පොත් ප්‍රදර්ශනයට ගියත් කෝවිඩ් - 19 මාරයා අමතක කරන්න එපා

සැප්තැම්බර් 23, 2020

සාහිත්‍ය මහා මංගල්‍යය උදාවෙලා. දිවයිනේ නන් දෙසින් බාල තරුණ මහලු භේදයක් නැතිව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව පිහිටි සුන්දර බිම් පෙදෙසට පිරිස එක්රැස් වෙනවා.

වෙනදා මේ භූමියේ පරවි රෑනක්සේ නිදහසේ සැරිසැරුව ද මෙවර තත්ත්වය හාත්පසින්ම වෙනස්. 2020 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවත්වෙන්නේ කෝවිඩ් - 19 වසංගතය ලැව් ගින්නක් මෙන් පැතිරෙන කාල වකවානුවක.

මේ වන විට ලෝක ජනගහනයෙන් 30,036,868 (මිලියන 30කට) අධික පිරිසකට නව කොරෝනා වෛරසය ආසාදනය වෙලා. මිය ගිය ගණන දස ලක්ෂයකට ආසන්නයි. රටවල් 216 කට රෝගය පැතිරිලා. අපේ අසල්වැසි ඉන්දියාවේ පමණක් නව කොරෝනා වෛරස ආසාදිතයන්ගේ ගණන 5 020 359ක්. දැන් ඉන්දියාවේ ආසාදිතයන් ගණන අමෙරිකාවේ ආසාදිතයන් ගණනට ආසන්න වෙමින් පවතිනවා. බංග්ලාදේශය සහ පාකිස්තානයත් ආසියාවේ රෝගීන් වැඩිපුර වාර්තා වන තවත් රටවල් දෙකක්. රෝගය යම් තරමකට පාලනය කළ රටවලත් යළි නව කොරෝනා වෛරසය හිස ඔසවලා. තත්ත්වය මෙසේ තිබියදී අපේ රටේ ඇතැම් අයට කෝවිඩ් - 19 නමින් වසංගතයක් තිබූ බවත් අමතක වෙලා. දුරස්ථ භාවය පවත්වා ගෙන යාම, මුව ආවරණ පැලඳීම, ඇල්කොහොල් අඩංගු සබන් වර්ගයකින් දෑත් සේදීම විහිළුවක් කරගත් අයත් අප අතර නැතුවා නොවෙයි. එවන් වාතාවරණයක් තිබියදී අප පොත් ප්‍රදර්ශනයට යා යුත්තේ දත් තිස් දෙක මැද ඇති දිව මෙන් සුරක්ෂිතවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිතරම දෙන අවවාද අතරට සෙනඟ ගැවසෙන ස්ථානවලට යාමෙන් හැකිතාක් දුරට වැළකී සිටින්න යන උපදෙස ද වෙයි.

 

2020/09/23 තරුණි බලන්න.