලේඛනයේ නොසිට ඉක්මනින් ප්‍රතිකාර ලබා ගත හැකි නම් රෝගී දරුවන් වැඩි දෙනෙක් බේරා ගන්න පුළුවන්.

(උපත් ආබාධ ගැන තවත් ලිපියක් මීළඟට)

ලිට්ල් හාට්ස් ව්‍යාපෘතියේ විද්‍යුත් තැපෑල:

[email protected]

දු. අං +94716441122

 

උපදෙස් - මහාචාර්ය වජිර දිසානායක

ළමා රෝග විශේෂඥ වෛද්‍ය දුමින්ද සමරසිංහ

ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයන්ත

 

2020/03/11 තරුණි බලන්න